රන්වන් පාටින් දළුලන බෝධිය – නිල්වන් පාටින් කොළ ලන බෝධිය මේ පදපෙල… අටවිසි බෝධි පූජාවක් කවියට නැගූ පානදුරේ අරියධම්ම හිමි ගැන ඇසෙන ඔබ නොදත් කතාවක් මෙන්න

රන්වන් පාටින් දළුලන බෝධිය – නිල්වන් පාටින් කොළ ලන බෝධිය මේ පදපෙල… අටවිසි බෝධි පූජාවක් කවියට නැගූ පානදුරේ අරියධම්ම හිමි ගැන ඇසෙන ඔබ නොදත් කතාවක් මෙන්න

රන් වන් පාටින් දලු ලන බෝධිය – නිල් වන් පාටින් කොළ ලන බෝධිය
ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය – අපිත් වඳිමු ජය සිරිමා බෝධිය”

පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ගේ මුල් නම ලාල් බුද්ධදාස ප්‍රනාන්දුය. ලාල් බුද්ධදාස උපන්නේ 1940 ජුනි 22 වැනිදාය. ඔහුගේ පියා ගොවියෙකි. මව සරල ගෘහණියකි. ඔහුට සොයුරෝ තිදෙනෙක්‌ සහ සොයුරියෝ තිදෙනෙක්‌ වූහ. පිළිවෙලින් නල්ලූරුවේ සිරි සීවලී විද්‍යාලයෙන්ද, පානදුරේ සිරිල් ජෑන්ස්‌ විද්‍යාලයෙන්ද, හොරණ විද්‍යාරත්න පිරිවෙනෙන්ද බුද්ධදාස දරුවා උගත්තේය. ඔහුගේ දහම් පාසල නල්ලූරුවේ සිරි විමල දහම් පාසලය. මේ අතර දිනෙක මිහින්තලේදී දොඩම්පහළ චන්ද්‍රසිරි නමැති ආරණ්‍යගත භාවනානුයෝගී භික්‍ෂුව සමඟ කතාබහ කිරීමට බුද්ධදාසට හැකි විය. ගිහිගෙය අත්හැර භාවනානුයෝගී වීමට තමා තුළ අදහසක්‌ ඇති බව උන්වහන්සේට පැවසූ බුද්ධදාස උන්වහන්සේගේ උපදෙස්‌ පරිදි 1966 දෙසැම්බර් 22 වැනිදා කලපලුවාවේ ගෝතම තපෝවනයේදී “තපෝවනයේ අත්ථකුසල යන නමින් පැවිදි විය. අත්ථකුසල සාමනේරයන්ගේ ආචාර්යෝත්පාදයාණන් වහන්සේ වූයේ කඩුවැල්ලේ වංගීස නායක තෙරණුවෝය. ස්‌වල්ප කලකට පසු අත්ථකුසල සාමනේරයෝ උපසම්පදාව ලබා පානදුරේ අරියධම්ම ලෙස සිය ශාසනික මෙහෙවර ආරම්භ කළහ.
පානදුරේ අරියධම්ම හිමියෝ අටවිසි බෝධි පූජාවක්‌ කවියට නැගූහ. එය මිහිරි හඬින් ගායනා කළහ. මේ බෝධි පූජා මුලදී පවත්වන ලද්දේ කොළඹ අවට පන්සල්වලය. ඒවාට සහභාගි වීමට මුලදී සැදැහැතියෝ විසි තිස්‌ දෙනෙක්‌ පැමිණියහ. පසුව එය දෙතුන් දහසක්‌ විය. අනුරපුරය වැනි තැනකදී මේ මිහිරි බෝධි පූජාව ශ්‍රවණය කිරීමට විසි තිස්‌ දහසක්‌ පැමිණියහ. ක්‍රමයෙන් අරියධම්ම හිමියෝ රටේ ජනමනස තුළට කාවදින්නට වූහ. ඇතැම් සැදැහැතියෝ උන්වහන්සේගේ බෝධි පූජා කවි කුඩා පොත් වශයෙන් ලක්‍ෂ ගණනින් මුද්‍රණය කර නොමිලයේ බෙදන්නට වූහ. 1978 අග භාගයේදී උන්වහන්සේ විසින් මාතලේදී පැවැත්වූ අටවිසි බෝධි පූජාවක්‌ බැතිමත්හු පනස්‌ හය දහසක්‌ සහභාගි වූහ. ඇතැම් විට කිසියම් විහාරස්‌ථානයකදී උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් එක දිගට මාසයක්‌ පුරා පැවැතිණි. එකල මේ රටේ සිටි වඩාත්ම ජනප්‍රිය බෞද්ධ භික්‍ෂුව පමණක්‌ නොව වඩාත්ම ජනප්‍රිය චරිතය වූයේද පානදුරේ අරියධම්ම භික්‍ෂූන් වහන්සේය.

