අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ පුත්, මෑතකදී විවාහ දිවියට පිවිසි ගායන ශිල්පී ගයාන් පෙරේරා, ළහිරුගේ යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඔහු පවසන්නේ තමා මේ වන විට සිය ජීවිතයේ අවසන් අදියරේ පසුවන බවට හැඟීමක් තමා තුළ පවතින බවයි. දැඩි ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටින තමාට, නුදුරු අනාගතයේදීම හෘදයාබාධයක් හෝ පිළිකාවක් වැළඳීමේ අවදානමක් පවතින බවත්, එසේ නොවුණහොත් සාමාන්‍ය මරණයක් අත්වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
යම් හෙයකින් තමාට දරුවෙකු ලැබී, “තාත්තේ, දුම්පානය නවත්වන්න” යැයි එම දරුවා ඉල්ලීමක් කළහොත්, එම ඉල්ලීම තම ජීවිතයේ දැඩි තීරණයක් ගැනීමට තරම් ශක්තිමත් හේතුවක් වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කරයි.
උස්වත්ත ලියනගේ ගයාන් ග්ලෙන් මෝ පෙරේරා යන සම්පූර්ණ නමින් හඳුන්වන ඔහු, කොළඹ වැල්ලවත්තේ ඉපිද, රත්මලාන ප්‍රදේශයේ හැදී වැඩී ඇති අතර, අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ සාන්ත පීතර විද්‍යාලයෙනි. සිය පියා සුනිල් පෙරේරා බවත්, මව ගීතා පෙරේරා බවත්, සෙසු පවුලේ සාමාජිකයන් සජිත්, රෙහානා සහ මනීෂා පෙරේරා බවත් ඔහු හඳුන්වා දෙයි. අධ්‍යාපනික වශයෙන් තමා එතරම් ඉහළ සුදුසුකම් ලත් අයෙකු නොවන බව පිළිගන්නා ගයාන්, සාමාන්‍ය පෙළ විභාගයේදී පළමු වර ගණිතය සහ සංගීතය යන විෂයන් දෙකටම අසමත් වූ බවත්, පසුව දෙවන වර පෙනී සිට ගණිතය සමත් වූ බවත් සිහිපත් කරයි. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පවා තමා නොදන්නා බව ඔහු පවසන්නේ, එම කාලය මිතුරන් සමග විනෝදයෙන් ගත කිරීමේ අරමුණින් පමණක් පාසල් ගිය බවයි.
සිය වෘත්තීය ජීවිතය 2005 වසරේදී HSBC බැංකුවෙන් ආරම්භ කළ ගයාන්, පසුව ජංගම දුරකථන සමාගමක ද සේවය කර ඇත. අනතුරුව සංගීත ක්ෂේත්‍රය තුළ ස්ථාවර වීමත් සමග එම රැකියාවලින් ඉවත් වී තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ කාලයේදී ඔහු, ‘සෙවන්-ඉලෙවන්’ වෙළඳසැලක ලිපිකරුවෙකු, වේටර්වරයෙකු, බෙදාහැරීමේ රියදුරෙකු, ඇමසෝන් සමාගමේ රියදුරෙකු සහ සංගීත ගුරුවරයෙකු ලෙස විවිධ රැකියාවන්හි නිරත වී ඇත. එම කාලය තුළ ඔහු ඇමරිකාවේදී ‘වෝකල් ප්‍රඩක්ෂන්’ සහ ‘මියුසික් ප්‍රඩක්ෂන්’ යන විෂයන්ගෙන් ආශ්‍රිත උපාධියක් (Associate Degree) ද හිමි කරගෙන තිබේ.
ගයාන් පෙරේරා තමන්ව හඳුන්වන්නේ හුදු ගායකයෙකුට හෝ රස ගන්වන්නෙකුට (entertainer) වඩා සංගීතඥයෙකු (musician) ලෙසයි. ගීතයක පළමු අකුරේ සිට එහි නිෂ්පාදනය සහ වේදිකා ඉදිරිපත් කිරීම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලියම සිය මනසින් දකින්නෙකු ලෙස ඔහු තමාගේ කාර්යභාරය විග්‍රහ කරයි. තමාගේ සාර්ථකත්වයේ ප්‍රධානතම තුරුම්පුව ලෙස ඔහු දකින්නේ සිය ගීත රචනා ශෛලිය සහ ඒවා ඉදිරිපත් කරන ආකාරයයි. “කාටදෝ කියන්නේ”, “බොරුකාරී” සහ “මස්සිනා” ඔහුගේ මුල්ම ගීත අතර වන අතර, මේ වන විට මුල් ගීත 30ත් 40ත් අතර ප්‍රමාණයක් නිර්මාණය කර ඇති බව ඔහු පවසයි.
