2026 අප්‍රේල් 21 වන දින සන්ධ්‍යා භාගය අනුරාධපුර පින්බිමට පැමිණ සිටි සැදැහැවතුන්ට නම් කිසිදා අමතක නොවන දිනයක් වුණා.
ඒ, ස්වභාවධර්මයේ අසිරිමත් නිර්මාණයක් ලෙසින් මහා සෑ රදුන් ඉහළ අහසේ සටහන් වූ අතිශය දුර්ලභ, මනස්කාන්ත ෂඩ් වර්ණ අනුදීප්තිමය දසුන නිසාවෙනි. කිසිදු තාක්ෂණික සැකසුමකින් තොරව, නිල්වන් අහස මැද වලාකුළු අතරින් මතු වූ මේ සප්ත වර්ණාලෝකය දුටු සැවොම මොහොතකට නිරුත්තර වූයේ එය සැබවින්ම දෙවියන්ගේ ආශිර්වාදයක් ලෙසින් සලකමිනි.
මෙම අසිරිමත් දසුන දුටු බොහෝ දෙනෙකුට එකවරම සිහිපත් වූයේ සක්දෙව් රජු සහ මාතලී දිව්‍ය පුත්‍රයා අතර ඇති වූ ඒ සුන්දර සංවාදයයි.
දිනක් සක් දෙවිඳුන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිශාවට හැරී නමස්කාර කරන අයුරු දුටු මාතලී දිව්‍ය පුත්‍රයා විමතියට පත් විය. “දෙවි මිනිස් සැමගේ ගෞරවය ලබන ඔබ වහන්සේටත් වඩා උසස් කෙනෙකු මේ ලොව සිටීද?” යන්න ඔහුගේ පැනය විය. ඊට පිළිතුරු දුන් සක් දෙවිඳුන් පැවසුවේ…
“මාතලී, මම මේ නමස්කාර කරන්නේ සංසාරයෙන් එතෙර වූ, දීර්ඝ කාලයක් ශීලයෙන් හා සමාධියෙන් පිරිපුන්ව, තමන් අවබෝධ කරගත් ඒ උතුම් ධර්මය ලෝකයාට දේශනා කරන මගේත් ශාස්තෘන් වහන්සේ වූ ඒ තිලෝගුරු බුදුරජාණන් වහන්සේටයි.”
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දෙවිවරුන් අහසේ සිට මල් වැසි වස්වමින් උන්වහන්සේට උපහාර දැක්වූහ. එහෙත් බුදුපියාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේට කරන සැබෑම ගෞරවය මල් පූජා කිරීම පමණක් නොවන බවයි. උන්වහන්සේ දේශනා කළ පරිදි, උතුම්ම වන්දනාව වන්නේ බුදු දහම අනුව ජීවත් වීම හෙවත් “ප්‍රතිපත්ති පූජාව” පමණි.








