පින්වත් යොවුන් දූ දරුවනේ,
ප්‍රශ්න අමතක කිරීමට ක්‍රමයක්…’ කියන මාතෘකාව දකිද්දී ම ඔයාලගෙ හිතට අමුතු සතුටක් එන්න ඇති ‘ඒක නම් මමත් හොයමින් හිටපු එකක්’ කියලා. ඔව්! අපි කවුරුත් කැමති නෑ ප්‍රශ්න ම මතක් කර කර ඉන්න. අපි කැමතියි ප්‍රශ්න අමතක කරලා පහසුවෙන් ඉන්න. නමුත් මේ හිතේ ස්වභාවය තමයි ප්‍රශ්න ම මතක් කර කර තැවෙන එක.
සමහරු මෙහෙමත් කියනවා. “අපිට ප්‍රශ්න විසඳගන්න බැරි වුණත් කමක් නෑ. ප්‍රශ්න අමතක කරගන්න තිබ්බා නම් ඇති” කියලා. ඉතින් මේ කියලා දෙන්නේ ප්‍රශ්න අමතක කිරීමට ක්‍රමයක් ගැනයි. වෙනදා වගේම බොහොම සෙනෙහසින් සිහිපත් කරනවා ‘වචනයක්වත් මඟ හැර ගන්නේ නැතිව අද ලිපියත් අවසානය තෙක් අවධානයෙන් කියවන්න. ඔයාලටත් ප්‍රශ්න අමතක කිරීමට ක්‍රමයක් ලැබේවි!’
ප්‍රශ්න… ප්‍රශ්න…
ජීවිතේ ගත කරද්දී මේ ගෙවුණු කාලේ ඇතුළේ ඔයාලට වැඩිපුර ම ආවේ ප්‍රශ්න ද? නැත්නම් ජීවිතේ මේ වෙනකම් ගත කරපු කාලෙත් එක්ක සසඳනකොට ප්‍රශ්න ආපු අවස්ථා තියෙන්නේ ගොඩක් අඩුවෙන් ද?
මේ ප්‍රශ්නෙට අනුව අවංකව බලද්දී ඔයාලට තේරෙනවා ඇති වැඩිපුර ම ජීවිතේ ගෙවුණේ ප්‍රශ්න වෙවී නෙවෙයි. ප්‍රශ්න කියන්නේ අවස්ථා කිහිපයක දී ආපු දේවල් විතරයි. අපි මේ වෙද්දී ජීවිතේ ගොඩාක් දේවල් කරලා තියනවා. අපි ලැබූ ජයග්‍රහණ තිබෙනවා. අපි ගියපු ලස්සන ගමන් බිමන් තිබෙනවා. අපි කරපු බොහොම වටින වැඩ තිබෙනවා. ඒ වුණාට ඔය දේවලට වඩා අපිට නිතර මතක් වෙන්නෙ ම ප්‍රශ්න.
ඒ ප්‍රශ්න මතක් වෙද්දී අපිට ම අපි ගැන කලකිරීමක් එනවා ‘මම හරි අවාසනාවන්තයි! මං හරිම කාලකන්නියි! මං කරන හැමදේම අවසානේ ප්‍රශ්නයක් වෙනවා. මගේ මේ ප්‍රශ්න කවදා ඉවර වෙයි ද?’ ඔය වගේ හිතුවිලිවලින් අපි වෙහෙසට පත් වෙනවා. මේ ගැන ඔයාලටම කොච්චර අත්දැකීම් ඇති ද! එහෙම අවස්ථාවල ඔබට වුණත් හිතිලා ඇති ‘මේ ප්‍රශ්න අමතක කරන්න ඇත්නම් මොනතරම් සහනයක් ද?’ කියලා.
එහෙම නම් ඔබටත් පටන් ගන්න වෙනවා ප්‍රශ්න අමතක කරවන පොත.
