අඳ දරුවන්ගේ නෙත් පාදා සිතුවමින් ලොවට ගිය උතුම් සිත්තරෙකු ගැන ඇසෙන කතාවක් මෙන්න

අඳ දරුවන්ගේ නෙත් පාදා සිතුවමින් ලොවට ගිය උතුම් සිත්තරෙකු ගැන ඇසෙන කතාවක් මෙන්න

අඳ දරු­වන්ගේ නෙත් පාදා සිතු­ව­මින් ලොවට ගිය සිත්තරා #සොයිලියස්_මැන්දිස්

පුරා­ණයේ සීගි­රියේ හා පොලො­න්න­රුවේ ගල් බිත්ති මත ඇඳි ජීව­යෙන් පිරි රිද්ම­යා­නු­කූල රේඛා ක්‍රම­යෙන් වියැකී යමින් තිබිණි. ඒ අනන්‍ය රේඛා මත­ක­යෙන් ගිලිහී යා නොදී එහි ශේෂ මාත්‍ර කැල­ණිය විහාර බිත්ති මත ජීව­මාන කළ අපූරු සිත්තරා සිය ජීවිත කාලයේ අව­සන් භාගය ගෙවූයේ දැඩි හිත් වේද­නා­වෙනි.

සිය ප්‍රාණය සේ ආල­වන්තව හා ගෞර­වා­න්විතව කැලණි විහා­රයේ බිතු සිතු­වම් නිම කළ මේ අග්‍ර­ගණ්‍ය සිත්ත­රාගේ පශ්චාත්තා­ප­යට හේතු වූයේ එහි අව­සන් පසු­බිම් චිත්‍ර අඳි­න්නට විදෙස් සිත්ත­රකු ගෙන්වී­මය. මතු දිනෙක යළි විහාර සිතු­වම් නොඅ­ඳින්නේ යැයි තමා­ටම සපථ කර­ගත් හේ සිය පෞද්ග­ලික ධනය කැප කළේ දෙනෙත් අඳ හා විශේෂ අව­ශ්‍යතා සහිත දරු­වන් වෙනු­වෙනි. අන්ධ හා විශේෂ අව­ශ්‍යතා සහිත දරු­වන් වෙනු­වෙන් පාස­ලක් තනවා එහි කට­යුතු වෙනු­වෙන් සිය ධනය හා දේපළ පරි­ත්‍යාග කළ ඒ අද්වි­තීය මිනිසා සොයි­ලි­යස් මැන්දිස් ය.

හලා­වත මහ­වැව පිහිටි අක්කර 4ක විශාල ඉඩමේ අන්ධ දරු­වන් වෙනු­වෙන් ළමා නිවා­ස­යක් ඉදි කළ මේ අපූර්ව නිර්මා­ණ­ක­රුවා, මෙහි පරි­පා­ල­නය හා නඩත්තු කට­යුතු සඳහා තමා සතු අක්කර 89ක පොල්වතු දෙකක හා කුඹුරු අක්කර 10ක ආදා­යම 1957දී සමස්ත ලංකා බෞද්ධ සම්මේ­ල­න­යට පවරා ඇත. මේ සියල්ල පරි­ත්‍යාග කර ඊට ම යාබද වූ ඉඩ­මක කුඩා නිවෙ­සක අප්‍ර­කට සරල දිවි­යක් ගත කළ හේ, එක්ද­හස් නව­සිය හැත්තෑ­පහේ සැප්තැ­ම්බර් 01 වැනිදා දිවි­සැ­රිය නිම කරන තෙක් නැවත විහාර සිතු­වම් ඇන්දේ නැත. කැල­ණිය සිතු­වම් සම්බ­න්ධ­යෙන් අප පෙර කී හිත් රිදීම ඊට හේතු කාරක විණි.
සිය ජීවිත කාලය පුරා කලාව වෙනු­වෙන් අප්‍ර­මාණ ලෙස කැප වූ නිර්මා­ණ­ක­රු­වන් නික්ම යන්නේ සහෘ­දය හද­වත්හි අනල්ප ඉඩක් මෙන්ම ආද­ර­යක් ද ඉතිරි කර­මිනි. ඩොලර් හත­ළිස් තුන්කෝටි අනූ­නව ලක්ෂ­ය­කට අලෙවි වූ ‘අයි­රිස් මල් පඳුර‘ චිත්‍රයේ නිර්මා­ණ­ක­රු­වාගේ ජීවන අන්ද­රය සොයි­ලි­යස් මැන්දිස් කලා­ක­රුවා ගැන ලියද්දී මට සිහි­පත් වූයේ ඉබේ­ටම ය. විසි­වන සිය­වසේ බිහි වූ ශ්‍රේෂ්ඨ­තම සිතු­වම් ශිල්පි­යකු සේ බුහු­ම­නට ලක්වූ වින්සන්ට් වැන්ගෝ ගේ ජීවිත කතාව ඔහුගේ සිතු­වම් සේ සොඳුරු වූයේ නැත. සිය එක ම සොහො­යුරා වූ තියෝ ගේ විශ්වා­සය මත පම­ණක් ම විශ්වා­සය තැබූ හේ, මිය යන්නට පෙර කිසිදු වෙසෙස් අබි­ම­නක් බලා­පො­රොත්තු නොවී ජීවත් වී, මිය ගිය පසු අම­ර­ණීය වූ නිර්මා­ණ­ක­රු­වෙකි. සිය සොහො­යු­රාට ලියූ ලිපි එකතු ඔස්සේ ඔහුගේ ජීවිත කතාව කියවා ගත් මට සිතු­වම් යට සැඟ­වුණු අනු­වේ­ද­නීය කතා­වක සහ­ක­ම්ප­නීය ඉසව්ව හසු වූ බව නොකියා බැරි ය.

