“සමාජයත් එක්ක ඉස්සරහට යද්දී, වයසට යද්දී තමයි ඒ දේවල් තේරෙන්නේ…” හැමදාමත් රංගනය ගැන කතාකරන තරින්දි කාලෙකට පස්සේ වෙනස් කතාවක් කියයි..

“සමාජයත් එක්ක ඉස්සරහට යද්දී, වයසට යද්දී තමයි ඒ දේවල් තේරෙන්නේ…” හැමදාමත් රංගනය ගැන කතාකරන තරින්දි කාලෙකට පස්සේ වෙනස් කතාවක් කියයි..

 

ඇය නම් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි..

පිට පිට රංගනයෙන් දක්ෂතා දක්වන සුපිරි තාරකාව තරින්දි ප්‍රනාන්දු, ඇය මේ ක්ෂේත්‍රයේ අද වන විට අනන්‍යතාවක් නිර්මාණය කරගෙන තියනවා..

ඒත් තරින්දි නම් කියන්නේ ඇය මේ ආව ගමන් මග ඒ තරම් සුන්දර එකක් නොවුණු බවයි.. බලන්නකෝ රංගන ශිල්පිනියක් වෙන්න පෙරුම් පිරූ කාලේ ඉඳලාම ඇය මොන තරම් නම් ඒ වෙනුවෙන් මහන්සි වෙලාද කියලා..

අම්මා හිටියා නම් මොනවගේ හැඟීමක් ඇතිවේවිද?

අම්මා ගොඩක් ආස වුණා මාව රංගන ශිල්පිනියක් කරන්න. රංගන ශිල්පිනියක් වෙන්න කටු කන කාලේ මම ඒ හැම කට්ටක්ම කෑවේ මගේ අම්මත් එක්ක. ගොඩාක් රස්තියාදු වෙලා තියෙනවා. ගොඩාක් මහන්සිවෙලා තියෙනවා. අපි දෙන්නා පයින් ගොඩාක් දුර ඇවිදලා තියෙනවා මොඩ්ල් බෑන්ක්වලට. ෆොටෝ ෂූට්වලට අම්මත් එක්ක අනන්තවත් ගිහිල්ලා තියෙනවා, අවස්ථාවක් හම්බ වේවි කියලා. නමුත් මම දැන් එයාට ඕන තැනට ඇවිත් තියෙන වෙලාවේ ඒ සතුට මාත් එක්ක භෞතිකව විඳින්න එයා අද මෙතැන නැහැ. නමුත් මට හොඳටම විශ්වාසයක් තියෙනවා මගේ අම්මාගේ ආශීර්වාදය නිසයි මේ තරම් ගරුත්වයක් තියෙන චරිත හම්බ වෙන්නේ. සමාජයේ මිනිසුන් මාව වට කරගෙන ආදරය කරන චරිත මට හම්බවෙන්නේ අම්මාගේ ආශීර්වාදය නිසාම වෙන්න ඇති කියලා.

මෑත කාලයේ ගොඩක් රංගන ශිල්පිනියකට මුණනොගැසෙන චරිත ගොන්නක් ඔබට මුණගැසෙනවා. මොකද ඒ අත්දැකීම ගැන හිතන්නේ?

මම හැමතැනකදීම කියනවා මම ගොඩක් ආශීර්වාදිතයි කියලා. මම ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්තේ මගේ අම්මාගේ වියෝවත් එක්ක. පුංචි කාලේ ඉඳලා හැදෙන අපි එකපාරටම පරිණත වෙන්නේ නැහැ. සමාජයත් එක්ක ගැටිලා සමාජය ආශ්‍රය කරන කොට තමයි අපිට අහිමිවීම් ඇති වෙන කොට ප්‍රතික්ෂේපවීම් ඇති වෙන කොට තමයි තේරෙන්නේ හරි යාළුවෝ කවුද? වැරදි යාළුවෝ කවුද කියලා. අපි නාස්ති වෙන, යාළුවෝ කවුද? අපි ළඟට ගන්න ඕනෑ යාළුවෝ කවුද? කියන කාරණා සමාජයත් එක්ක ඉස්සරහට යද්දී, වයසට යද්දී තමයි ඒ දේවල් තේරෙන්නේ.