ප්‍රශ්න අමතක කරවන පොත
ඇත්තෙන්ම මොකක්ද ඔබේ ප්‍රශ්න අමතක කරවන ඔය අසිරිමත් පොත. ඒ තමයි ‘ඔබේ පින්පොත.’ ඔබ මේ වෙනකොටත් පින්පොතක් ලිවීම ආරම්භ කරලා නම් තියෙන්නේ ඔබ ගොඩක් සතුටු වෙන්න. මේ වෙද්දී පින්පොතක් ලිවීම ආරම්භ නොකළ අය අද ම පින්පොතක් ලියන්න පටන් ගන්න.
ඔබ කරන, ඔබට දැනෙන විශේෂ පින්කම් ඔබ දිනපතා ම ඒ ඔබේ පින්පොතේ පිළිවෙළකට සටහන් කරන්න. දිනය, පින්කම කරපු ස්ථානය, පින්කම කරද්දී ඇතිවුණ ලස්සන චේතනාවන්, පින්කමේ දී ඒ මොහොතේ ඇතිවුණ සැනසීම ඔබට දැනෙන විදිහට ඒ පොතේ සටහන් කරගන්න.
ඔබේ ම අත් අකුරෙන් ඔබ ම කළ පින්කම් ‘ඔබේ පින්පොතේ’ ලියන්න ඕන. සමහර පින්කම්වල මතකය අවදි කරගන්න වටින ඡායාරූප ආදිය තියෙනවා නම් ඉන් එකක් හෝ උපරිම දෙකක් ඔබ පින්කම ගැන ලියපු පිටුවේ ම පැත්තකින් අලවා තියන්න.
යම් මොහොතක ප්‍රශ්නයකින් හිත දැවෙද්දී පවා ඔබ ඒ පින්පොත අතට අරගෙන තනිවම බලන්න පටන් ගනිද්දී, ඔබ නොහිතන තරම් ඔබ ගැන ම සතුටක් ඒ පින් පොත ඔබට අරගෙන ඒවි! ප්‍රශ්න ගැන හිතද්දී දැනෙන අවාසනාවන්ත කාලකන්නි හැඟීම වෙනුවට ඔබට ඔබ ගැනම විශාල සන්තෝෂයක් ඇති වේවි! ‘මමත් හරිම ලස්සන දේවල් කරලා තියෙන කෙනෙක්නේ, මමත් හරි අපූරු දාන දීපු මනුස්සයෙක්නෙ…’ ආදී වශයෙන් ඔබට ඔබ ගැන ම දැනෙන සතුට විසින් ඔබේ ප්‍රශ්න අමතක කර දමාවි! ඒකයි මේ පොතට ප්‍රශ්න අමතක කරවන පොතක් කියලා නම් කළේ.
අමුතු පින්පොත්
ඇතැම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘මමත් කරන කරන පින්කම් ෆොටෝ ගහලා, මගේ ෆේස්බුක් එකවුන්ට් එකේ දාලා තියෙනවානේ. ඒකත් එහෙමනම් පින්පොතක්නේ’ කියලා. නෑ! එබඳු දෙයක් නෙවෙයි ඔබ ලියන පින්පොත කියන්නේ. ෆේස්බුක් පරිහරණය කරද්දී තවත් නොයෙක් වෙන වෙන අරමුණුවලට යන්න තියෙන අවස්ථාව ඕනවාටත් වැඩියි. අන්තිමේ ප්‍රශ්නයක් තියෙන වෙලාවට ඒක අමතක කරන්න කියලා ෆේස්බුක් බලන්න ගිහින් වෙන්නේ තිබුණාටත් වඩා අමතර ප්‍රශ්නයක් ඇති වෙන එකයි.
ඒ නිසා තමන් ආසාවෙන් කරපු පින්කම් තමන්ගේ ම අත් අකුරින් පොතක ලියලා සකස් කරගන්න පින්පොතක් ම ඔබ හදාගන්න. ඒක උපක්‍රමයක්, ජීවිතේ වෙහෙස දුරුකරවන, ප්‍රශ්න අමතක කරවන, නොවැදගත් දේවල් අමතක කරවන අපූරු උපක්‍රමයක්.