ජීවි­තය ඇත්තේ අන් තැනක බවත්, මර­ණය ඇත්තේ අම­ර­ණීය වීමේ කලාව ඉගැ­න්වී­මට බවත් කියා දුන්නේ මේ අපූරු සිතු­වම් ශිල්පියා ය. සිතු­වම් අස්සේ කියැ­වෙන ජීවිත ගැන අප හෙවත් රසික සහෘ­ද­ය­නට ඇත්තේ දූරස්ථ සබ­ඳ­තා­වක් ද යන්න ගැන සිති­විලි විවර වන්නට පටන් ගත්තේ ඉනි­ක්බි­තිව ය. බොහෝ සිතු­වම් ශිල්පීන් ජීව­මාන කත­න්දර අපට ඉතිරි කර නික්ම යන්නේ ඇග­යුමේ මාවත ගැන නොදැන ම ය. එය සහ­ක­ම්ප­නීය සහෘ­දය පිරි­ස­කගේ අඩුව නිසා ඇති වූවකි. සියල්ලෝ එසේ නොවෙති. සොයි­ලි­යස් මැන්දිස් කියන්නේ ද ලංකාවේ අපට එවන් සිත්ත­රෙකි; එවැනි සහ­ක­ම්ප­න­යක් ශේෂ කළ නිර්මා­ණ­ක­රු­වෙකි. භෞති­කව මෙන්ම ආධ්‍යා­ත්මි­කව ද පෝෂිත පර­පු­රක් නිර්මා­ණය කිරීමෙහි ලා පෙර­ග­මන් ගිය මේ කලා­ක­රුවා; කලා­ක­රු­ව­කුගේ වග­කීම
පිළි­බඳ නිර­තුරු සවි­ඥා­නනික වූවෙකි.

