ශ්‍රී ලංකා පොලිසියේ නිල facebook පිටුව සමගින් අත්වැල් බැඳගෙන සිටින පරිශීලක ඔබගේ නීතිමය අවබෝධය සහ රසඥතාවය වෙනුවෙන් නිර්මාණය කරනු ලබන කෙටි කතා මාලාවෙහි පළමු වන කොටස සහෘද පරිශීලක ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරනු ලබන අතර, ඉදිරියේදී සැම සතියකම සඳුදා සහ සිකුරාදා දින කොටස් වශයෙන් මෙම කතා මාලාව ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම කතා මාලාවෙහි කිසිඳු සත්‍ය සිදුවීමක් ඇතුලත් නොවන බවත් කාරුණිකව සිහිපත් කරන්නෙමු.
******************************************
අවුරුදු හැටක් විතර පොලිස් නිලධාරියෙක් විදියට වැඩ කරලා විශ්‍රාම ගියාට පස්සෙ, ඉතුරු ජීවිත කාලෙම කල්පනා කර කර ඉන්න මහ ගොඩක් මතක ඉතුරු වෙනවා මල්ලි….
මට මල්ලි කියලා කතා කරාට සේනක අයියා මං වගේ දෙගුණයක් විතර වයස පොරක්.විශ්‍රාම ගියත් අවුරුදු ගණනාවක පුරුද්දට තාමත් රැවුල කොණ්ඩෙ කපලා, තරුණ කොල්ලෙක් වගේ ජීවත් වෙන මනුස්සයෙක්. වෙනසකට කියලා තියෙන්නෙ දැන් කාකි කලිසමයි ෂර්ට් එකයි අඳින්නෙ නැති එක විතරයි. සේනක අයියා එක්ක හැමදාම හැන්දෑවට කෝපි එකක රස බලන වෙලාවට රාජකාරි කරපු කාලෙ සිද්ද වෙච්ච දේවල් අහගෙන ඉන්න එක මගේ පුරුද්දක්.ඒ නොස්ට්ඇල්ජියානු මතක වමාරද්දි අම්මපා ඇගේ හීගඩු පිපෙනවා.
මල්ලි….. 1996 අවුරුද්දෙ මං වැඩකරේ නුවරඑළිය පැත්තෙ පොලිසියක. එතකොට මම පොලිස් සේවයට බැඳිලා අවුරුදු 10ක් විතර ඇති. ඒ ප්‍රදේශයේ හිටියේ වැඩිපුරම දෙමළ මිනිස්සු උනත්, ඒ හිටපු හැම සිංහල දෙමළ මනුස්සයෙක් එක්කම සහයෝගයෙන් කටයුතු කරන්න හොඳ දැනුමක් වගේම අවබෝධයක් අපිට තිබුනා.
සුන්දර තේ වතු වලින් ගහන වෙච්ච අලංකාර පරිසරය සිසාරා දවසේ පැය විසිහතර පුරාම සීතල පිණිකැට සැරිසරමින් තිබුණා.මං හැමදාම හිතුවෙ ඒ සුළං රැලි එක්ක ප්‍රදේශයේ ජීවත්වුන අහිංසක මිනිස්සුන්ගෙ දුක්ඛ දෝමනස්සයන් ගහගෙන යනවා ඇති කියලා. කටුක අමිහිරි අත්දැකීම් වලට නිරන්තරයෙන් මුහුණ දෙමින් ජීවත්වුණු ඒ පළාතෙ මිනස්සු හැමදාම වගේ උදේට හිරුඑළිය වැටෙන්නත් කලින් පුංචි පුංචි ගෙවල් වලින් එලියට ඇවිත් ඝන මීදුම මැද්දෙන් කූඹි රෑනක් වගේ තේ වතුවල වැඩට ගියා. උදේට දවල්ට කන්න කෑම වගේම, තේ වතුර ටිකක් බොන්න අවශ්‍ය අඩුම කුඩුමත් ඒ මිනිස්සු උස්සගෙන ගිය බෑග් මලු ඇතුලෙ තිබුණා. බොහෝ වෙලාවට පැමිණිල්ලක් විභාග කරන්න තිබුනොත් මම එහාට මෙහාට ගියේ මේ තේ වතු මැද්දෙන් වැටිලා තිබුණ පාරවල් දිගේ .එහෙම යන එන වෙලාවට සර්.. කියලා කතාකරලා මටත් තේ කහට ටිකක් දෙන්න ඒ මිනිස්සු කවදාවත් අමතක කලේ නෑ.. තේ වත්තෙන්ම හොයාගන්න එක සමාන ගල්ගෙඩි තුනක් එකතු කරලා ලිප්ගල් තුනක් හදනවා, අහල පහලින්ම හොයාගන්න දර ටිකක් දාලා ලිප පත්තු කරගන්නවා, ඊට පස්සේ ටිකක් ලොකු මුට්ටියකට වතුර දාලා උණු කරගෙන තමයි මේ මිනිස්සු තේ කහට බිව්වේ.ඒක හරිම සුන්දර අත්දැකීමක්.
