ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ඔබේ මනස නිරවුල්ව තබා ගැනීමට වැදගත් වන කරුණු 6ක්….. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අතර නොනැවතී ඇද හැලෙන වර්ෂාව නිසා එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල වී තිබේ.
මෙවන් ආපදා අවස්ථාවක කාලගුණ අංශ සහ අනෙකුත් ආපදාවලින් ආරක්ෂා වීමට ලබා දෙන උපදෙස් කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත.
ආපදාවලින් බේරී සිටීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබුව ද මෙවන් අවස්ථාවක තම මානසික සෞඛ්‍යය කෙරෙහි එල්ල විය හැකි අවදානම ගැන බොහෝවිට අවධානයක් යොමු වන්නේ නැත.
‘මානසික බලපෑම ගැන සැලකිලිමත් වන්න’
ආපදා අවදානමක් සහිත අවස්ථාවක සංවේදී හා පීඩාකාරී තොරතුරු සමග මානසික සෞඛ්‍යය පවත්වා ගත යුත්තේ කෙසේ ද?
ඒ සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්ගෙන් උපදෙස් විමසා සිටියේ ය.
වෙළෙඳ දැන්වීමක්
“අධික වර්ෂාව, ගංවතුර, නායයාම් නිසා විශාල වශයෙන් ගෙවල්, පාරවල් වගේ ම ජීවිතත් විනාශ වෙලා තියෙනවා. මතුපිටින් මේවා විතරක් පෙනුණාට මේක යටින් තියෙනවා මිනිසුන්ගේ මානසික බලපෑමකුත්. ඒ මානසික බලපෑම ගැන සැලකිලිමත් වෙන එක ඉතා ම වැදගත්,” විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැහැදිලි කළේ ය.
මෙවන් සිදුවීම්වලට භාජනය වන අය වගේ ම මාධ්‍ය ඔස්සේ සංවේදී දර්ශන දකින පුද්ගලයින් ද කලබලයට, බියට පත් වනවා සේ ම අනාරක්ෂිත හැඟීමක් ඇති වන බව විශේෂඥ මනෝවෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.
“ඒ වගේ වුණා ම කලබල වෙලා තීරණ ගන්න බැරි වෙන්න පුළුවන්. නින්ද සම්බන්ධයෙන් ගැටලු එන්න පුළුවන්. ඒ වගේ ම එදිනෙදා දේවල්වලට අවධානය තියා ගන්න බැරි වෙනවා. ඒ වගේ ම ආතතිමය තත්ත්වයක් ඇති වෙනවා.” විශ්වසනීය තොරතුරු පමණක් ලබා ගන්න’
ආපදා තත්ත්වයකදී තොරතුරු ලබා ගැනීමේදී විශ්වසනීය පුවත් පමණක් පරිශීලනය කිරීම ඉතා වැදගත් බව වෛද්‍යවරයා අවධාරණය කළේ ය.
“නිවැරදි තොරතුරු ලබා ගන්න එක වැදගත්. සමහර වෙලාවට සමාජ මාධ්‍යවල යන්නෙ ම බිහිසුණු ලෙස බලපාපු අනතුරුවල තොරතුරු තමයි. ඒවා නිතර නිතර බලන්න පෙළඹුණා ම වෙන්නේ තවත් මානසික තත්ත්වය දුර්වල වෙන එක යි.”
‘තොරතුරු සෙවීම සීමා කරන්න’
සමාජ මාධ්‍ය තුළ තහවුරු කරන ලද නිවැරදි නොවන තොරතුරු මෙන් ම අනවශ්‍ය ලෙස උලුප්පන ලද තොරතුරු ද පවතින බව කී විශේෂඥ වෛද්‍ය රූමි රූබන්, මානසික තත්ත්වය හොඳින් තබා ගැනීමට විශ්වාසවන්ත මූලාශ්‍රවලින් ලබා දෙන තොරතුරු පමණක් ලබා ගන්නා ලෙස ද සඳහන් කළේ ය.