සොයි­ලි­යස් මැන්දිස් නාමය ලාංකේය රසික සහෘ­ද­ය­නට නුහුරු නාම­යක් නොවේ. සිය නම අම­ර­ණීය කර­ග­න්නට සමත් කලා නිර්මාණ රැසක් ඔහුගේ තෙලි­තු­ඬෙන් බිහි වූ බව දන්නා පිරිස වැඩි ය. ශ්‍රී චන්ද්‍ර­රත්න මාන­ව­සිංහ වරක් සොයි­ලි­යස් මැන්දිස් කලා­ක­රුවා පිළි­බඳ කී කතා­වක් මට සිහි­පත් වේ. ඔහුගේ ජීවන විලා­සය පිළි­බඳ අව­බෝ­ධ­යක් ලබා ගනු වස් මම එය ඔබට මෙසේ ඉදි­රි­පත් කරමි.
“සොයි­ලි­යස් වූ කලී මහා බර වැඩක් කළ හෑල්ලු පුද්ග­ල­යෙකි”
ඒ අප්‍ර­මාණ මිනිසා පිළි­බඳ මාන­ව­සිංහ වදන කෙත­රම් ගැළ­පෙන්නේ ද යන්න ඔහු පිළි­බඳ තතු දන්නෝ දනිති. ඒ බර පිළි­බඳ වෙනත් වද­න­කින් කියූ ඕලන්ද ජාතික ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පි­යකු වන ජෝ පිකාසෝ ඊට වෙනත් අරු­තක් එක් කරයි.
“කැල­ණියේ නව සිතු­වම් වූ කලී අසා­මාන්‍ය කැප­වී­ම­කින් හා මාධ්‍ය උප­රි­ම­යෙන් ප්‍රයෝ­ජ­න­යට ගත් ප්‍රෞඪ නිර්මා­ණ­යකි”.

කැලණි විහා­රයේ නව කොටසේ සිතු­වම් නිර්මා­ණ­ක­ර­ණය හේ අර­ඹන්නේ 1930 වර්ෂ­යේ­දීය. එවිට ඔහු ගත කර­මින් සිටියේ ජීවි­තයේ හත­ර­වැනි දශ­කය ය. මේ සඳහා මුදල් යොද­වන්නේ සේද­වත්ත වලව්වේ හෙලේනා විජ­ය­ව­ර්ධන මැති­නිය ය. එනම්, ලේක්හ­වුස් නිර්මාතෘ ඩී. ආර්. විජ­ය­ව­ර්ධ­න­යන්ගේ මෑණියෝය.

සිය දිවි­සැ­රි­යෙන් වැඩි ප්‍රමා­ණ­යක් දෘශ්‍ය කලාව මෙන්ම ප්‍රාසං­ගික කලාවේ දෘශ්‍ය­රූපී මාන සොයා හඳු­නා­ග­න්නට ඔහු වැය කළේ ය. ඒවා කලා මාධ්‍ය කිහි­ප­යක් ඔස්සේ ලාංකේය රසික ප්‍රජාව වෙත ගෙන ආ හේ මෙරට සිටි ප්‍රභා­වත් දෘශ්‍ය කලා ශිල්පි­යෙකි. සොයි­ලි­යස් කලා­ක­රු­වාගේ මූර්ති කලාව ගැන වෙසෙස් ඇග­යුම් කට­යුතු ලෙස බලන හෙලේනා විජ­ය­ව­ර්ධන මැති­නිය කැල­ණිය නව සිතු­ව­ම්ක­ර­ණය ඔහු වෙත පව­රන්නේ දෙව­රක් නොසිතා ය. පන්සල් ඇසුරේ කුඩා කාලය ගෙවූ ඔහු විහාර චිත්‍ර කෙරේ විශේෂ අව­ධා­න­යක් යොමු කළේ ය. සිය ආධ්‍යා­ත්මයේ හඬ ගැසී­මක් බඳු වූ සිතු­වම් කලාවේ උරු­මය ඔහුට හමු වූයේ විහාර චිත්‍ර ඇසුරේ ය. සොයි­ලි­යස් ගේ සිතු­වම් අන් නිර්මා­ණ­ක­රු­වන්ගේ සිතු­වම් හා සමාන වූයේ නැත. ඔහුට ම අනන්‍ය වූ ලක්ෂණ එහි මොන­වට ගැබ් විය. මේ සියල්ල කැලණි බිතු සිතු­වම් ඔහු අතින් නිමැ­වීමේ පද­නම වැටෙ­න්නට බල­පෑම් කර­න්නට ඇත.