මට මතකයි මං ඒ කාලේ දැකපු අත්විඳපු අත්දැකීම් වලින් මගේ ඩයිරි එකක කවියක් ලිව්වා.
සීතල පෙරාගෙන ඇඳගෙන කඩමාලූ
කූඩලු ලේ පෙරා වැඩකරනවා ගෑනූ
පිරිමින් කපනවා අඩි ගානට කානූ
අලුයම වදිනවා හැම වත්තෙම සීනූ
අව්වට වේලි වේලී වැස්සට තෙමෙන
බේතක් ගන්නෙවත් නෑ කැස්සට සෙමට …..
ඔන්න ඔය වගේ කවියක් තමයි මම ලිව්වේ.. ඉතුරු ටික මට හරියට මතක නැහැ. කොහොම උනත් මේ අලුත් අත්දැකීම් ගාලගෝට්ට් මැද්දෙ කාලය ගෙවිලා ගියා.
අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සතුටු සාමීචි වලින් පස්සේ බක්මහේ අසිරියට ඉහලින් වෙසක් සඳ මෝදු වෙමින් තිබුණා. බුදු තෙමගුල සමරන්න සැරසෙන පරිසරය හැම හිතකටම ශාන්ත සුවයක් අරගෙන ආවා. ජාති ආගම් භේදයකින් තොරව හැම ගෙදරකම වෙසක් පහන් කූඩු හැදුවා. සිංහල බෞද්ධ ගෙවල් වල වගේම හින්දු භක්තිකයන්ගේ ළැයිම් කාමරවලත් පහන් කූඩු එල්ලද්දි මගේ බුද්ධාලම්බන ප්‍රීතිය දෙගුණ තෙගුණ වුණා.ජාති,ආගම් කුලමල කියන්නෙ නිකන්ම නිකන් වචන විතරයි නේද කියලා හිතුනා.
කොහොම උනත් මේ ශාන්ත නිස්කලංක පරිසරයේ නිහඬ බව බිඳගෙන තංගවේලුගෙ නිවසින් මහා විලාපයක් අහෙන්න පටන් ගත්තා. දවසේ පැය 24 පුරාම තොරතෝංචියක් නැතුව නාද වෙන පොලිස් ස්ථානයේ දුරකථනයේ, නිරන්තරයෙන් ඉහළ පහළ යන රිසිවරය එදා රාත්‍රී 0700 ට විතර ඉහළට එසවුනේ තංගවේලුගෙ අවාසනාවන්ත අවසානය අපට දැනුම් දෙන්න කියලා සාජන් ප්‍රියන්ත කිසිම වෙලාවක හිතන්න නැතුව ඇති. පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු විදියට එදා රාත්‍රී රාජකාරි නිරත වෙලා හිටපු ප්‍රියන්ත මුලින්ම දුවගෙන ආවේ මාව හොයාගෙන.
සාජන් මහත්තයා…. අර නුවරඑළිය මහ ඉස්පිරිතාලේ කැන්ටීන් එක කරන තංගවේලු , “අරසි තෝටම්” වත්තේ පාරක කපලා කොටලා මරල දාලා තියෙනවා කියලා දැන් ගමේ මනුස්සයෙක් කෝල් කරලා කිව්වා.
මොනවා…..
