ඉතිහාසයෙන් වසන් කල සාලිය අශෝකමාලා ඔවුනොවුන්ගේම වුණ තැන දන්නවද ?

ඉතිහාසයෙන් වසන් කල සාලිය අශෝකමාලා ඔවුනොවුන්ගේම වුණ තැන දන්නවද ?

ඉතිහාසයෙන් වසන් කල සාලිය අශෝකමාලා ඔවුනොවුන්ගේම වුණ තැන
************************
උන්මාද වූ ප්‍රේමයක මතක දරා සිටින ඒ මහා කඳු පෙළ තෙරක් නොපෙනෙන මානයක් තෙක් විහිදී තිබේ. හරිත වර්ණ ගත් වෙල්යායත් ගහ කොළවලිනුත් සුසැදි තැනිතලා භූමියට උස්ව නැගී හිඳින මේ කඳු පෙළ වනාහි ආසියාවේ දිගම කඳු වැටිය ලෙසද සැලකේ. නැගෙමින් බැසෙමින් නීල අහස් වියනට ළං ළංව සුන්දර දසුනක් මවන එය ගල්ගිරියාගම කඳු පෙළයි. කිලෝ මීටර් 11 පුරා නොකැඩී විහිදී ඇති ඒ මනරම් කඳු ශිඛරය කරා අප මේ ගමන් කරන්නේ ඉතිහාස කතා පොතෙන් හිතාමතාම හෝ ගැලවූ ඉසුරුමත් කාල පරිච්ඡේදයකට අයත් උන්මාද ප්‍රේමයක රසවත් කතාවක් සොයාගෙනය. ඒ ක්‍රි. පූ. 161 ත් 137 අතර ගැමුණු මහ රජුගේ පාලන සමයේ සිදුවූ සාලිය අශෝක මාලාගේ ප්‍රේමණීය ජීවිත කතාවය. එම ඉතිහාස කතාව වැලලී තිබෙන්නේ මේ මනස්කාන්ත ගල්ගිරියාම කන්දේ සාලිය ආරණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙනය.
ජනප්‍රිය ඉතිහාස කතාවට අනුවනම් සාලිය කුමරු වන ගැමුණු රජුගේ පුත් කුමරු රාජකීයත්වයට නොගැළපෙන විවාහයක් කරගැනීම හේතුවෙන් පිය රජුගේ උදහසට ලක්විය. ඒ නිසා සාලියට උරුම වීමට පැවති රජ කිරුළද අත් හැර මාලිගාවෙන් පලා යන්නට සිදුවිය. ඉසුරුමුනියේ පෙම් යුවළගේ ගල් කැටයම නොතිබෙන්නට සාලිය සහ අශෝක මාලාවන්ගේ අප්‍රමාන්විත ප්‍රේමය ගැන අනාගතයට සාක්ෂියක් ඉතිරිවෙන්නට නොතිබිණ. එසේ නම් සාලිය යනු හිතුවක්කාර කමට කුලහීන තරුණියක විවාහ කර ගැනීම නිසා මාලිගාවෙන් නෙරපා දැමූ රජ කුමරෙක් පමණකි. හෙළ ගල් වඩුවාගේ විශ්වකර්ම ඉසුරු මුණි පෙම් කැටයම නිසා යන්තමින් හෝ ගෞරවයක් හිමිව සාලියගේ ප්‍රේමයට වර්තමානයේ සාධාරණයක් ඉටු වුණද අශෝක මාලාව විවාහ කරගත් පසු සාලියට සිදු වූයේ කුමක්ද? වංශකතා කරුවන් හිතාමතාම සැඟවූ ඒ කතාව වර්තමානයේ රක්ෂා වී තිබෙන්නේ සාලිය ආරණ්‍යයේය. ජනප්‍රවාද, ජන කවි ඒ හා බැඳි ආරණ්‍යය පුරා විහිදී තිබෙන ශේෂ නටබුන් අප හමුවේ ඒ කතාව කියමින් තිබෙන්නේය
එකල දිගදුරු කන්ද ලෙස ව්‍යවහාරව ඇත්තේ මේ ගල්ගිරියාම කන්දටය. සාලිය තරුණ වියේ සිටම මහත් සේ මේ පරිසරයට ඇලුම් කළේය. මුලින්ම කුමරු ගල්ගිරියාගම කන්ද දැක තිබෙන්නේ ඔහුගේ මිත්‍ර අරිට්ඨ සමග ගම් දනව් වල විස්තර සොයා රජ වාසලට දනුම් දීමට ගිය ගමනකදීය. තමන් ගල්ගිරියාගම පරිසරයට ප්‍රිය කරන බවත් වාපී කරවා කුඹුරු අස්වැද්දීමට එම ප්‍රදේශය ඉතා සුදුසු බවත් සාලිය රජ වාසලට ගිය සැණින් පිය රජු හමුවේ පවසා ඇත. පසුව ගල්ගිරියාගම ප්‍රදේශයේ වාපී කරවා කුඹුරු අස්වැද්දීමේ වගකීම සාලියටම පැවරු ගැමුණු රජු එහි ප්‍රාදේශීය පාලනයේ වගකීමද සාලියටම බාර කළේය. සාලිය කුමරුට අශෝක මාලා නෙත ගැටී තිබෙන්නෙ මේ කාලයේදීය.