කැලණි විහා­රයේ බිතු සිතු­වම් නිම­ව­න්නට පෙර ආසි­යානු චිත්‍ර කලා සම්ප්‍ර­දාය ගැන යම් හැදෑ­රී­මක් කර­වී­මට සොයි­ලි­යස් ඉන්දි­යා­වට යැවී­මට හෙලේනා විජ­ය­ව­ර්ධන මැතිනිය තීර­ණය කළා ය. ඉන්දි­යාවේ අජන්තා, එල්ලෝරා, භාග් ආදි ස්ථාන පුරා සර­මින් දින සති ගණන් ගත කළ සොයි­ලි­යස් සිත්තරා ලංකා­වට ආවේ බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව ය. වස්තු විෂ­යය, ප්‍රකා­ශන රීතිය හා චිත්‍ර ශෛලිය යන තුන් ආකා­ර­යෙන් ම විශිෂ්ට ප්‍රති­භා­වක් සහිත කැලණි විහාර බිතු සිතු­වම් නිර්මා­ණය වෙන්නේ එකී පසු­බිම ඔස්සේ ය. එහෙත් ඒ සියල්ල අබි­බවා ඔහුගේ මානව හිත­වාදී ගුණය චිත්‍ර අතර ඉස්මතු වූයේ යටත් විජි­ත­වාදී පාල­න­යෙන් හෙම්බත් වූ වක­වා­නුවේ වීම විශේ­ෂ­ත්ව­යකි.

ඔහුගේ තෙලි­තු­ඬෙන් නිමැ­වුණු පොලො­න්න­රුවේ ජය ශ්‍රී විහා­රය, මාවිල සුමන කුසු­මා­රා­මය, මල්වානේ ලෙන­ග­ම්පල පුරාණ විහා­රය, හබ­රා­දූව පිට­දූව කැලණි ගංගොඩ විහා­රය, ගිරි­උල්ල මැද්දෙ­පොල විහා­රය ආදි විහා­ර­ස්ථා­න­වල ඇති සිතු­වම්හි කූට­ප්‍රා­ප්තිය කැල­ණිය විහාර බිතු සිතු­වම් ය. එය දෙස් විදෙස් කලා­ක­රු­වන් අතින් ඇග­යු­මට ලක් වූයේ කෙසේද යත්, වරක් කැල­ණියේ චිත්‍ර ඇඳී­මට ලෝක ප්‍රකට සිත්ත­රකු වූ ඉන්දීය මහා චිත්‍ර ශිල්පී නන්ද­ලාල් බෝස් කැඳ­වනු ලැබීය. ඔහු සොයි­ලි­යස් මැන්දිස්ගේ චිත්‍ර දැක පෙරළා ඉන්දි­යා­වට ගියේ මේ කාර්ය­යට වඩාත් සුදුස්සා සොයි­ලි­යස් මැන්දිස් පම­ණක් ම බව නොපැ­කි­ළව පව­ස­මිනි.

එළැ­ඹෙන සැප්තැ­ම්බර් පළ­මු­වැ­නි­දාට සොයි­ලි­යස් මැන්දිස් කලා­ක­රුවා නාම­ශේ­ෂ­භා­වෝ­ප­ගත වී අඩ­සි­ය­ව­සක් පූර්ණය වන්නේ ය. ඒ වෙනු­වෙන් සොයි­ලි­යස් මැන්දිස් අනු­ස්ම­රණ කමි­ටුව විසින් ගුණා­නු­ස්ම­රණ මහෝ­ත්සව­යක් සංවි­ධා­නය කර ඇති අතර, එය අඩ­සි­ය­වස පූර්ණය වන සැප්තැ­ම්බර් 1 වැනිදා උදේ 8.30ට මහ­වැව ශ්‍රී ධර්මා­රාම මහා විදු­හලේ ප්‍රධාන ශාලා­වේදී පැවැ­ත්වී­මට නිය­මිත ය. එහිදී විශේෂ සම­රුම් දෙසුම්, විශේෂ ගුණ­ක­ථන දෙසු­මක්, විවෘත ළමා චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක් හා ප්‍රද­ර්ශන භාණ්ඩ දැක්මක් ක්‍රියා­ත්මක වීමට කට­යුතු යොදා තිබේ. මේ පිළි­බඳ අද­හස් දැක්වූ සොයි­ලි­යස් මැන්දිස් අනු­ස්ම­රණ කමි­ටුවේ ප්‍රධාන සංවි­ධා­යක ආනන්ද කරු­ණා­රත්න අව­ධා­ර­ණය කළේ මේ අග්‍ර­ගණ්‍ය කලා­ක­රුවා පිළි­බඳ විධි­මත් ඇග­යී­මක අවැ­සි­තාව අප ඉදි­රියේ පව­තින බවය.