විවාහ මංගල්‍යයන්හිදී සංගීතය සැපයීමට තමා තුළ දැඩි අකමැත්තක් පවතින බව අවධාරණය කරන ගයාන්, විවාහ මංගල්‍යය යනු ලෝකයට පෙන්වීම සඳහා කරන අනවශ්‍ය තරගකාරී ප්‍රදර්ශනයක් ලෙස දකී. ණය වී හෝ උත්සව පැවැත්වීම මෝඩ ක්‍රියාවක් බව පවසන ඔහු, එම මුදල් ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කිරීම වඩාත් ඵලදායී බව විශ්වාස කරයි. තමාගේ පෙම්වතිය ද සිය අදහස් හා එකඟ වන බවත්, බොරු ආටෝපවලට වඩා පොළොවේ පය ගසා ජීවත් වීමේ වැදගත්කම ඇය තේරුම් ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.
මෙහෙමයි ඉතින්… විවාහය කියන්නේ මෙහෙමයි. ඒක ට්‍රම්ප් කාඩ් එකක්ද කියලා මම දන්නේ නැහැ ඇත්තටම. විවාහය කොහොමද ජීවිතයට බලපායිද කියන එක තීරණය වෙන්නේ, ඔයා විවාහය ඇතුළේ කොහොමද දේවල් එක්ක ඩීල් (deal) කරන්නේ කියන එක උඩ.
ඉතින් දැන් මට අවුරුදු 40ක්. මම දන්නේ නැහැ අනිත් කට්ටියට එහෙම හිතෙනවද කියලා, මට ඇත්තටම දැන් මේ වයසත් එක්ක, මම ඉන්නේ මගේ ජීවිතයේ අන්තිම ෆේස් (phase) එකේ වගේ.
ඉතින් එයාගේ ජීවිතේ වෙනස්. එයාගේ පැත්තෙන් හිතුවොත්, එයාගේ වයස යනවා. ගෑනු ළමයෙක් හැටියට එයා බලනවා, “නෑ, මේකේ පිළිවෙළක් තියෙන්න ඕනේ. අපි බඳිනවද? මොකක්ද?” ඇත්තනේ ඉතින්. එතකොට මම ආත්මාර්ථකාමී වෙන්න බැහැ. මම ඒ ඩිසිෂන් (decision) එක ගන්නේ හැමෝම ගැන හිතලා. පෞද්ගලිකව මට නම් බඳිනවයි කියලා විශේෂ දෙයක් නැහැ. අපි සන්තෝසෙන් ඉන්නවා නම් ඒ ඇති. නමුත් එහෙම නෙවෙයිනේ, මේකට පිළිවෙළක් කියලා එකක් තියෙනවනේ. හරිද?
ඔව්, ඒක තමයි. මම එහෙමයි ඉන්නේ. මම හිතන්නේ, මට තව… මට ලොකු වාසනාවක් තියෙනවා නම්, මට ඕන නම් තව අවුරුදු 15ක් 20ක් ජීවත් වෙන්න පුළුවන් වෙයි. නැත්නම් මට අද හෙටම මොකක් හරි…
මම සෑහෙන්න ස්මෝක් කරන ඩයල් එකක්. හරිද? මම සිගරට් සෑහෙන්න බොන ඩයල් එකක්. මම කාටත් මේකට ඇබ්බැහි වෙන්න එපා කියලා කියනවා. නමුත් ඉතින් ඒකට මම හරි ආසයි. මට ඒක කඩාගන්න විදිහකුත් නැහැ. නමුත් ඉතින් දැන් මම කල්පනා කරන්නේ, මම සිගරට් බොන්න පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලේ, මම හිතන්නේ ග්‍රේඩ් (grade) 9, 10, 11 කාලේ. හරිද? ඉතින් ඔහොම පොඩ්ඩ පොඩ්ඩ පටන් අරන්, දැන් ඉතින් ඒක නැතුවම බැරි ගානට ඇවිල්ලා. මම බැලුවා, මට ඉතින් අද හෙටම එක්කෝ පපුවේ අමාරුවක් හැදෙනවා, නැත්නම් පිළිකාවක් හැදෙනවා, එක්කෝ මම මැරිලා යයි. එතකොට මම බැඳලත් නැහැ. මාව බලාගන්න කවුරුත් නැහැ. හරිද?