අම්බලට්ඨිකාවේ දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට අවවාද කළා “රාහුලයෙනි, ඔබ කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ යම් දෙයක් කළාට පස්සේ, ‘මම මොන වගේ දෙයක් ද කළේ?’ කියලා විමසා බලන්න. එසේ බලද්දී ඔබේ කායික වාචසික මානසික ක්‍රියා ගැන ඔබට තේරෙනවා නම් ‘මං මේ සිත කය වචනයෙන් කරපු දේවල් මටත් යහපත්, අනුන්ටත් යහපත්, දෙපාර්ශවයට ම යහපත්. මේ දේවල් කුසල්. සැප විපාක උපදවන දේවල්. නුවණැත්තෝ විසින් ගරහන්නේ නැති දේවල්’ කියලා. රාහුලයෙනි, ඔබ ඒ ගැන සිත ප්‍රීතියට පත් කරගෙන ප්‍රීතිමත් සිතින් තව තවත් දිවා රෑ කුසලයේ ම හැසිරෙන්න” කියලා.
අද යුගයට ගැළපෙන උපක්‍රමයක්…
මැනැවින් සිහිනුවණ වඩන්න පින් බලයක් තිබුණු ඒ යුගයේ පින්වන්තයෝ තමන්ගේ ජීවිතේ කරපු කියපු හිතපු හොඳ දේවල් ගැන සිහි කරමින් සතුටු විය හැකි මානසික දක්ෂතාවයක් සහිතව හිටියා. නමුත් අද අපිට ඒ දක්ෂතාවය ගොඩාක් අඩුයි. මොහොතක් හිතන්න. අපිට කරපු පින්කමක්, අහපු බණ පදයක්, කරපු හොඳ දෙයක් හිතේ රැඳෙනවාට වඩා ඉක්මනින් ම වෙන්නේ මොකක් හෝ හිත් රිදෙන වචනයක්, තමන්ට කවුරු හරි කරපු වෙනස්කමක් වගේ දෙයක් හිතේ රැඳෙන එක නේද? ඉතින් අවුරුදු ගණන් පරණ ප්‍රශ්න පවා සිහි කර කර තැවෙන ඔබ සමහර විට සතියකට කලින් කරපු පින්කමත් අමතක වෙලා නේද තැවෙමින් ඉන්නේ.
ඉතින් අපි පටන් ගමු, අපිට අපි කරපු යහපත් දේ මතක් කරවලා දෙන පොතක් හදාගැනීම අපි පටන් ගමු.
දිනපොත් හරියන්නේ නැද්ද?
බොහෝ අය පුරුදු වෙලා ඉන්නවා එදිනෙදා වෙන දේවල් ලිවීම පිණිස දිනපොතක් භාවිත කරන්න. ඔය දිනපොත අනිවාර්යෙන් හැමදාම ලියන අය ගොඩාක් අඩුයි. ඔය දිනපොතේ අනිවාර්යෙන් ම ලියන දවස් තමයි හිත පෑරුණු දවස්, හිත රිදුන දවස්, ප්‍රශ්නයකින් පීඩාවට පත් වුණ දවස්, තමන් අසාධාරණයකට ලක් වුණ දවස්. ඔය වගේ ආයේ මතක් වෙන්න ඕන නැති දේවල් තමයි බොහෝ අයගේ දිනපොත්වල පිරිලා තියෙන්නේ.
කිසිම ප්‍රශ්නයක් නැතිව සැහැල්ලුවෙන් ඉන්න වෙලාවක වුණත් අහම්බෙකට හෝ ඒ දිනපොත කියවන්න ගත්තොත් පරණ ප්‍රශ්නත් ආයේ ඇවිස්සෙන විදිහට තමයි ගොඩක් උදවිය දිනපොත් ලියන්නේ. ඒ නිසා දිනපොතයි, මේ කියන පින්පොතයි කිසිසේත් සමාන කරන්න බෑ.
තවත් පින් කරන්න ආසා හිතෙයි!
