මේ උතුම් සත් ක්‍රියාවක් ගැන ඇහෙන කතාවක්.
නිවසේ වහළය මත රැඳී සිට හෙළිකොප්ටරය මගින් ගන්නා විට වටිනා ද්‍රව්‍ය සහිත බෑගය ගංවතුරට වැටී දින 5 කට පසු අසල්වැසියෙකුට හමුවී ගෙනැත් දීමේ උතුම් ක්‍රියාවක් සේරුවිල මාවිල්ආරු ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙම සිදුවීමට මුහුණ දුන්නේ මාවිල්ආරුවේ සෝමපුර අංක 75 නිවසේ සිටි සුජිත් මහතා යි.
ගංවතුර වැඩිවීමත් සමග ඔහු දරුවන් සහ බිරිඳ සමගින් මුදල් රන් ආභරණ උප්පැන්න සහතික ආදී වටිනා ලිපි ලේඛන සහ ඇඳුම් කිහිපයක් ද සමගින් සකස් කරගත් බෑගයක් සහිතව නිවසේ වහළය මතට අසීරුවෙන් ගොඩ වී ඇත.
පසුදින දහවල් හෙළිකොප්ටරයක් මගින් ඔවුන් මුදවා ගන්නා අවස්ථාවේදී අතෙහි වූ බෑගය ජල පහරට වැටී නොපෙනී ගොස් ඇත.
සිද්ධියට මුහුණ දුන් සුජිත් මහතා පැවසුවේ, ”හෙළිකොප්ටරයේ ආධාරකයක් මගින් අපිව උඩට ගන්නා විට බෑගය වතුරට වැටුණා. කරන්න දෙයක් තිබුණේ නෑ. හෙළිකොප්ටරයෙන් අපි සේරුවිල පන්සලේ අනාථ කඳවුරට ආවා. දවස් 5කට පස්සේ මේ නැතිවුණු බෑගය මගේ හිතවතකු වන චමින්ද කුමාරගේ ගෙවත්තේ කම්බි වැටේ පැටලී තිබී හමුවී තිබුණා. එය මට ඔහු ගෙනැත් දුන්නා. එහි වූ ලක්ෂ එකහමාරක් වටිනා රත්‍රං බඩු, සල්ලිවලින් රු. තිස් හත්දාහක මුදලක් ද තිබුණා. ඒ වගේම වැදගත් ලියකියවිලි ඔක්කොම හොඳින් තිබුණා” යැයි පවසනවා.