අනුරාධපුර මල්වතු ඔය අසල ජීවත් වූ අශෝක මලා දිළිඳු කුලහීන තරුණියක වුවද ඇයට දෙවඟනන් පරදවන රූප සම්පත්තියක් තිබුණාය. මව කුඩා වයසේදීම මිය ගිය නිසා අශෝක මාලාට කුඩා කල සිටම පියාගේ මල් මාලා වෙළෙඳාමට හුරු වීමට සිදුවිය. ශ්‍රී මහ බෝධිය වන්දනා කිරීමට යන සැදැහැවතුන්ට ඇය මල් මාලා ගෙතුයේ අශෝක වනයෙන් නෙළා ගත් මල් වලින්ය. මේ රූමත් දියණිය අශෝක මාලා නමින් ප්‍රසිද්ධ වීමට හේතු වී ඇත්තේ එයයි. සාලිය රජ වාසලේ සිටියේ නම් බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමට උදෑසනම බෝ මළුවට යෑම සිරිතක් කරගෙන තිබිණ. එවැනි දිනයකදී තමන් නෙළු මල් මාලා වෙළෙඳාම් කිරීමට ගිය අශෝක මලා මග වැරදී රජ වීදිය දිගේ ශ්‍රී මහ බෝධිය දෙසට ගමන් කරන්නට වූවාය. ඒ සාලිය කුමරුද එම වීථියේම පැමිණෙන මොහොතය. අශෝක මාලාද සුන්දර ලීලාවෙන් එහි ගමන් කරමින් සිටින්නීය. රූපයෙන් අන් කෙනෙකු වශී කරවන තරමේ සෝබමාන මේ ස්ත්‍රිය දුටු සාලියගේ පෙර ගමන් කරු සෙබළෙක් විමසා ඇත්තේ තී මනුෂ්‍ය දුවක්ද නැතිනම් දේව දුවක්ද යන්නයි. තමන් මනුෂ්‍ය දුවක් බවත් මල් විකුණන බහදාගේ දියණිය වන තමන් මල් වෙළෙඳාම් කිරීමට යන බවත් එවිට පවසා ඇත. එයින් කිපුණු සෙබළා කියා ඇත්තේ මොහොතකින් මේ ස්ථානයෙන් පැමිණෙන සාලිය කුමරු තමන් වැනි කුල හීන ස්ත්‍රීන් දැකීමෙන් කිපෙන බවය. ඒ නිසා වහා එහි ඇති ගල් කුලයකට හේත්තු වී පිළිමයක් සේ නොසෙල්ව සිටින ලෙසය. සෙබළාගේ අණ කිරීමට බිය වූ අශෝක මාලා දෑස් පියා නොසෙල්ව එහිම සිටගත්තාය. එසැණින් සාලිය පැමිණියේය. අශෝක මාලාගේ රුව දුටු සාලිය මේ කවර පිළිමයක්දැයි විමසා ඇත. සෙබළා පවසා ඇත්තේ එය විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් නෙළු ස්ත්‍රියකගේ රුවක් කියාය. සාලිය වඩාත් ළංව මේ විශ්මිත රුව දෙස ඕනෑකමින් බැලුවේය. එවිට එය පිළිරුවක් නොව සැබෑ මනුෂ්‍ය දුවක් බව වැටහුණු සාලිය, එසේ සිටින්නේ ඇයිදැයි තරුණියගෙන් විමසා ඇත. එයින් බියට පත් අශෝක මාලාගේ නෙතින් ගැලූ කඳුළු මුව කමල මතින් රූරා වැටෙන්නට වූයේ මැණික් කැට මෙන් යැයි කියන්නේය. කුමරු ඇගේ අනියත බිය දුරු කළ පසු අශෝක මාලා ඇගේ නිල් මානෙල් පෙති දෙකක් බඳු දෑස් විවර කළාය. ඒ බැල්මෙන්ම කුමරු අශෝක මාලාවන් කෙරේ ආදරයෙන් වෙලී ඇත. එදා ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කළ කුමරුගේ ප්‍රාර්ථනය වූයේ මගදී හමු වූ තරුණිය මතු දිනක තමන්ට හිමි වේවා කියාය. ඉන් නුදුරු දිනයකදී අශෝක වනයේ මල් නෙළමින් සිටි මාලා මුණගැසුණු සාලිය තම ආලය ඇය හමුවේ ප්‍රකාශ කළේය. නමුත් කුල හීන කාන්තාවක වූ මාලා ඒ බව කුමරුට පවසා ඊට අකැමැති වූවාය. නමුදු සාලියගේ මහමෙරක් තරම් ආදරය හමුවේ පසුව දෙදෙනාම පෙම්වතුන් බවට පත්විය.
ආලය කොතරම් ශක්ති සම්පන්න වුවද රජ පෙළපත් සිරිත් අනුව මාලිගාවේ බොහෝ දෙනා සාලිය අශෝක මාලාගේ ප්‍රේමය නොපිළිගත්තෝය. මේ බව දැනගත් සාලිය උරුම වීමට තිබූ රජ කිරුළද අත් හැර අශෝක මාලා සමග හොර රහසේම අනුරාධපුරයෙන් පැන ගියෝය. සාලිය මාලිගයේ නැති බව දැනගත් ගැමුණු මහ රජ ඒ ගැන විමසා ඇත්තේ සාලියගේ කලණ මිතුරු අරිට්ඨගෙනි. අශෝක මාලා සමග සාලිය මාලිගය හැර ගිය බව අරිට්ඨ රජුට සැළ කළ පසු ගැමුණු රජුගේ මුවින් පිට වූයේ පියා කළ දේම පුතාත් කළා එහෙනම් කියාය. එතැන් පටන් සාලියට සිදුවූයේ කුමක්ද යන්න සඳහන් නොකළ වංශ කතා කරුවා ඒත්තු ගන්වන්නේ නොගැළපෙන විවාහයක් කර ගත් නිසා ගැමුණු මහ රජුද සාලිය පවුලෙන් නෙරපා දැමූවා වැනි හැඟීමකි. නමුත් මෙය ඉතිහාසය විසින් සාලිය අශෝකමාලාට කළ නිග්‍රහයක් බව ගල්ගිරියාගම ප්‍රදේශයේ ඇති ජනප්‍රවාද සහ ජන කවි මගින් පැහැදිලි වන බව වර්තමානයේ ගල්ගිරියාගම ප්‍රදේශයේ පැරණි ගැමියන් විශ්වාස කරන්නේය. එය තහවුරු කරන සාලිය ආරණ්‍යයේ වැඩ වසන නාරම්පොල විසුද්ධි හිමියන් ඒ බවට සාක්ෂි වන තොරතුරු කියන අයුරුය මේ.