තංගවේලු කියන්නෙ මම නුවරඑළිය ප්‍රදේශයේ රාජකාරි කරන්න ගියපු දවසේ ඉඳලා ළඟින්ම ඇසුරු කරපු ඒ ගමේ ජීවත් වෙච්ච අහිංසක දෙමළ මනුස්සයෙක්. බිරිඳයි, දුවයි එක්ක නුවරඑළිය මහ ඉස්පිරිතාලෙ කැන්ටීන් එක කරගෙන, ගමේ ඕනම පොදු කටයුත්තකදි මූලිකත්වය අරගෙන කටයුතු කරපු හිත හොඳ මිනිහෙක්. මේ ලෝකෙ, ඒ වගේ මනුස්සයෙක් උනත් සාහසික විදියට කපලා කොටලා ඝාතනය කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා කියලා මම දැනගත්තෙ එදා.. මේ වගේ සිදුවීමක් වාර්ථා වෙච්ච වෙලාවෙ ඉඳලා පොලිස් නිලධාරියෙක් විදියට විමර්ශන ඇස යොමුකල යුතුව තිබුනත්, තංගවේලුගේ අනපේක්ෂිත වෙන්ව යාමේ වියෝව හදවත පසාරු කරමින් තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානාධිපති තුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමාගේ උපදෙස් පරිදි විමර්ශන කටයුතු ආරම්භ කරන්න අපි “අරසි තෝටම්” වත්තට පිටත් වෙලා ගියා. අපි එතනට යනවිටත් තංගවේලුගෙ බිරිඳ,දියණිය ඇතුළු ප්‍රදේශයේ මිනිස්සු විශාල පිරිසක් තංගවේලුගෙ නිසල දේහය වටේට හිටගෙන හිටියා.
ජීප් රථය පාරේ අයිනෙන් නතර කරලා වටවෙලා හිටිපු මිනිස්සු අතරින් ඉදිරියට යද්දි පන්දම්,ටෝච් එළිවල ආලෝකයෙන් ලේ විලක් මැද වැටිලා හිටපු තංගවේලුගෙ දේහය දැක්කට පස්සෙ, මට මගේ ඇස්වලින් කඳුලු කැට වැටෙන එක නතර කරගන්න බැරි උනා.
පොලිස් නිලධාරියෙක්ට තමන්ගෙ ගම් පළාතෙම රාජකාරි කරන්න ලැබෙන්නෙ කලාතුරකින් එහෙම රාජකාරි කරත් එ් බොහොම පොඩි කාලෙකට විතරයි. බොහෝ වෙලාවට පොලිස් නිලධාරීන්ට ගම් පළාතෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතට ගිහින් රාජකාරි කරන්න සිද්ධ වෙනවා. එහෙම වෙලාවට අපිට ඒ ගම්වල මිනිස්සු අපේ ගමේ මිනිස්සු වගේම ලෙන්ගතු වෙනවා. තංගවේලු කියන්නෙ අන්න එහෙම ලෙන්ගතු වෙච්ච මනුස්සයෙක්.
දීපාවලී දවසට, තෛපොංගල් දවසට, සරස්වතී පූජාව දවසට තංගවේලු රස කැවිලි අරගෙන පොලිසියට ආපු හැටි මට මැවිලා පේනවා.ආයේ කවදාවත් රසකැවිලි අරගෙන තංගවේලුට පොලිසියට එන්න බැහැ කියලා මම දැන් දන්නවා. කොහොම උනත් තංගවේලුගේ ආත්මයට සැනසීමක් ලබාදෙන්න වගේම මේ සාහසික ඝාතකයා හොගෙන නීතිය හමුවට අරගෙන එන වගකීම පොලිස් නිලධාරීන් විදියට අපිට පැවරිලා තියෙනවා.
අපි මුලින්ම තංගවේලුගේ දේහය වටේට රැස්වෙලා හිටපු මිනිස්සුන්ව ටිකක් ඈතට කරලා අපරාධ ස්ථානයක් ආරක්ෂා කිරීමේ පටි( crime tape) යොදලා අපරාධ ස්ථානය ආරක්ෂා කලා. එහෙම කරන්නේ අපරාධකරුවෙක් අපරාධ ස්ථානයේ ඉතුරු කරලා ගියපු පුංචිහරි සාක්ෂියක් තිබුනොත් ඒවා ආරක්ෂා කරගන්න. ඊට පස්සේ ස්ථානාධිපති තුමාගෙ මගපෙන්වීම යටතේ අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරීන්ගේ (soco) සහය ලබාගැනීමට කටයුතු කලා.