අනික කතාවක් තියෙනවානේ අපි වපුරන තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ කියලා. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඉඳලා මේ වෙනකම් මම වපුරපු දේවල් ඇතුළේ මගේ මහන්සිය, මගේ කැපකිරීම්, මම දරාගත්තු තැන්, මාව ප්‍රතික්ෂේප වුණු තැන්, ක්ෂේත්‍රයේ අයගෙන් ලද අත්දැකීම් යන කාරණා සියල්ල තියෙනවා කියලා මම හිතනවා. අපි ගොඩක් වෙලාවට දකිනවා ක්ෂේත්‍රයට එන්නෙ ප්‍රසිද්ධ වීම තකාමයි. නමුත් මට ඊට එහා ගිය හීනයක් මගේ හිතේ තිබුණා. මම මේ වෘත්තියට ගොඩක් ආදරය කළා. මම කරපු නිර්මාණ ගත්තාම ඒ චරිත හරිම ගැඹුරු චරිත. මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න පුළුවන් චරිතම තමයි මට හම්බවෙන්නේ. ඉතිං මම හිතනවා මම මගේ වෘත්තියට තියෙන ආදරය, භක්තිය එක්ක ඒ චරිත වෙනුවෙන් මහන්සි වෙන විදිහත් එක්ක විවිධ වූ චරිත සහ ඊට අදාළ හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති කියලා.

ඔබ දැන් සම්මානනීය රංගන ශිල්පිනියක්. මේ ක්ෂේත්‍රයට අඩිය තියන කොට ඔබේ හිතේ කොතැනක හෝ මේ හීනය තිබුණාද?

මම ඉස්සර බැංකුවේ වැඩ කරන්නෙ. බැංකුවේ වැඩ කරනකොටත් හවස් වරුවේ හෝ විවේකයක් ලැබුණු ගමන් අම්මත් එක්ක මොඩ්ලින් බෑන්ක්වලට යනවා. ස්ක්‍රීන් ටෙස්ට්වලට යනවා. ෆොටෝ ෂූට්වලට යනවා. ඉතිං ඒ අතරතුර මම කිසිම නාට්‍යයකට ගෑවිලාවත් නැති කාලයක අම්මාට කිව්වා “අම්මේ මම කවදා හරි දවසක ස්ටේජ් එකට නැඟලා සම්මානයක් අරගෙන ඔයාට එන්න කියලා ඒ සම්මානය ඔයාට දෙනවා කියලා.” ඉතිං අම්මා ඒ වෙලාවේ කිව්වා අරගෙන දීපංකෝ බලන්න කියලා. ඉතිං මට ඒ කතාව තදින්ම දැනෙනවා මම සම්මානයක් ගත්ත ගත්ත වතාවට. මම හිතනවා අම්මාටත් ඒ වචනය තදින්ම දැනිච්ච නිසා තමයි මට මෙච්චර හයියක් එන්නේ. මොකද ගැහැනු ළමයකුට මේ ක්ෂේත්‍රයේ පරිස්සම්වෙලා මෙච්චර දිගු ගමනක් තනියම එන්න හරිම අමාරුයි. මොකක් හරි උදව්වක් මොකක් හරි සහයෝගයක් තල්ලු කිරීමක් තියෙන්න ඕනෑ. නමුත් මම මුල ඉඳලා තනියම හැමදේම දරාගෙන හරිම සංයමයකින් මගේ චරිතයත් ආරක්ෂා කරගෙන මම මේ තැනට ඇවිත් තියෙන නිසා වෙන්න ඇති මට මෙච්චර හොඳ චරිත පවා හම්බවෙනවා ඇත්තේ. මම හැම වෙලේම කියනවා මම හරිම ආශීර්වාදිතයි කියලා. මම මේ වෘත්තියට ගරු කරනවා සහ ආදරය කරනවා. ඒකම තමයි මට පෙරළා ලැබෙනවා ඇත්තේ.

හීන සැබෑ කරගන්න පුළුවන්. හැබැයි ඒක පවත්වාගෙන යන්න අමාරුයි. හැබැයි අපි දකිනවා තරින්දි ඒ වැඩේ හරි ලස්සනට කරගෙන යනවා. මොකක්ද එතැන තියෙන රහස?

අපි මොන ක්ෂේත්‍රයක සිටියත් අපිට දිගුකාලීන දැක්මක් තියෙන්න ඕනෑ මම කවුද, මම අවසානයේ කොතැනද ඉන්න ඕනෑ කියලා. ඒ දේ දැනගෙන අපි මේ ගමන යන්න ඕනෑ. මොකද අපිට කතාවකුත් තියෙනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලත්. බොහෝ පිරිස් ක්ෂේත්‍රයට එන්නේ ඒ ගොල්ලෝ ප්‍රසිද්ධිය තකාම පමණයි. මේ ක්ෂේත්‍රයේ තමන් කොතැනට ද යන්න ඕනෑ, තමන් කොතැන ද ටච් කරන්න ඕනෑ, මොන මොන අංශයන්ද තමන් ප්‍රගුණ කරන්න ඕනෑ, සිනමා නිළියක් වෙනවාද? නැතිනම් ටෙලිනාට්‍ය නිළියක් වෙනවාද කියන හීන ඒ ගොල්ලන්ගේ හිත්වල නැහැ. මට මේ හීනය තිබුණා. මට මේ දැක්ම තිබුණා. ඒ නිසාම මට මොකුත්ම කරගන්න බැරි කාලයේ හම්බවුණ මොකුත්ම කරන්න නැති සුළු සුළු චරිත මම ප්‍රතික්ෂේප කරල තියෙනවා. මොකද ඒ මගේ ගමන් මග තකා. මම ඒ චරිත කළා නම් මට මේ තරම් හොඳ චරිත නිරූපණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ කාලයේ ඉඳලා මේ කාලය වෙනකම් ලොකු ඉවසීමක් මගේ තිබුණා.