“සාලිය කුමාරයා අශෝක මාලා එක්ක මාලිගාවෙන් ඇවිත් ජීවත් වෙලා තියෙන්නෙ මෙතන. වර්තමාන විහාරය තියෙන තැන තමා මේ දෙන්නගෙ මාලිගාව තිබිල තියෙන්නෙ. සාලිය අශෝක මාලා මේ ස්ථානයට එද්දිත් මෙතන රහතන් වහන්සේ වැඩ වාසය කරල තියෙනවා. ආරණ්‍යයේ තියෙන මේ ගල් තලාවේ දෙන්න ඉද්දි අශෝක මාලා මුලින්ම දැක තිබෙනවා පාත්තරයක් ගත්ත රහතන් වහන්සේ නමක් වඩිනවා. එම රහතන් වහන්සේ වැඩ සිටි ලෙන තමා විහාරයට උඩින් ගල්තලාවෙන් උඩට ගියාම දැක ගන්න පුළුවන්. එම ලෙනේ සෙල් ලිපිය කොටල තියෙන්නෙ දේවානම්පියතිස්ස රජ්ජුරුවො. එදා සාලිය කුමාරයා අශෝක මාලා එක්ක රහතන් වහන්සේට දාන වේලක් පූජා කරන්න යද්දි මේ සෙල් ලිපිය දැකල මේක මගේ මුත්තණුවන් සංඝයාට පූජා කරල තියෙන්නෙ කියල සඳහන් කරල තියෙන්නෙ ඒකයි. මම දැනට මේ සාලිය ආරණ්‍ය පුරා ඇති සෙල් ලිපි එකොළහක් දැකල තියෙනවා. ජනතාව අතර ව්‍යවහාරේ තියෙන්නෙ සෙල් ලිපි විසි දෙකක් තියෙන්න ඕන කියල. කොහොම වුණත් සාලිය අශෝක මාලා මෙතැන ඉඳන් මේ ප්‍රදේශයේ වැව් හාරසීයක් හදල තියෙනවා. ගැමුණු රජ්ජුරුවො කිසිම හිරිහැරයක් වෙනස් කමක් සාලිය අශෝක මාලාට කරල නෑ. එහෙම කරන්න හේතුවකුත් නෑ. මොකද ගැමුණු රජ්ජුරුවන්ගෙ බිසවත් රජ කුමරියක් නෙමෙයි. මාලාගේ කුල ප්‍රශ්නය නිසා ඉතිහාස කතුවරු හිතා මතාම සාලිය කුල හීන කාන්තාවක් විවාහ කරගත්තාය කියල ලියල එතනින් එහා කිසිවක් ලියල නෑ. නමුත් ගැමුණු රජ්ජුරුවෝ අරිට්ඨ කුමාරයාගෙන් සාලිය ඉන්න තැන තොරතුරු දැනගෙන ඔහු බලන්න මෙතැනට ඇවිත් තියෙන්නෙ ගැල් වල බඩු මුට්ටු මුතු මැණික් පුරවගෙන. අශෝක මාලාගේ රූපශ්‍රීය දැක්ක ගමන් රජතුමාත් පුදුම වුණාලු. වර්තමානයේ ගල උඩ තියෙන මාලිගා තැන්න හරියේ පොකුණු දෙක තිබෙන තැන ඉදිකිරීම් කීපයක් තිබිල තියෙනවා. ඒවයේ ගඩොල් තාමත් අද දකින්න පුළුවන්. මේ කැලේ පුරා ගොඩනැගිලි තිබූ තැන්වල ගඩොල් තවමත් විසිරිලා තියෙනවා. ගල්ගිරියාගම කන්ද එක් පැත්තක සාලිය කුමාරයා කර තිබෙන මේ ඉදිකිරීම් රාජ අනුග්‍රහක් නැතිව කළ නොහැකියි. ඒ සඳහා සාලියට අවශ්‍ය උපකාර ඔක්කොම කරල තියෙන්නෙ ගැමුණු රජතුමාම තමා.” යැයි විසුද්ධි හිමියන් විස්තර කළේය
