ශ්‍රී පාදයේ දම්වැල් සහ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ පුරාවෘත්තය
පසුගිය දිනවල පැවති අයහපත් කාළගුණ තත්ත්වයත් සමඟ ශ්‍රී පාද මළුව ආශ්‍රිතව සිදුවූ පස් කඳු කඩාවැටීම් නිසා අතීතයේ බැතිමතුන් ගමන් ගත් පැරණි මාවතක සලකුණු නැවතත් මතුව තිබෙනවා. මේ සිදුවීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ එහි දක්නට ලැබුණු පැරණි දම්වැල් වෙතයි. ශ්‍රී පාද වන්දනාවේ ඉතිහාසය දෙස බලන විට මෙම දම්වැල් කවුරුන් විසින් නිර්මාණය කළාද යන්න පිළිබඳව නිශ්චිත වාර්තා අපගේ දේශීය වංශකතාවල සොයාගන්නට ලැබෙන්නේ නැහැ. මහාවංශය හෝ වෙනත් පැරණි දේශීය මූලාශ්‍රවල මේ ගැන සඳහනක් නැතත්, විදෙස් සාහිත්‍ය තුළ මේ ගැන අපූරු තොරතුරක් සැඟවී තිබෙනවා.
මෙම දම්වැල් සම්බන්ධව පවතින ජනප්‍රවාද අතරින් වඩාත්ම ප්‍රසිද්ධ විස්තරය හමුවන්නේ පර්සියානු සාහිත්‍යයෙනි. 15 වන සියවසේ විසූ අශ්රෆ් නම් පර්සියානු කවියා විසින් රචිත ‘සෆර් නාම ස්කෙන්ඩරි’ (Zaffer Namah Skendari) නම් වීර කාව්‍යයේ ශ්‍රී පාද කන්ද සහ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ගැන සඳහන් වෙනවා. මෙම කෘතියේ විස්තර කෙරෙන ආකාරයට ලෝකය ජයගැනීමේ ආශාවෙන් හිටපු ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට තැප්‍රොබේන් නමින් හැඳින්වූ ශ්‍රී ලංකාව ගැනත්, එහි ඇති අත්භූත කන්දක් ගැනත් අසන්නට ලැබෙනවා. මේ කන්ද තරණය කිරීමට ඔහුට ඇතිවූ දැඩි ආශාව නිසා ඔහු සිය පිරිස සමඟ මෙහි පැමිණ තිබෙනවා.
මෙම පර්සියානු කාව්‍යයට අනුව ශ්‍රී පාද කන්ද දෙවිවරුන් විසින් ආරක්ෂා කරන ලද අතිශය දුෂ්කර ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. කන්ද තරණය කිරීමේදී ඇලෙක්සැන්ඩර්ට සහාය වී ඇත්තේ ‘බොලිනස්’ නම් දාර්ශනිකයා හෙවත් ඉන්ද්‍රජාලිකයායි. කන්දේ බෑවුම් සහිත සහ අනතුරුදායක ස්ථාන පසුකිරීම සඳහා ඔවුන් විසින් යකඩ සහ පිත්තල යොදාගනිමින් ශක්තිමත් දම්වැල් සවි කළ බව එම කතාවේ සඳහන් වෙනවා. අදටත් ශ්‍රී පාදයේ දකින්නට ලැබෙන පැරණි දම්වැල් ඇලෙක්සැන්ඩර්ගේ නමින් ඇතැම් ඉතිහාස ගවේෂකයන් හඳුන්වන්නට පෙළඹී ඇත්තේ මෙම පර්සියානු මූලාශ්‍රය පදනම් කරගෙනයි.
ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ලෝකය ජයගනිමින් ඉන්දියාව දක්වා පැමිණි ගමනේදී ලංකාව වැනි ප්‍රසිද්ධ දූපතකට නොපැමිණියා යැයි සිතීම අපහසුයි. විශේෂයෙන්ම ඉබ්නු බතුතා වැනි ලෝක ප්‍රකට දේශ ගවේෂකයන් පවා ඔවුන්ගේ දේශාටන වාර්තාවල මේ දම්වැල් හැඳින්වූයේ ඇලෙක්සැන්ඩර්ගේ නමින් වීම මේ විශ්වාසය තවත් තහවුරු කරන්නක්. ඒ අනුව බලන විට පර්සියානු වීර කාව්‍යයේ සඳහන් වන පරිදි, ඒ මහා අධිරාජ්‍යයා සැබවින්ම මේ පුණ්‍ය භූමියට පය තබන්නට ඇති බවට ඉතිහාසයේ අප නොදන්නා පැතිකඩක් තිබිය හැකියි. එසේ නම් අද අප දකින මේ දම්වැල් එදා ඒ මහා අධිරාජ්‍යයාගේ මැදිහත්වීමෙන් නිර්මාණය වූ ඒවා වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