දරාගැනීමක් මගේ තිබුණා. හෙමින් ගමනක් තිබුණා. ඉතිං මම හිතනවා මේ සාර්ථකත්වයට හේතුවත් ඒකම වෙන්න ඇති කියලා.

එදා කැපවීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිනවාද?

අනිවාර්යයෙන්ම ඔව්. මගේ හීනේ මගේ දැක්මේ භාගයක්වත් මම තවම ළඟා කරගෙන නැහැ. මට තව ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. ජ්‍යෙෂ්ඨයන්ගෙන් අත්දැකීම් ලබාගන්න තියෙනවා. මම හරි කෑදරයි මගේ ප්‍රවීණයන්ගෙන්, ජ්‍යෙෂ්ඨයන්ගෙන් අත්දැකීම් ලබා ගන්න. ඔවුන්ව බලලා ඉගෙන ගන්න. ජ්‍යෙෂ්ඨයන්ගෙන් විතරක් නොමෙයි ආධුනික රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙනුත් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. සියලුම දේම අවබෝධයක් ඇතිව හිමීට මේ ගමන යන්න තමයි මගේ බලාපොරොත්තුව.

ෆැන්ටසි චරිතවලට වඩා මහ පොළොවේ ජීවත් වන ගැහැනියගේ චරිතවලට ඔබට නිතර ආරාධනා ලැබෙනවා. අපි ගොඩක් වෙලාවට දකිනවා ඒ චරිතවලට ඔබේ රසික රසිකාවියෝ හරියට ආදරය කරනවා. මේ චරිතවලට ඔබ උපරිම සාධාරණය ඉෂ්ට කරන්නේ ජීවිතයේ ලද අත්දැකීම් සමගද?

අපි කොච්චර ඉගෙන ගත්තත් අපි පරිණත වෙන්නේ, රංගන පරාසය වැඩිවෙන්නේ මම හිතනවා ජීවිතයේ ලද අත්දැකීම් එක්ක කියලා. මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා ඉස්කෝලෙ යන කාලේ වෙනකම් මට ජීවිතයේ කිසිම යථාර්ථයක්, සමාජය ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. මොකද අම්මා හිටියා හැමදේම මට කරලා දෙන්න. අම්මාගේ වියෝවත් එක්ක මම මේ ක්ෂේත්‍රයට එන අවුරුදු හය මම තනියම ගෙවපු අවුරුදු හයක්. මගේ පවුලේ අය, මගේ තාත්තා, මගේ අක්කා ළඟින්ම හිටියා. මොකද ඔවුන්ගේ නිදහසත් එක්ක තමයි මම මේ තරම් දුර ආවේ.

නමුත් ඒ කාලය ඇතුළත ගැහැනු ළමයකුට දරා ගන්න බැරි තරමට අභියෝග රැසකට මට මුහුණ දෙන්න වුණා තනියම. ප්‍රතික්ෂේප වීම්, නොසලකා හැරීම්, මඩ, ගොසිප්, විවේචන වගේ හැමදේකින්ම මම මාර විදිහට තැළිලා පොඩි වුණා, මේ ක්ෂේත්‍රය ඇතුළේ මේ අවුරුදු හය, හත ඇතුළත තනියම. ඉතිං මම හිතනවා ඒ අත්දැකීම් මට පිටිවහලක් වුණා ඒවා චරිතවලට ගොඩනඟන්න. ඒ චරිතවලට යථාර්ථවාදීව මුහුණ දෙන්න මට ඒ අත්දැකීම් ලොකු පිටිවහලක් වුණා. මම ආපු දවසේ ඉඳලා මේ වෙනකම් මේ ක්ෂේත්‍රය මගේ වර්ක් ෂොප් එක. මොකද ඇත්තටම අපි කරන නිර්මාණත් එක්ක වර්ක්ෂොප් එකකට සහභාගි වෙන්න මේ ගැන මූලික සිද්ධාන්ත එකතු කරගන්න තියෙන කාලය ටිකක් අඩුයි. ඉතිං මට මගේ වර්ක්ෂොප් එක කරගෙන තියෙන්නේ මේ ක්ෂේත්‍රය. ඉතිං මේ ක්ෂේත්‍රයේ සිටින අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, රංගන ශිල්පීන් ශිල්පිනියන්, මාධ්‍ය නාළිකා කියන හැම දෙයකින්ම දවස ගානේ මම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. ඉතිං එහෙම තමයි මගේ ගමන යන්නේ.

Local Gossip