“මා සභා­ප­ති­ත්වය දරන සර­සවි කලා සංග­මය නමින් කලා සංග­ම­යක් තියෙ­නවා. සෑම අවු­රු­ද්ද­කට වරක් ම වයඹ පළාතේ පුත්ත­ලම් දිස්ත්‍රි­ක්කයේ ජීවත් වුණු කලා­ක­රු­වෙක් තෝරා­ගෙන යම් කිසි එළි­දැ­ක්වී­මක් අප මේ සංග­මය හරහා කර­නවා. මීට අවු­රුදු දෙක­කට කලින් මේ කර්තව්‍යය සඳහා සොයි­ලි­යස් මැන්දිස් මහතා පිළි­බඳ අධ්‍ය­ය­න­ය­කට යන්න ඕන කියලා මට අද­හ­සක් ආවා. අපි එතුමා ගැන හොයා­ගෙන මහ­වි­ලට ගියා. අන්ති­මේදී තොර­තුරු අනුව අපි සිවි­රාජ කියන ළමා නිවා­ස­යට තමයි ගියේ. එතුමා මේ ඉඩම මිලදී ගෙන ගොඩ­නැ­ඟි­ල්ලක් හදලා සමස්ත ලංකා බෞද්ධ සම්මේ­ල­න­යට භාර දීලා තියෙ­නවා ඉදිරි වැඩ කර­ගෙන යන්න. අන්ධ ළම­යින්ට ළමා නිවා­ස­යක් හදන වැඩ­පි­ළි­වෙ­ළක් 1957 වගේ කාල­ය­කදි අන්ත­ර්ජා­තික මට්ට­මි­න්වත් තිබුණෙ නෑ. ඒ කාලේ එවැනි දරු­වන්ට කිසිම පහ­සු­ක­මක් හෝ අව­ධා­න­යක් තිබුණු වක­වා­නු­වක් නෙවෙයි. නඩ­ත්තුව සඳහා පවා ඉඩම් මිලදී ගෙන ඒවායේ ආදා­යම ළමා නිවා­සයේ හා දරු­වන්ගේ නඩ­ත්තු­වට වෙන් කරලා තිබුණා. මේ ඉඩම මිලදී ගත්තේ කැලණිය විහාර සිතුවම්කරණයෙන් ලද මුදලින්. මේක ඇතුළෙ වෘත්තීය පුහුණු මධ්‍ය­ස්ථා­න­යක් පවා තිබුණා. නමුත් වර්ත­මා­නයේ මේ මහා මානව හිත­වා­දියා ගැන කිසිම හැදෑ­රී­මක් හෝ සිහි­පත් කිරී­ම­ක්වත් නෑ. අපි තොර­තුරු සියල්ල හොයා­ගෙන ගිහින් සොයි­ලි­යස් මැන්දිස් අනු­ස්ම­රණ පද­නම කියලා එකක් අවු­රුදු දෙක­කට කලින් පිහි­ටෙව්වා. ඒ වන විටත් මහව නාත්ත­ණ්ඩිය මහ­ජන පුස්ත­කා­ලය නම් කරලා තිබුණෙ සොයි­ලි­යස් මැන්දිස් කලා­ක­රු­වාගේ නමින්. එච්ච­ර­මයි මෙතුමා වෙනු­වෙන් තිබුණෙ.