ගල්ගිරියාගම සාලිය ආරණ්‍ය තිබෙන්නේ අනුරාධපුරයේ සිට කිලෝ මීටර් 40 පමණ දුරකිනි. අනුරාධපුරයේ සිට එම ස්ථානයකට නිතර පැමිණීම අතීතයේදී මීට වඩා දුෂ්කර වන්නට ඇති බව කාටත් වටහා ගත හැකිය. මේ නිසාම ගැමුණු රජ්ජුවරුවන්ට පහසුවෙන් අනුරාධපුරයේ සිට අශ්වයෙකු පිටේ නැගී මෙම ස්ථානයට පැමිණිය හැකිවන ලෙස ඉදිකළ අඩි අටක් උස විශාල උමං දොරක් කඳු මුදුනේ දැක ගත හැකිය. එම උමග කෙළවර වන්නේ අනුරාධපුර ඉසුරුමුණියෙන් බවත් ඇතමුන් කියද්දි ගල්ගිරියාගම අවට තවත් අය කියන්නෙ එය රාජාංගනය ප්‍රදේශයෙන් කෙළවර වන බවය. වර්තමාන රාජංගනයේ මුල් නම වන සාලිය අශෝක පුරය ලෙස හැඳින්වීමට හේතුවද සාලිය කුමරු විසින් එම ප්‍රදේශය වාපී කරවා කෙත් වතු අස් වැද්දීමය. සාලිය අශෝක පුර අශෝකමාලාගේ සැලසුම් අනුව සංවර්ධනය කළ ප්‍රදේශයක් බවත් එය රාජංගනයක් සේ දිස් වූ නිසා ප්‍රදේශය දැක ගැමුණු රජු “මෙය රාජාංගනයක් සේ යැයි” කියූ නිසා එය රාජාංගනය ලෙස හැඳින්වූ බවටද ජනප්‍රවාද ඇත්තේය. එයින් තහවුරු වන අනෙක් කාරණ නම් ආශෝක මාලා සතුව පැවති සැලසුම් ශිල්පයේ ඥානයයි. සාලිය ආරණ්‍ය භූමියේද මේ වනවිට විනාශ වී ගිය එකල පැවති විශිෂ්ට ඉදිකිරීම්වල සාක්ෂි එම භූමිය පුරා විසිරී තිබේ. ඒ අතර ස්ථාන කිහිපයක පැවති ගොඩනැගිලි කිහිපයක විනාශ වූ ගඩොල්, වියළි කාලයේ වුවද නොසිඳෙන විලක් කිහිපයක් කඳු මුදුණේ දැකගත හැකි වේ. ආරණ්‍යයට අයත් මුළු භූමියේ වැඩී ඇත්තේ විවිධ රෝග සඳහා භාවිත කරන ඖෂධ පැළෑටී සහ ශාකය. අශෝක මාලා සතුව රෝගීන් සුවපත් කිරීමේ උපන් හැකියාවක් පැවති බවට ජනවහරේ මතයක් පවතින අතර එකල සිට සිට මේ භූමිය බෙහෙත් පැළෑටි වලින් හිඟ නොවන්නට ඇතැයි මේ අනුය අපට සිතිය හැකිය.
ඒ කුමක් වෙතත් ගල්ගිරියාගම කඳු පෙළ යනු වියළි කාලගුණික වටපිටාවක් ඇති මේ ප්‍රදේශයේ පවතින අගනා පිරිසර පද්ධතියක්ය. සතා සිව්පාවුන්ට සෙවන දෙන මහා වනපෙතක්ය. එය එලෙසම රක්ෂා කරගනිමින් රටේ දියුණුවට යොදා ගත හැකි උත්කෘෂ්ඨ අතීත උරුමයක්ය. එකම ස්ථානවල පමණක් කැරෙකෙන මෙරට සංචාරක ගමනාන්ත වෙනුවට මෙවැනි ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට යොමු කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් එය මේ ප්‍රදේශවල ජීවත් වන ජනතාවටත් රටටත් යහපත් වනු ඇත. ඔබ මෙතෙක් නොදුටු මේ ඓතිහාසික භූමිය දැක බලා ගන්නට යන්නේ නම් කුරුණෑගල මඩගල්ල ගල්ගමුව පාර අතර ඇති සාලියගම හන්දිය සොයා යන්න. එතැනින් වම් දිශාවට ගොස් වතුවත්තේගම හන්දියෙන් දකුණු දෙසට ගමන් කරන්න. එවිට සාලිය අශෝක මාලාගේ නිකැළැල් ආදර කතාවේ මතක දරා සිටින මේ ප්‍රේමණීය කඳු ශිඛරයට අයත් පරිසරය හමුවේ.
තිස්ස ගුණතිලක මහතාගේ සටහනක් ඇසුරෙනි
උපුටා ගැනීමකි.බෙහෙවින් ස්තුතියි මුල් අයිතිකරුට 🙏🙏🙏
(Rms Sudarshani )
සටහන උපුටාගැනීමකි

Uncategorized