උන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් පිළිබඳවත් ප්‍රවෘත්ති කිසි විටෙකත් පුවත්පත්වල පළ නොකරන ලදී. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය නොකරන ලදී. එහෙත් අරියධම්ම හාමුදුරුවන් වහන්සේ බෝධි පූජා පවත්වන්නේ කොතැනද ඒ ගැන මුළු රටම දැන සිටියේය. තරුණ පෙළ දුසිරිතෙන් ගලවා ගන්නට අරියධම්ම හිමිය ගත් උත්සාහය නිසා මුළු ලක සියලු බොදු තරුණයන් මෙතුමෝ අනුගමනය කරන්නට වුහ. මෙම තරුණ ප්‍රබෝධය ලංකාව පුරාම සියලු පන්සල වලට මිනිසුන් අද්දවන්නට සමත් විය. කිසි දිනක පන්සලකට නොගිය බොහෝ දෙනා පන්සල් ඇසුරු කරන්නට පටන් ගත්හ.

මනාකොට ශ‍්‍රද්ධාවෙන් සකස් කරන ලද චතුමධුර, මල්, සුවඳ දුම් සහිත ගිලන්පස බුද්ධ පූජාවන් පූජා කිරීමෙන් අනතුරුව තෙරුවන් ගුණ වන්දනාවකින් ද ඉතා ම ලිහිල් හා කාරුණික බසින් පැවැත්වෙන දහම් අනුශාසනාවකින් ද මෙම පින්කම් සමන්විත විය. ඉතා ම සරල වූත්, සිත් ඇදගන්නා සුලූ වූත් පැදි හතරේ තෙරුවන් ගුණ හා බෝධි පූජා කවි ගායනා මෙම පින්කම් කෙරෙහි සැදැහැතියන් දැඩි ලෙස ආකර්ෂණය වීමට ප‍්‍රධානතම හේතුව විය. විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දීමත් සමඟ වල්මත් වෙමින් සිටි අසරණ තරුණ පිරිස් බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් සනසාලමින් යහපත් දිවිමඟකට යොමු කරලීමට එකල මෙම පින්කම් සමත් විය. කොටින් ම රත්නපුරය ආදි ප‍්‍රදේශවල බෝධි පූජාවන් හේතුවෙන් අපරාධයන්ගේ සීඝ‍්‍ර පහත බැසීමක් පොලීසිය විසින් ම හඳුනාගෙන තිබිණ.

අරියධම්ම හාමුදුරුවන් වහන්සේ ඉතා යහපත් සෞඛ්‍යයක්‌ තිබූ අයෙකි. දවසේ පැය 24 ම වැඩ කළ උන්වහන්සේ ඇතැම් විට දෙපැයක්‌ නිදා ගත්තේ දින තුන හතරකට වරක්‌ බව කියනු ලැබේ. මේ අතර දිනක්‌ බෝධි පූජා පින්කමක්‌ සඳහා පේරාදෙණියට වැඩම කළ අරියධම්ම හිමියෝ හදිසියේම රෝගීව පේරාදෙණියේ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරන ලදහ. මෙය සිදු වන්නේ 1986 අවුරුද්දේ මැයි මාසයේ 26 වැනිදා සවසය. රෝහල් ගත කර පැයක්‌ තුළ උන්වහන්සේ අපවත් වූහ.

තොරතුරු විශේෂ ලියුම් කරුවකුගෙනි
සේයාරූ සුමේද ඇල්පිටියමහතාගෙනි CEO (Thaayi Sumedha)
_______________________

Local Gossip