අපි එදා හිතා ගත්තා 50 වැනි අනු­ස්ම­රණ දිනය වෙනු­වෙන් අපි යම්කිසි වැඩ­පි­ළි­වෙ­ළක් කළ යුතුයි කියලා. මේ ක්‍රියා­ත්මක වෙන්නෙ ඒ වැඩ­පි­ළි­වෙ­ළයි.”
කෘත­ගුණ දැක්වීම අවම කාල­යක මෙවන් කාර්ය­යක් සඳහා උර­දීම සම්බ­න්ධ­යෙන් ස්තූති­වන්ත වන අත­ර­තුර, අප තව­දු­ර­ටත් විමසා සිටියේ සැප්තැ­ම්බර් 01 වැනිදා ඇගැ­යුම් උලෙළේ ක්‍රියා­කා­රී­ත්වය සිදු­වී­මට නිය­මි­තව ඇත්තේ කෙලෙ­සද කියාය.
“එදාට අපි එතුමා ම හදපු විශේෂ පාසලේ දරු­වන්ගේ චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක් ලෑස්ති කරලා තියෙ­නවා. ඒ වගේම එතුමා පාවිච්චි කළ මේසය, පුටුව ඇතුළු භාණ්ඩ එක­තු­වක් සහිත කුටි­යක් එදාට විවෘත කිරී­මට නිය­මි­තයි. එතු­මාගේ විස්තර ඇතු­ළත් සමරු සංග්‍ර­හ­යක් නිකුත් කිරී­ම­ටත් අප බලා­පො­රොත්තු වෙනවා. අපේ අනු­ස්ම­රණ පද­නම සහ ගමේ පාසලේ විදු­හ­ල්ප­ති­තුමා, අන්ධ පාසලේ විදු­හ­ල්ප­ති­තුමා ඇතුළු කමි­ටු­වක් අප මේ වෙනු­වෙන් පත් කර­ගත්තා.
සොයි­ලි­යස් මැන්දිස් කියන්නෙ මේ පළා­තට පම­ණක් වටිනා කියන වෙන්වුණු පුද්ග­ල­යෙක් නොවෙයි. ඔහු විශේ­ෂිත ලකු­ණක්. අද වන විට විශ්ව­වි­ද්‍යාල මට්ට­මින් එතුමා ගැන හැදෑ­රී­මක් කර­නවා. ඔහු සිතු­වම් කලාවේ අනන්‍ය ලක්ෂණ සහිත වූවෙක්. අනෙක් කලා­ක­රු­වන්ට සාපේ­ක්ෂව ඔහු ඉතා ඉක්ම­නින් තමන්ගේ කලාවේ පරි­පා­කය ළඟා කර­ගත් සිත්ත­රෙක්”
ඒ, සොයි­ලි­යස් මැන්දිස් අනු­ස්ම­රණ කමි­ටුවේ ප්‍රධාන සංවි­ධා­යක ආනන්ද කරු­ණා­රත්න අඩ­සි­ය­ව­සක සැම­රුම් උලෙළ ගැන වැඩි­දු­ර­ටත් දැක්වූ අද­හස් ය.
සොයි­ලි­යස් මැන්දිස් නාමය බොහෝ දන මන රැව් දෙන්නට පටන් ගත්තේ කැල­ණිය විහා­රයේ සිතු­ව­ම්ක­ර­ණය නිසා ය. කලා­ක­රු­ව­කුගේ නමක් එකී නිර්මා­ණය ගැන පැවසූ සැණින් සිහි­යට එන්නේ නම් හේ ජන­කාන්ත නිර්මා­ණ­ක­රු­වෙකි. ගෝතමී විහා­රය කී පම­ණින් අප මත­ක­යට නැඟෙන්නේ ජෝර්ජ් කිට් කලා­ක­රුවා ය. බෙල්ල­න්විල කියූ පම­ණින් අප මත­ක­යට නැඟෙන නිර්මා­ණ­ක­රුවා වන්නේ සෝම­බන්දු විද්‍යා­පති ය. කැලණි විහාර බිතු­සි­තු­වම් අතර බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ ලංකා­ග­ම­නය, චූලෝ­දර, මහෝ­දර යුද්ධය, දන්ත ධාතුන් වහන්සේ වැඩම කර­වීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර­වීම ඇතුළු බුද්ධ චරි­තයේ සුවි­ශේෂී අවස්ථා වැනි සිතු­වම් නිමැ­වුම් අති­ශ­යින් කතා බහට හා විචා­ර­යට ලක් වූ ඒවා වෙති.

