Home ජීවිතයට යමක් වීඩියෝ කථාබහකදී අනෙක් පස පුද්ගලයා Screen Record කරනවාදැයි කෙනෙකුට දැනගත හැකිද?

වීඩියෝ කථාබහකදී අනෙක් පස පුද්ගලයා Screen Record කරනවාදැයි කෙනෙකුට දැනගත හැකිද?

0
1588

පාසල් ගුරුවරියන්ගේ නිරුවත් වීඩියෝ සංවාද පටිගතවීමේ සිද්ධිය සමග ඇතැමෙකුට අනියත බියක් මතුකර තිබෙන Screen Record කිරීමේ හැකියාව පිළිබඳ තාක්ෂණික වශයෙන් සොයා බැලීමක් මේ සමග පළවේ.

සජීවී වීඩියෝ දර්ශනයක් අතරතුර දුරකථනයේ තිරය පටිගත කරන්නේද යන්න හඳුනාගැනීමේ හැකියාව පවතින නමුත් එය අදාළ මෘදුකාංගය, මෙහෙයුම් පද්ධතිය සහ පවතින ආරක්ෂක ක්‍රමවේද මත තීරණය වේ.

ස්නැප්චැට් (Snapchat) වැනි යෙදුම් නිර්මාණය කර ඇත්තේ අන්තර්ගතයන් ආරක්ෂා කිරීමට වන අතර යමෙකු ස්නැප් එකක් හෝ කතාබහක් පටිගත කළහොත් ඒ පිළිබඳව අදාළ පුද්ගලයාට ක්ෂණිකව දැනුම් දෙනු ලබයි.

එමෙන්ම සූම් (Zoom) වැනි යෙදුම්වල ඇති පටිගත කිරීමේ පහසුකම භාවිතා කළහොත් එම සංවාදයේ සිටින සියලුම දෙනාට ඒ පිළිබඳ දැනුම්දීමක් සිදු කෙරෙන නමුත් තෙවන පාර්ශවීය පටිගත කිරීමේ මෘදුකාංග හඳුනාගැනීම සැමවිටම සිදු කළ නොහැක. විශේෂයෙන්ම බැංකු කටයුතු සහ මූල්‍යමය තොරතුරු සහිත ඉහළ ආරක්ෂිත යෙදුම් ඇන්ඩ්‍රොයිඩ් හෝ අයි ඕ එස් පද්ධතිවල ඇති තාක්ෂණික පහසුකම් භාවිතා කරමින් තිරය පටිගත කිරීම සම්පූර්ණයෙන් අවහිර කරන අතර එවැනි අවස්ථාවක පටිගත කරන වීඩියෝව කළු පැහැති තිරයක් ලෙස පමණක් දිස්වේ.

කෙසේ වෙතත් වට්ස්ඇප් (WhatsApp), ඉන්ස්ටග්‍රෑම් (Instagram), ෆේස්බුක් (Facebook) හෝ ටික්ටොක් (TikTok) වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකරන සජීවී විකාශනයන්හිදී තිරය පටිගත කරන්නන් හඳුනාගැනීම අතිශය දුෂ්කර හෝ කළ නොහැකි කාර්යයකි. දැනට පවතින තත්ත්වය අනුව මෙවැනි වේදිකාවල සජීවී දර්ශන පටිගත කරන්නන් පිළිබඳව විකාශය සිදුකරන පුද්ගලයාට කිසිදු දැනුම්දීමක් සිදු නොවන අතර ටික්ටොක් වැනි යෙදුම්වලද එවැනි හඳුනාගැනීමේ ක්‍රමවේදයක් මෙතෙක් හඳුන්වා දී නොමැත.

තාක්ෂණික අංශයෙන් සලකා බලන විට ඇන්ඩ්‍රොයිඩ් 15 සහ 16 වැනි නවතම මෙහෙයුම් පද්ධති හරහා මෘදුකාංග නිෂ්පාදකයින්ට තිරය පටිගත කිරීමේ ක්‍රියාවලිය සක්‍රීයද යන්න හඳුනා ගැනීමට නව ක්‍රමවේද (APIs) හඳුන්වා දී තිබේ. නෙට්ෆ්ලික්ස් (Netflix) වැනි ප්‍රවාහ සේවා ඩිජිටල් හිමිකම් කළමනාකරණ (DRM) තාක්ෂණය භාවිතා කරමින් තිරය පටිගත කිරීම් වැළැක්වීමට කටයුතු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පටිගත කරන වීඩියෝව දර්ශන රහිතව කළු පැහැයෙන් දිස්වේ. මීට අමතරව යමෙකු තිරය පටිගත කරන්නේ නම් දුරකථනයේ ඉහළ කොටසේ කුඩා රතු පැහැති තිතක් හෝ විශේෂ ලකුණක් දිස්විය හැකි නමුත් එය බොහෝ විට පෙනෙන්නේ පටිගත කිරීම සිදු කරන පුද්ගලයාට පමණි.

යමෙකු සජීවී සංවාදයකදී අසාමාන්‍ය ලෙස නිහඬව සිටීම හෝ සක්‍රීයව දායක නොවී සිටීමද ඇතැම් විට ඔහු පටිගත කිරීමක් සිදු කරන බවට ලැබෙන වක්‍ර ඉඟියක් විය හැකිය. අවසාන වශයෙන් ඕනෑම සජීවී දර්ශනයකදී තමන් පටිගත කිරීමකට ලක්වන බවට පූර්ව උපකල්පනයක සිට කටයුතු කිරීම වඩාත් ආරක්ෂිත වන අතර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අකමැති තොරතුරු හුවමාරු කර නොගැනීමට වගබලා ගත යුතුය.

Previous articleනාලන්දා ශිෂ්‍ය නායක සිසුවාගෙන් CID ට පැමිණිලි….
Next articleමවකගේ ආශිර්වාදය මොන තරම් නම් වටිනවාද..? දිනිත වෙනුවෙන් ඇය එක්කළ සුබපැතුම මොකක්ද දන්නවාද..?
error: Content is protected !!
Verified by MonsterInsights