“එවැනි තොරතුරු සොයා බැලීම සීමා කරන්නත් ඕනෙ, වුවමනාවට වඩා වැඩි කාලයක් ඒකට ගත කරන්න හොඳ නැහැ, මොක ද මේ වගේ දේවල්වලින් වෙන්නේ අනතුර පිළිබඳ තොරතුරවලින් මොළය පිරෙන්න ගන්නවා. එතකොට හැම තිස්සේ ම මේවා මතක් වෙන්න ගන්නවා. වෙනත් දේවල්වලට හිත යොමු කරන්න තියෙන කාලය අඩු වෙනවා. එතකොට තවදුරටත් පීඩාව වැඩි වෙනවා.”
නිවසට කොටු වී සිටින්නන්ට කළ හැක්කේ කුමක් ද?
දැනට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුට නිවසට හෝ යම් ස්ථානයකට කොටු වී ගත කිරීමට සිදුව තිබේ. එවන් අවස්ථාවක කළ හැකි දේ ගැන විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පැහැදිලි කළේ මෙසේ ය.
“ගොඩක් මානසික පීඩනයක් වගේ තියෙනවා නම් කුඩා භාවනාවක් කරන්න පුළුවන්. ගැඹුරු හුස්ම හා ලිහිල් වීමේ භාවනාවක් කරන්න පුළුවන්. පවුලේ අය එක්ක එකතු වෙලා ගෘහස්ථ ක්‍රීඩාවක නිරත වෙන්න පුළුවන්. මේ ව්‍යසනයට සම්බන්ධ නැති චිත්‍රපටියක් බැලීම, පොතක් කියවීම වගේ තමන්ගේ හිතට සහනයක් ලබා දෙන වැඩක නිරත වෙන්න පුළුවන්. නිවැරදි තොරතුරු ලබාගෙන තමන් ආරක්ෂිත බව දැන ගැනීමත් ඉතා ම වැදගත්.”
මානසික පීඩනයකට මුහුණ දුන් විට කළ යුතු දේ
ආපදා තත්ත්වය හේතුවෙන් මානසික ගැටලුවකට මුහුණ දෙන අවස්ථාවකදී අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ද විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් දැනුවත් කළේ ය.
“එවැනි ගැටලුවලට මුහුණ දුන් අය වෙනත් අය සමග සම්බන්ධ වෙලා ඉන්න එක වැදගත්. නෑදෑයන්ට කතා කරන්න, අසල් වැසියන්ට කතා කරන්න, තමන්ට තියෙන ගැටලු ගැන කියන එක වැදගත් තනි වෙලා ඉන්නවාට වඩා.”
මෙවන් අවස්ථාවලදී දරුවන්, වැඩිහිටියන් සහ ආබාධිත පුද්ගලයින්ගෙන් වෙන්වී තනිව සිටීමට උත්සහ කරන බව ද වෛද්‍යවරයා පැවසීය.
එසේ තනිව සිටින විට මානසික පීඩනය පිට කිරීමට නොහැකි බැවින් එය මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.
මානසික පීඩාවකට ලක්වූ අයට ඉන් මිදීමට කළ හැක්කේ කුමක් ද?
මෙලෙස මානසික පීඩාවකට ලක්වූ අවස්ථාවකදී හොඳ නින්දක් ලබා ගැනීම මෙන් ම ජලය වැඩියෙන් පානය කිරීම වැදගත් බව වෛද්‍ය රූමි රූබන් අවධාරණය කළේ ය.
“මේ වගේ වෙලාවට අපි හරියට ආහාර ගන්නේ නෑ. ජලය පානය කිරීම අමතක වෙනවා. විජලනය වළක්වා ගන්න හොඳින් වතුර ගන්න එක වැදගත්. ඒ වගේ ම ආහාර අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න එකත් වැදගත්. ඒ වගේ කලබල වෙලා වෙහෙස වෙනවාට වඩා විවේකය වැදගත්. ශරීරයට ලැබෙන විවේකය මනසටත් බලපානවා.”
මෙවැනි ආපදා අවස්ථාවක මානසික පීඩාවකට පත්වූ අයෙක් සිටී නම් ඔවුන් සමග කතා කිරීම මෙන් ම අවශ්‍ය උදව් ලබා දීම වැදගත් බව වෛද්‍යවරයා පැවසීය.
එමෙන් ම, ඒ සඳහා සහය ලබා ගැනීමට ජාතික මානසික සෞඛ්‍ය උපකාරක දුරකතන අංකය වන 1926ට ඇමතිය හැකි ය.
