විවාහ උත්සවයකදී අතිශ්‍යය වැදගත්වන මංගල පෝරුව ගැන මෙන්න මේ විශේෂ කාරණා ඔබ දැන සිටියාද..?

විවාහ උත්සවයකදී අතිශ්‍යය වැදගත්වන මංගල පෝරුව ගැන මෙන්න මේ විශේෂ කාරණා ඔබ දැන සිටියාද..?

හැම කෙනෙක්ගේම විවාහය කියන්නේ ජීවිතයේ තවත් එක් වැදගත් දවසක්..

ඉතින් ඒ වැදගත් දවසේදී මංගල පෝරුවට හිමිවෙන්නේ විශේෂ තැනක්..

මංගල උත්සවයට නැතුවම බැරි අංගයක් වන පෝරුව ගැන මේ ඇසෙන කතාව මොකක්ද..?

මනුෂ්‍යයාගේ ජීවිතයේදී යෙදෙන මංගල අවස්ථාවන් අතර, උපත, විවාහය, නව නිවසකට ගෙවදීම ප්‍රධාන වෙනවා..

මෙම අවස්ථා ත්‍රිත්වයේදීම වාස්තු විද්‍යාව ජීවිතයේ මනාපැවැත්ම උදෙසා උපකාරි වෙනවා… මේ අතරින් වැඩිදෙනකු අවධානය යොමු නොකරන වාස්තු විද්‍යාත්මක කරුණු හා ඒවා දෝෂයට ලක්වීම තුළින් සිදුවන්නා වූ අසමතුලිතතාවයන් අතරින් වැදගත්ම දෙයක් නම් විවාහයයි..

දැන් සමහරුන් සිතයි මොකද්ද විවාහයට වාස්තුවල පවතින සම්බන්ධතාවය කියලා.. මොකද විවාහයක් සිදුවීමට පෙරම සිදුකරන ප්‍රධාන කාර්යයන් අතර පොරොන්දම් ගැළපීමට ජ්‍යොතිෂ්‍ය තුළ ප්‍රධානස්ථානයක් හිමිවනවා..

දස පොරොන්දම්, විසි පොරොන්දම්, අෂ්ටකූටය, සුදර්ශන චක්‍රය මේ සියලු දෙයින්ම මනාල හා මනාලිය යන දෙපළගේ ජ්‍යොතිෂ්‍ය මත ග්‍රහ ගැළපීම එකිනෙකට ගළපාගෙන ඒවායේ පවතින ශුභතාවය අනුව විවාහය තීන්දු කරගන්නවා..

විවාහයේදී බුලත් දී ආරාධනා කිරීම, තෙල් තාච්චිය ළිප තැබීම ආදී පුරාණයේ සිට පැවත එන නැකත් චාරිත්‍ර 21ක් පමණ තිබෙනවා.. මෙහිදී සුවිශේෂී නැකත් වන්නේ මනාල යුවළ පෝරුවට නැඟීම, විවාහයට අත්සන් තැබීම, නිවසින් පිටත්වීම යන නැකත්ය..

මෙම නැකත් චාරිත්‍ර නිසි ආකාරයට නිවැරැදිව සිදුකළ ද ඒවා සිදුවන ස්ථානයේ පවතින ශුභ අශුභ දෝෂ තත්ත්වයන් විවාහ යුවළට බලපාන ආකාරය පිළිබඳව මඳක් බලමු..

මංගල පෝරුව

මෙයට බොහොම කාලයකට පෙරාතුව මඟුල් උත්සවය සිදුකරන ලද්දේ නිවෙස්වලයි. එහිදී මනාලියගේ නිවසේ මඟුල් මඬුවට අමතරව කෙරෙන සුවිශේෂී කාර්යයන් අතර මඟුල් පෝරුව ප්‍රමුඛස්ථානයක් ගනී. මඟුල් පෝරුව සඳහා දැව යොදාගෙන ගොක්කොළ ලියකම් දමා අලංකාර ලෙස ඉදිකිරීම කරනු ලබයි. නමුත් අද වනවිට එය වෙළෙඳ භාණ්ඩයක් ලෙස මල් අලෙවි කරන ස්ථාන හා හොටෙල් තුළ පවතී. දැව යොදාගෙන මේවා ඉදිකර තිබුණ ද මෙම මඟුල් පෝරුව එදා භාවිතා කළ නොඉඳුල් මඟුල් පෝරුවක් නොව විශාල යුවළවල් පිරිසක් පරිහරණය කළ එදා ගොක්කොළ වෙනුවට වර්තමානයේ ඍජුෆෝම් භාවිතා කරමින් තනන ලද්දකි. ඒවාට ගොක්කොළ සැරසිලි නොමැතිකමින් දේවාකර්ෂණය ද අහිමි වනු ඇත. එවැනි මංගල පෝරුවකට කුමන ශුභ නැකත් යොදාගෙන මස්තකාරූඪ වුවද එය සාර්ථක මංගල පීඨිකාවක් නොවනු ඇත.