නොනවත්වා කරකැවෙන ඔරලෝසුවේ කටු ටික අපව මධ්‍යම රාත්‍රිය කිට්ටුවට අරගෙන ඇවිත් තිබුණා. ඝණ මීදුම් වලා මැද්දෙන් ඒ වන තුරුත් දැල්වෙමින් තිබුණු පන්දම් එළි අඳුරට වගේම ඇඟට දැනුන සීතලටත් මහත් අස්වැසිල්ලක් ලබාදුන්නා. මිනිස්සු අතරින් එක එක විදියෙ කසු කුසු රහස් ඇහෙනවා. පාන්දර 0100 විතර වෙද්දි soco නිලධාරීන් ඇවිත් අපරාධ ස්ථානය පරීක්ෂා කරන්න පටන් ගත්තා.ඔවුන්ගෙ වැඩ කටයුතු අවසන් වුනායින් පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා තංගවේලුගේ දේහය නුවර එළිය මහ ඉස්පිරිතාලෙට අරගෙන ගියා.
වෙනදට රෝහල් සේවකයින්ට වගේම රෝගීන්ට කෑම අරගෙන ආව තංගවේලුගෙ නිසල දේහය අද ගිලන් රථයක දාගෙන ඒ රෝහලේම මෘත ශරීරාගාරයට අරගෙන යනවා. ජීවිතේ කොයිතරම් නම් අස්ථිරද කියලා හිතෙනවා. තංගවේලු කිසිම කෙනෙක්ට වැරැද්දක් නොකර ජීවත් වෙච්ච මනුස්සයෙක්.ඔහුට කිසිම තරහකාරයෙක් හිටියෙත් නැත්නම් එහෙම මනුස්සයෙක් මරන්න වෙන කෙනෙක්ට තිබ්බ උවමනාව මොකද්ද ? අපිට මේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට කරගෙන යන්න කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා.
නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වපු වෛද්‍යවරයා සඳහන් කරලා තිබුණෙ. තියුණු කැපුම් තුවාල වලට අමතරව තංගවේලු ඇඳගෙන හිටපු ෂර්ට් එකේ, රෙදිවල කුණු පැල්ලම් යැවීම සඳහා භාවිතා කරන විශේෂ කෙමිකල් වර්ගයක් තැවරී තිබුණා කියලා. එහෙම උනේ කොහොමද ?එතකොට සේනක අයියා කියන්න හදන්නේ, තංගවේලුගෙ ෂර්ට් එකේ තිබුන කුණු පැල්ලම් යවන්න භාවිතා කරන කෙමිකල් විශේෂයෙයි, තංගවේලුගෙ ඝාතකයයි අතර මොකක්හරි සම්බන්ධයක් තියෙනවා කියලද ?
ඔව් එහෙම වෙන්නත් පුළුවන්…..එහෙම නැත්නම් පොලිස් විමර්ශන කටයුතු නොමග යවන්න ඝාතකයා විසින් හිතාමතාම මේ කෙමිකල් තංගවේලුගෙ ෂර්ට් එකට දැම්මා වෙන්නත් පුළුවන්…එහෙමත් නැත්නම් තංගවේලු වැඩකරන වෙලාවෙ මොකක්හරි දේකට මේ කෙමිකල් පාවිච්චියට අරන් තංගවේලුගෙ අතින්ම එයාගෙ ෂර්ට් එකට වැටුනා වෙන්නත් පුළුවන්
ඒ නිසා මොනදේ උනත් නිශ්චිතවම සාක්ෂි සහිතව දෙයක් තහවුරු කරගන්නකන් අපිට තියෙන්නෙ ඒ සම්බන්ධයෙන් සැකයක් විතරයි… පොලිස් නිලධාරියෙක් විදියට රාජකාරි කටයුතු කරන එක මුද්දරස්පලම් කනවා වගේ ලේසි පහසු දෙයක් නෙමෙයි ..ඒක ගොඩක් ඉවසීමෙන් සහ අවබෝධයෙන් කරන්න ඕන රාජකාරියක්.