ඉතින් එතකොට මම හිතුවා, “නැහැ, මම ආදරය කරන ගෑනු ළමයෙක් ඉන්නවා. මම දැන් මගේ ජීවිතයේ තව වැඩියෙන් රිස්ක් (risk) ගන්න ඕනේ. රෑම්ප් අප් (ramp up) කරන්න ඕනේ රිස්ක් ගන්න එක.” ඉතින් ඒක හින්දා තමයි ෂෝ එකත් කරන්නේ. මම දන්නේ නැහැ මේක ෂෝ එකක් කරන්න අයිඩියල් (ideal) වෙලාවක්ද නැද්ද කියලා. මම කරනවා. සාර්ථක වෙයි, අසාර්ථක වෙයි, මම දන්නේ නැහැ. මම මගේ පැත්තෙන් කරන්න ඕනේ උපරිමය කරනවා. ඉතින් එච්චරයි.
මම හිතන්නේ මැරේජ් ලයිෆ් එකේ ලොකුම රෙස්පොන්සිබිලිටි එක එන්නේ ළමයි එක්ක. මම ළමයි හදන කේස් එකේ නැහැ. ඒක ලොකු වගකීමක්. ළමයින් හදන්න කලින්, ඉස්සෙල්ලා මම මගේ ස්ටැබිලිටි (stability) එක හදාගන්න ඕනේ. තාම මම ඉන්නේ එහෙම ලොකු ස්ටේබල් (stable) තැනක නෙවෙයි. ඒ කියන්නේ, මට සොලිඩ් (solid) යමක් තියෙන්න ඕනේ.
වෙඩින් එකක් වුණත් මට තේරෙන්නේ, මිනිස්සු එක්කෝ මනමාලිගේ පැත්තට පේන්න වැඩ පෙන්නනවා, නැත්නම් මනමාලයාගේ පැත්තට පේන්න වැඩ පෙන්නනවා. සමහර මිනිස්සුන්ට ඒක කරගන්න සල්ලිත් නැහැ, නමුත් ණය වෙලා හරි, ලෝන් (loan) දාලා හරි කරනවා. හරි මෝඩ දෙයක් ඒක.
ඕනෑම ගෑනු ළමයෙක්ට පොඩි කාලේ ඉඳන් හීනයක් තියෙනවා ලස්සන බ්‍රයිඩ් (bride) කෙනෙක් වෙන එක.
ඒක හරි සුන්දර දෙයක්. මම කිව්වා, “මෙහෙමයි, දැන් මේ වෙලාවේ මට මේ මට්ටමෙන් මේක කරන්න විදිහක් නැහැ. හරිද? ඒ මට්ටමෙන් කරන්න මට තව කාලය අවශ්‍යයි.”
මම කිව්වා, “නෑ, මේවා කරන්න ගියොත් දැන් කේස් (case).” දැන් දකිනවනේ, මේ සෝෂල් මීඩියා (social media) එකේ… මුන් ඉන්නවා, ප්‍රපෝස් කරනවා, “විල් යූ මැරි මී” අනම් මනම්, ඊට පස්සේ වෙඩින් එක දානවා. ඕක දැන් කොම්පිටිෂන් එකක් වෙලා තියෙන්නේ. හරිද? මේ කෙල්ලන්ට, කොල්ලන්ට මේක කොම්පිටිෂන් එකක් වෙලා. නිකන් මේක බොරු මවාපෑමක් කරන්නේ.