මීළඟට ගත්තාම එකල මෙම නොඉඳුල් මංගල පෝරුව නිර්මාණය කළේ ගොක්කොළ යොදාගෙන මනාලයාගේ හා මනාලියගේ උපන් නැකැත්වලට බලවත් වන ආකාරයට හා එම නිවසේ මුහුණත දිශාව ප්‍රධාන දොර තිබෙන දිශාවට ගැළපෙන පංච ධාතු ශක්තීන්ට අනුකූල වන ලෙසයි. එහිදී උතුරු දිශාවට හංස පූට්ටු, පුන්කලස, නෙළුම් මල් යොදාගත් අතර දකුණු දිශාවන්ට හස්ති රූප, මොනර රූප, අන්නාසි මල් යන දේ යොදාගත් අතර නැඟෙනහිර හා බටහිර දිශාවන්ට ද ඒ දිශාවන්ට අනුකූලව ගැළපෙන සැරසිලි යොදාගත් අතර එවැනි ආකාරයට සකසන ලද මංගල පෝරුවට විශ්වශක්තිය මනාලෙස ආකර්ෂණය වනු ඇත. නමුත් අද ඒවා අභාවයට ගොස් පැවතීම මංගල යුවළගේ ජීවිතයේ අනාගතයට සිදුවන දෝෂයක් වේ. මීළඟට බොහෝ හොටෙල් උත්සවශාලා ආශ්‍රිතව සිදුකරන මඟුල් උත්සවවලදී මාද ඒවාට සහභාගි වී ඇත්දැකීම් තුළින් දුටු දෝෂ කීපයක් සඳහන් කළ හැක. එක්තරා උත්සව ශාලාවක පැවති මඟුල් පෝරුව තබා තිබුණේ වහලයේ යටලීයක් යටින්ය. එය ඉතා වැරදිය. ගුරුත්වාකර්ෂණයෙන් යටලීයෙන් ලැබෙන ආතති බලය හා අශුභ තරංග සංකේතයන් නිසා ශුභ නැකතින් පෝරුව මත නැඟ චාරිත්‍ර සිදුකළ ද ලැබෙන යහපතට වඩා අයහපත බලවත් වනු ඇත.

සමහර උත්සවශාලාවල පවතින විකෘති හැඩ තලයන් හා ඒවා හරහා දිවෙන විකිරණ හා මධ්‍ය රේඛාවන්ට මංගල පෝරුව කැපී යන ආකාරයට තරංග ගමන් කිරීම පෝරුව මත නැඟීසිටින යුවළට අශුභ ගෙනදේ.

සමහර වහලවල කානු පරාල, ජලය ගමන් කරන පීලි වගේම යට මහලේ මංගල පෝරුව පවතින ස්ථානයට ඉහළින් හෝ පහළින් වැසිකිළි, වැසිකිළි නළ, මුළුතැන්ගෙවල් පැවතීම ද ඉතාම අශුභ දේ. මේ ආකාරයට නොදන්නා ස්ථානයක තබා තිබෙන මංගල පෝරුව කුමන දෝෂවලට හසුවී ද යන්න කිව නොහැක. එලෙස මංගල පෝරුව දෝෂයට ලක්වීම නිසා මංගල යුවළට මානසික පීඩනය, අඹු-සැමි අසමගිකම්, පින්වත් දරුඵල අහිමිවීම් ඇතිවිය හැක.

උත්සවශාලාව

මීළඟට මෙම මංගල උත්සවය පවත්වන හෝටලය හෝ උත්සවශාලාව එහි පවතින වාස්තුමය දෝෂයන් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. මා දැක තිබෙන බොහෝ උත්සවශාලාවල ටොයිලට් හා ටොයිලට් වළවල් පවතින්නේ උතුර හා ඊශාන දිශාවලයි. බොහෝ දෙනකු සිතයි අනේ ඔය පැය කීපයක උත්සවයකට ඕවා කොහේ තිබුණත් මොකද කියලා. නමුත් මතක තබාගන්න මේ පැය කීපයක කාලය තුළ තමයි මනුෂ්‍යයකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය, නැවත උපතක් සිදුවන අවස්ථාව පැමිණෙන්නේ. එවැනි සුවිශේෂි ශුභ හෝරාවක් තුළ සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර, අෂ්ටක ගායනාවලට දෙවියන් ද දේව ආකර්ෂණය ද බලවත් විශ්ව ශක්තිය ද ග්‍රහණය වීම අවශ්‍යයි. නමුත් අමනුෂ්‍ය බලවේගයන්ට හැර දිව්‍ය තලවල වෙසෙන කිසිම අයකුට ආකර්ෂණයක් මෙවැනි දෝෂවලට ලක්වුණ ස්ථානවලට ළඟාවීමට නොහැක. විවාහ උත්සවයක් පවත්වන සමහර උත්සවශාලාවල අලංකාරය පිණිසත් ආකර්ෂණය ලබාගැනීම පිණිසත් විවිධ හැඩතලවලින් සිග්සැග් බිත්තිවලින් මෙම ශාලා නිර්මාණය කරලා තිබෙනවා. එවැනි ස්ථානවල පංච මහ ධාතුන්ගේ ශක්තීන් නිසි ආකාරයට කළමනාකරණය නොවීම විශ්ව ශක්තිය දුර්වලවීමක්. එක්තරා උත්සවශාලාවක මා දුටුවා වහලයේ ඉතා අශුභ යෙදුමක් වන සොහොන් පරාලය තවත් වහලයක කැණිමඬල පිහිටන ආකාරයට තමයි වහලය පැවතුණේ. මෙවැනි ලක්ෂණ පැවතීම ඉතාම අශුභයි. උත්සවශාලාවේ නොහොත් වෙඩින් හෝල් එක තුළ අතිනත ගන්නා යුවළ පදිංචි නොවුණ ද තමන්ගේ ජීවිතයේ සුවිශේෂී කාර්යන් ඉෂ්ට සිද්ධි කරන්නේ මෙම ස්ථානයේ සිටයි. කරන වැඩකටයුතු කොතරම් බලවත් නැකත්වල සිදුකළ ද ඒවායේ බලය ලැබීමට පරිසරයේ ශුභ ශක්ති තරංග ක්‍රියා කළ යුතුයි. විවාහයට අත්සන් කරන මේසය තබා ඇති දිශාවන්, ස්ථානය බොහෝ තැන්වල වැරදිය. උත්සවශාලාවේ දිශාවන්වල විශාල විපරිත භාවයන් පවතී. දකුණට මුහුණලා පවතින උත්සවශාලාවල විශාල පොකුණු, ජලය ගලන අලංකාර දිය ඇලි නිර්මාණය කර පවතී. දුටුවන්ගේ සිත් සතුටු වන අලංකාර නිර්මාණ වුවද ගින්දරට ගැළපෙන දිශාවන් තුළ ජල තටාක පැවතීම පංචධාතුන්ගේ විපරිතභාවයට හේතුවේ. එවැනි ස්ථානවල නිතරම පවතින්නේ දුර්වල, ඍණ ශක්තීන්ය. මේ ආකාරයට තව බොහෝ දෝෂයන් පවතී. කෙසේ වුවද පිටස්තර ප්‍රදේශයක, ස්ථානයක විවාහ කටයුතු සිදුකිරීමේදී සිදුවිය හැකි අශුභ දේවල් ඔබගේ නිවසේ ගෘහ පරිශ්‍රයේදී සිදුකිරීමට හැකි නම් එහි පවතින ගුණය, වාසනාව යහපත් ලෙස බලපානු ඇත. නිවසක එවැනි උත්සවයක් පැවැත්වීමට හැකියාවක් නොමැති නම් පමණක් උත්සවශාලාවක් මේ සඳහා යොදාගැනීමට පෙර මෙහි අඩංගු දෑ පිළිබඳව තරමක් සිතා එයට ගැළපෙනම ස්ථානයක් තෝරා ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුමය.

Uncategorized