ඔය පින්පොතේ තිබෙන ඊළඟ වාසිය තමයි ‘තවත් පින් කරන්න ආසා හිතෙන එක.’ දිනෙන් දින කරපු පින්කම්වලින් පොත පිරෙද්දී, ඔබට එක පින්පොතක් ඉවර කරන්න හිතෙයි. ‘තව තියෙන්නේ පිටු කීපයයි, ඒ පිටු පිරෙන විදිහේ පින්කම් ටිකක් ඉක්මනින් කරගන්න ඕන’ කියලා හිතෙයි. කලක් යද්දී පිටු එකසිය විස්සේ, පිටු එකසිය හැටේ පොත් දෙක තුනක් පින් පොත් විදිහට ඔබ ළඟ එකතු වෙයි. ඔබට ඒ පොත් කාමරේ ඔබට පේන තැනක තියෙන එක පවා අසාමාන්‍ය විදිහේ සැනසුමක් අරගෙන එයි.
ඔව්! ඔබේ පින්පොත ඔබව පිනේ යොදවන, ඔබව පිනට කුසලයට උනන්දු කරවන අපූරු කල්‍යාණමිත්‍රයෙක් වෙයි. සුන්දර යාළුවෙක් වෙයි.
සමාජ මාධ්‍ය ආදියේ ඔබේ පින්කම් ෆොටෝ ගහලා දැමූ විට ඇතැම්මු ඕවා අනුමෝදන් වුණත්, සමහරු කරන්නේ විවේචන කරන එක. මොනතරම් හොඳ දෙයක්වත් අනුමෝදන් වෙන්න බැරි අසනීපයක් ඇතැමුන්ට තියෙනවානේ. අන්තිමේ පින්කම කරපු කෙනාට ඒ පින්කම ගැන තියෙන සතුට නැත්තටම නැතිවෙන හීන අදහස් ඔය ෆේස්බුක්, යූ ටියුබ් ආදී සාමාජ මාධ්‍යවල කමෙන්ට් අතරේ තියනවා. නමුත් ඔබේ පින්පොතට බාහිර අයගේ කමෙන්ට් වැටෙන්නේ නෑ. ඒක ඔබේ පින්පොත. හරියට එය ඔබේම ගෙවාදැමූ අතීතේ පින්කම්වල පැහැදිලි පිටපතක් වගේ. මේ කරුණු ටිකෙන්ම ඔබට තේරෙන්න ඇති පින්පොත මොන තරම් නම් සැපයක් සුවයක් උපදවනවා ද කියලා.
පින්පොත එක්ක තනි වෙන්න…
හොඳට මතක තියාගන්න. අපි පින්පොතක් ලියන්න කියන්නේ කාටවත් පෙන්නන්න නෙවෙයි. ‘මම පින්පොතක් ලියන කෙනෙක්’ කියලා අනෙක් අයට ප්‍රදර්ශනය කරන්න නෙවෙයි. පින්පොතේ ෆොටෝ ගහලා ෆේස්බුක් දාන්න නෙවෙයි.
අපි පින්පොතක් ලියන්නේ අපිට ම අමතක වෙන අපේ යහපත මතක් කරගන්නයි. අපේ ප්‍රශ්නවලින් හිත වෙහෙසට පත්වෙද්දී ‘මේ ප්‍රශ්න මැද්දෙත් නුඹ පින් කරපු කෙනෙක්’ කියලා හිතේ සතුටක් උපදවා ගන්නයි.
මම හිතනවා පින්පොත ගැන කියූ කරුණු ප්‍රමාණවත් කියලා. දැන් ඉතින් තිබෙන්නේ පටන් ගන්නයි. එසේ නම් පටන් ගන්න ‘ඔබේ පින්පොත.’
නැති දේවල් ගැන
දුක් වෙන්න පෙර
තියෙන දේවල් ගැන
සතුටු වෙන්න.
කරගන්න බැරි වුණ දේවල් ගැන
දුක් වෙන්න පෙර
කරපු දේවල් ගැන
සතුටු වෙන්න.
ඒක ජීවිතේට
විශාල පහසුවක් වෙයි!
තෙරුවන් සරණයි!
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.