මම හිතන්නේ, මැරේජ් (marriage) එකක් ඇත්තටම සෙලිබ්‍රේට් කරන්න ඕනේ බඳින දවසේ නෙවෙයි. බැඳලා අවුරුදු 20-25ක් ගිහිල්ලා, ළමයි හදලා, ඒ ළමයින්ට උගන්නලා, ඒ ළමයින්ව සමාජයට හොඳ යහපත් මිනිස්සු කරලා දෙන දවසේ. එතකොට ඕගොල්ලෝ සක්සස් (success). බඳින දවසේ එච්චර සෙලිබ්‍රේෂන් එකක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. ගෙදර ඉන්න ළඟම කට්ටියත් එක්ක, “ඕකේ, අපි ජීවිතයේ නව තැනකට අවතීර්ණ වෙනවා” කියලා, ඒගොල්ලන්ගේ ආශිර්වාදය ගත්තම ඇති.
මගේ පෞද්ගලික විශ්වාසය, මගේ ළඟම ඉන්න හිතවත් කට්ටියත් එක්ක, මගේ අම්මලා, පවුලේ කට්ටිය, එයාගේ පවුලේ කට්ටියත් එක්ක පොඩියට මේක කරන එක. දැන් කාලේ ඉන්න ගෑනු ළමයි, මෙහෙම හිතන කොල්ලෙක්ව දැක්කොත් හිතනවා, “මූ පිස්සෙක්, මට අවශ්‍ය දේවල් මූට නැහැ” කියලා. එහෙම තමයි කට්ටිය ඉන්නේ. මගේ පවුල ඇතුළෙම ඉන්නවා, ඒගොල්ලන්ට මැරේජ් එක කියන්නේ ලොටරියක් වදිනවා වගේ. “ආ, මගේ හස්බන්ඩ්ට (husband) සල්ලි තියෙනවනේ. මම යනවා vacation.” අර ඉන්ස්ටග්‍රෑම් (Instagram) එකේ ඉන්නේ. අපි දන්නේ නැහැ මුන්ට කොහෙන්ද සල්ලි කියලා, නමුත් යනවා, අරහේ යනවා, මෙහේ යනවා. ඉතින් ඒවා බල බල මේගොල්ලෝ හීන මවනවා.
ඉතින් හැම තිස්සෙම ගෑනු ළමයි පෙළඹෙන්නේ ඒ වගේ ජීවිතයක් ගන්න. නමුත් ඒගොල්ලෝ ඇත්තටම මහන්සි වෙන කොල්ලෙක්ගේ පොටෙන්ෂල් (potential) එක දකින්නේ නැහැ. මම හිතන්නේ, මගේ ෆියොන්සේ ඇත්තටම ඒ අතින්, එයා මගේ පොටෙන්ෂල් එක දකිනවා.
ගැහැනියක්, ඔයාගේ සහකාරිය කියන්නේ ඔයාගේ ජීවිතේ හොඳම පැත්තට යන්නත් පුළුවන්, නරකම පැත්තට යන්නත් පුළුවන්. මම හිතන්නේ, මගේ සහකාරිය, දෙවියන්ගේ පිහිටෙන්, ඇත්තටම ඒක තේරුම් ගත්තා. එයාත් ඔය බොරු ආටෝප-සාටෝප, ලෝකෙට පෙන්නන්න කරන දේවලට කැමති නැහැ. ලෝකෙට ණය වෙලා වාහන පදින ඒවා, වෙඩින් ගන්න ඒවා, අනම් මනම්, ඒවා බොරු වැඩ. ඊට වැඩිය පොළොවේ පය ගහලා ජීවත් වෙන එක හොඳයි.
තමාට ජීවිතයේ ලැබුණු ඉහළම ඇගයීම තම පියාගෙන් ලැබුණු පිළිගැනීම බවද ගයාන් පවසයි. පියාගේ කීර්තිය හෝ පසුබිම සිය කලා දිවිය පහසු කර ගැනීම සඳහා නොව, තමාගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට පමණක් උපකාර කරගත් බව ඔහු අවධාරණය කරයි. එම ඇගයීම ‘ග්‍රැමී’ සම්මානයකට වඩා වටිනා බව ඔහුගේ අදහසයි. කෙසේ වෙතත්, සිය පියාගේ අධික යහපත්කම නිසා ඇතැම් පුද්ගලයන් එයින් අයුතු ප්‍රයෝජන ගත් බවත්, තමාට ඇමරිකානු ජීවිතයේදී ලද අත්දැකීම් නිසා මිනිසුන්ව වඩාත් යථාර්ථවාදීව හඳුනා ගැනීමට හැකි වූ බවත් ගයාන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.