පොලිසිය තංගවේලුගෙ බිරිඳගෙන් ලබාගත්ත කට උත්තරේ ඇය සඳහන් කරලා තිබුනෙ වෙනදට කැන්ටීන් එකේ වැඩ ඉවර උනාට පස්සෙ තංගවේලුයි,බිරිඳයි,දියණියයි තිදෙනාම එකට නිවසට යන බවත්, නමුත් මේ ඝාතනය සිද්ද වෙච්ච දිනයෙදි තංගවේලුට ඔහුගේ මිතුරෙකු මුණ ගැසීමට අවශ්‍ය බව පවසා ඔහු ප්‍රමාද වී පැමිණෙන බැවින් බිරිඳට සහ දියණියට නිවසට යන්න කියූ බවයි..කොහොම නමුත් තංගවේලු එදා මුණගැහෙන්න ගිය මිතුරා කවුද කියලා තංගවේලුගෙ ගෙදර කිසිම කෙනෙක් දැනගෙන ඉඳලා තිබුනෙ නැහැ.
ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමින් අවසන්වෙච්ච පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පස්සේ දවල් 1245 ට විතර තංගවේලුගෙ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාතීන්ට භාරදීමට කටයුතු කලා. බොහෝ වෙලාවට මල් ශාලාවකින් සිද්ද කරන එම්බාම් කරන ,දේහය මිනී පෙට්ටියක තැන්පත් කරනවා වගේ වැඩකටයුතුත් මේ පළාතෙ සිදුකරන්නේ රෝහලෙන්මයි.කවුරුහරි කෙනෙක් මැරුණම ඒ කෙනාගෙ පවුලෙ අය හරි, ඥාතියෙක්හරි මිනී පෙට්ටියක් රෝහලට ගෙනැත් දෙන එක තමයි සාමාන්‍යයෙන් සිද්ද වෙන්නෙ.ඒ විදියට වැඩ කටයුතු අවසන් වෙලා රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කරලා තිබුන තංගවේලුගෙ නිසල දේහය, බිරිඳ ඇතුළු ඥාතිවර්ගයාගෙ දහසකුත් වේදනා විලාප මැද්දෙ ග්‍රීන්ෆීල්ඩ් ෆැක්ටරියෙ ලොරියකින් තංගවේලුගෙ නිවසට අරගෙන යන්න කටයුතු සූදානම් කරලා තිබුනා.
බොහෝ පළාත් වල මේ වගේ අවස්ථාවන් වලදි අවමංගල්‍ය රථ භාවිතා කලත්, නුවරඑළියෙ ඇතැම් ප්‍රදේශවල තේ වතු මැදින් දිවෙන දුෂ්කර පාරවල් දිගේ අවමංගල්‍ය රථ ධාවනය කරන්න බැරි නිසාම ඒ පළාත් වල මිනිස්සු නිරන්තරයෙන් හුරු පුරුදු වෙලා තිබුණෙ තේ වතුවල භාවිතා කරන ලොරි රථ, ට්‍රැක්ටර් රථ වගේ වාහන වලින් ඔවුන්ගෙ ප්‍රවාහන කටයුතු සිදුකරගන්න.එදා දහවල් 0115 ට විතර ග්‍රීන්ෆීල්ඩ් ෆැක්ටරියෙ ලොරි රථය තංගවේලුගෙ දේහය සහ ඥාති පිරිස රැගෙන රෝහල් භූමියෙන් පිටව ගියත්, කෙටි කාලයකට මුණ ගැහුණු සදාකාලික වේදනාවක් ඉතිරි කල අහිංසක තංගවේලුගේ මතකයන් සමග රෝහලේ බංකුවක් මත වාඩි වී මම මගේ දෑස් පියාගත්තා.
ඇත්තටම තංගවේලු එදා මුණගැහෙන්න ගියේ කවුද ? තංගවේලුගේ ෂර්ට් එකට රෙදි වල කුණු පැල්ලම් යවන්න භාවිතා කරන කෙමිකල් විශේෂය ආවෙ කොහෙන්ද? මෙලෙස ප්‍රශ්නපත්‍රයක් ලෙසින් අඬවන් දෙනෙත් ඉදිරියේ චිත්තරූප මැවෙන අභිරහස් ලෙස ඝාතනය වූ තංගවේලුගේ ආත්මය සුවපත් කිරීමේ උවමනාව යුක්තිය ඉටුකිරීමේ පිපාසයෙන් පෙලෙමින් තිබුණා.
මේ ඝාතනය සිද්ද වෙච්ච දවසෙ තංගවේලුගෙ බිරිඳයි, දියණියයි හිටියෙ නැත්නම්,,,, ඝාතකයා කොහොමද හරියටම දැනගත්තේ එදා තංගවේලු ගෙදර යන්නෙ තනියෙම කියලා?
මතු සම්බන්ධයි ……