සොයි­ලි­යස් සිත්තරා වර්ණ සකසා ගත්තේ ද විශේ­ෂිත ස්වාභා­වික ක්‍රම­වේ­ද­ය­කට ය. රත් පැහැය සාද­ලිං­ගම් හා ගුරු ගල් අඹරා ගැනී­මෙන් ද, කහ පැහැය ගොකටු කිරි හා හිරි­ය­ල්ව­ලින් ද, නිල් පැහැය නිල් අව­රිය ශාකයේ යුෂ භාවි­ත­යෙන් ද හේ සකසා ගත් බව විෂ­ය ප්‍රවී­ණයෝ සඳ­හන් කරති. කොළ පැහැය මද­ටිය කොළ මිරිකා ගත් යුෂ යොදා ගැනී­මෙන් ද, කළු පැහැය කොහොල්ලෑ කැකුණ තෙල් සහ හල්දු­ම්මල එකට ගෙන අඹරා කපු­රෙදි කැබලි පුලුස්සා ගත් දැලි සමඟ එකට මිශ්‍ර­කොට මැටි භාජ­න­යක දමා තවත් මැටි භාජ­න­ය­කින් වසා මඳ ගින්නේ තැබී­මෙන් උඩ බඳු­නෙහි රැස්වෙන දැලි භාවිත කර­මින් ද, සුදු පැහැය මකුළු මැටි භාවි­ත­යෙන් ද සක­සා­ගෙන තිබේ. වර්ණ සකසා ගැනීමේ පාරි­ස­රික සහ­යෝ­ගිතාව අප අද­ටත් මවිත කර­වන සුළුය. ඔහු මේ සඳහා යොදා ගත් භාජන ආදිය ද සම­හ­රක් කෞතුක එක­තුවේ ඇති බැව් අපට පැව­සුවේ ප්‍රධාන සංවි­ධා­යක ආනන්ද මහතා ය.

වසර 18ක් තිස්සේ සිතින් හා කයින් ඒකා­ත්මි­කව කැල­ණිය විහාර සිතු­ව­ම්ක­ර­ණයේ නිරත වූ මේ සිත්තරා මේ මහා කාර්යයේ නිය­මුවා තමා බැව් සට­හන් කර ඇත්තේ පවා විහා­රයේ කොනක ඉතා කුඩා­වට හා අප්‍ර­ක­ටව ය. කැල­ණිය විහා­රයේ ප්‍රධාන බුදු පිළි­මය පිටු­පස ඇති බිත්තිය සිතු­වම් කිරීම සඳහා විදේ­ශික චිත්‍ර ශිල්පි­යකු කැඳ­වී­මට ගත් තීරණ අබි­යස සිතින් හඬා වැටුණු මේ අප්‍ර­මාණ කලා­ක­රුවා යළි කිසි­දි­නෙක විහාර සිතු­වම් කලාවේ නිරත වූයේ නැත.

අම­ර­ණීය වන්නට වැඩ කන්ද­රා­වක් කළ යුතු නැත. අම­ර­ණීය එක් කාර්ය­යක් වුවත් එයට ප්‍රමා­ණ­වත් ය. සොයි­ලි­යස් නාමය අබි­යස විහාර චිත්‍ර කලාවේ අතී­තය, වර්ත­මා­නය හා අනා­ග­තය ගැන බොහෝ විචාර ප්‍රති­චාර ගොඩ­ගැ­සෙද්දී තවත් අටුවා ටීකා අනැ­වැසි බැව් අවි­වා­දිත ය. ප්‍රබල සංස්කෘ­තික දාය­ක­ත්ව­යක් ලාංකේය කලා සංස්කෘ­තික වප­ස­රි­යට තිළිණ කළ සොයි­ලි­යස් මැන්දිස් නාමය, දිනෙන් දින නාමය අම­ර­ණීය වන කලා­ක­රු­වන්ගේ ගොන්නට වැටෙ­න්නකි. අඩ­සි­ය­ව­සක සැම­රුම අබි­යස ඔහු කලා ලොව ප්‍රදී­ප­ස්ත­ම්භ­යක් බැව් අප පව­සන්නේ එකී ආස්ථා­නයේ අන­ලස් ව පිහිටා ය.

|සුමුදු චතුරාණී ජයවර්ධන

Local Gossip