“පිළිකාව” යන වචනය ඇසූ පමණින් අප සියල්ලන්ම බියට පත් වේ. නමුත්, අපේම ගෙවත්තේ වැවෙන රසවත් පළතුරක් පිළිකා නාශක ගුණ ඇති බවට ලොව පුරා කතාබහක් ඇතිවී තිබෙනවා ඔබ දන්නවාද? ඒ විශ්මිත පළතුර තමයි කටු අනෝදා. පසුගිය කාලයේ අන්තර්ජාලය පුරා පැතිර ගිය මෙම කතාබහේ ඇත්ත නැත්ත කුමක්ද සහ කටු අනෝදා වල සැඟවුණු අනෙකුත් සෞඛ්‍ය ප්රතිලාභ මොනවාදැයි අපි විමසා බලමු.
බටහිර පර්යේෂකයන්ගේ අවධානය කටු අනෝදා වෙත යොමු වූයේ නිරන්තරයෙන් මෙම පළතුර ආහාරයට ගන්නා ඇතැම් ප්‍රදේශවල පිළිකා රෝගීන්ගේ අඩුවක් නිරීක්ෂණය වීමත් සමඟයි. ඔවුන්ගේ පර්යේෂණ වලදී, කටු අනෝදා ශාකයේ කොළ, පොතු සහ ගෙඩි වල “ඇසටොජෙනින්” (Acetogenins) වැනි ප්‍රබල පිළිකා සෛල නාශක සංයෝග ඇති බව සොයාගෙන ඇත.
මෙම සංයෝග, පිළිකා සෛලවල ශක්ති ප්රභවය අඩාල කර ඒවා විනාශ කිරීමේ හැකියාවක් ඇති බව විද්‍යාගාර පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. සමහර වාර්තා වලට අනුව, මෙම ස්වභාවික සංයෝගවල ක්‍රියාකාරීත්වය, ඇතැම් රසායනික චිකිත්සක ඖෂධ (Chemotherapy) වලටත් වඩා ප්‍රබල විය හැකි බවට ඉඟි පළ වී ඇත.
කෙසේ වෙතත්, අප තේරුම් ගත යුතු වැදගත්ම කරුණ වන්නේ, මෙම ප්‍රතිඵල බොහොමයක් විද්‍යාගාර මට්ටමේ ඒවා වීමයි. මිනිසුන් යොදාගත් ප්‍රබල සායනික පරීක්ෂණ වලින් මේවා තහවුරු කර නොමැත. එබැවින්, පිළිකාවක් පැතිරී, අවසන් අදියරේ සිටින රෝගියෙකුට කටු අනෝදා යුෂ පමණක් ලබාදී සුව කළ නොහැක. නමුත්, නිරෝගී පුද්ගලයෙකු නිරන්තරයෙන් කටු අනෝදා ආහාරයට ගැනීම, ශරීරයේ පිළිකා සෛල වර්ධනය වීම වැළැක්වීමට සහ නිරෝගී අනාගතයක් උරුම කර දීමට උපකාරී විය හැකිය.
කටු අනෝදා වල ගුණ පිළිකාවට පමණක් සීමා නොවේ. එහි ඇති අනෙකුත් ප්රතිලාභ ලැයිස්තුව ඉතා දිගුය. විටමින් C අධික නිසා සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර, විෂබීජ හා ආසාදන වලින් ආරක්ෂා කරයි. එහි ඇති ලවණ (විශේෂයෙන් පොටෑසියම්) හදවතේ ක්‍රියාකාරීත්වයට හිතකර වන අතර, ශරීරයේ අනවශ්‍ය තරලය ඉවත් කිරීමේ හැකියාව නිසා ඉදිමුම අඩු කිරීමටද උපකාරී වේ. ගැස්ට්‍රයිටීස් වැනි රෝගී තත්ත්වයන්ට සහනය ගෙන දෙන අතර, එහි ඇති තන්තු මල බද්ධය වළක්වා ආහාර මාර්ගය පිරිසිදුව තබයි. මෙය වක්‍රාකාරව මහා බඩවැලේ පිළිකා අවදානම අඩු කිරීමටද දායක වේ. කටු අනෝදා කොළ අඹරා සාදාගත් ආලේපය, තුවාල සහ වේදනාකාරී අස්ථි සන්ධි මත ගැල්වීමෙන් වේදනාව සමනය කරගත හැකිය. . එම කොළ ඇල්දියෙන් අඹරා දද, කුෂ්ඨ (Eczema) වැනි සමේ රෝග මත ආලේප කිරීමෙන් කැසීම සහ ආසාත්මිකතා අඩුකර ගත හැක. එම ආලේපය හිසේ ගැල්වීමෙන් උකුණන්, හිස්හොරි වැනි ගැටලු නසා නිරෝගී කෙස් කළඹක් ලබාගත හැකිය. තවද, වකුගඩු සහ මුත්‍රාශයේ ගල් සෑදීම වැළැක්වීමේ හැකියාවක්ද කටු අනෝදා වලට ඇති බව පැවසේ.
ආහාරයට ගන්නා රසවත් මදයට වඩා වැඩි ඖෂධීය ගුණයක් කටු අනෝදා කොළ, පොතු සහ ඇට වල පවතින බව සැලකේ. හොඳින් සෝදාගත් කටු අනෝදා කොළ 10ක් පමණ වතුර දමා තම්බා, එම වතුර තේ මෙන් පානය කිරීම බොහෝ රෝග වැළැක්වීමට උපකාරී වන බවට විශ්වාසයක් පවතී. එමෙන්ම, කොළ සිහින්ව අඹරා වේදනාකාරී ස්ථාන සහ සමේ රෝග සඳහා ආලේපයක් ලෙස භාවිතා කළ හැකිය.
අපේ රටේ ගෙවතු වලින් ටිකෙන් ටික අතුරුදහන් වන මේ වටිනා ශාකයේ අගය බටහිර ලෝකය අද වන විට හඳුනාගෙන අවසන්. ඔවුන් වියළි කොළ, කුඩු, පෙති සහ කරල් ලෙස විවිධ ආකාරයෙන් මෙය භාවිතා කරයි.
පළතුරක්, බීමක් හෝ අතුරුපසක් ලෙස අපේ ආහාර වේලට පහසුවෙන් එක්කරගත හැකි කටු අනෝදා, මතු පරපුරේ නිරෝගී බව වෙනුවෙන් අපට දායාද කළ හැකි විශ්මිත ඖෂධයකි. ඔබත් අදම ඔබේ ගෙවත්තේ කටු අනෝදා පැළයක් සිටුවා මේ විශ්මිත ගුණ සම්පත රැකගන්නට එක්වන්න.