නලීන්ට සමුදෙමු!
අවාසනාවට නලින් ප්‍රදීප් උඩවල අපේක්ෂා රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ ඉන්නා බවට මට තොරතුරු ලැබුණේ ප්‍රමාද වෙලා යි . ඊයේ මම කමල් පී අලහකෝන්ගෙන් දුරකථන අංකයක් ඉල්ලාගෙන කීප පාරක් නලීන්ට රිං කලත් කතා කරන්න බැරි වුණා. අදත් කතා කරන්න හිටියත් නලීන් අද උදෑසන අවසන් ගමන් ගිය මට දැනගන්න ලැබුණා.
මගේ නාට්‍ය කලා ජීවිතය තුළ නලීන් මට මුලින්ම හමුවුණු කොන්දේසි විරහිතව මට සහයෝගය දුන්න නළුවෙක්. අනුව දශකයේ ආරම්භයේදී සුනන්ද මහේන්ද්‍ර ගුරුතුමාගේ නාට්‍ය වැඩමුළුවේදී හමුවුණු මගේ මිත්‍ර කඳවුරේ හිටිය මිතුරෙක්. එවකට මමවත් නලීන්වත් අපි කවුරුවත් දැනගෙන හිටින්නේ නෑ ඉදිරි කාලයේ නාට්‍ය කලාවේ අපි කවුරුන් වේවිද කියලවත්. එම මිත්‍ර කඳවුරේම හිටිය අනිත් මිතුරන් අතර භානු ප්‍රසන්න, ප්‍රසන්න ජයකොඩි තිලක් නන්දන හෙට්ටිආරච්චි වගේ අයත් හිටියා . ප්‍රසන්නයි මමයි නාට්‍ය රචනයකර අධ්‍යක්ෂණ කරන්න පටන් ගත්ත අතර අනිත් මිතුරෝ ඒ නාට්‍ය වලට රඟපෑමේ සිට ඕනම වැඩක් කරමින් සම්බන්ධ වුණා. නලින් මගේ පළමු ප්‍රසිද්ධ නාට්‍යය වන තනියාමය කෙටි නාට්‍ය සහ ඉන් අනතුරුව ජූරිය නාට්‍යය තුලද රඟපෑමෙන් සහ තවත් කටයුතුවලින් දායක වුණා.
1992 යෞවන සම්මාන උළෙල නලීන් ප්‍රදීප් උඩවෙලගේ උළෙල කියලා හැමෝම විහිළු කළා. ඒ නලීන් මගේ තනියාමය සහ ප්‍රසන්නගේ සෙවනැලි සහ මිනිස්සු නාට්‍ය ඇතුළු ඒ උළෙලේ අති බහුතරයක් නාට්‍යවල රඟපෑමයි. මම හිතන්නේ නලීන් නළුවෙකු ලෙස කලඑළියට ආවේ එම උළෙල හරහායි.
නලීන් මාතලේ ඉදන් ඇවිත් හිටියෙ. මේ විදිහට විවිධ අධිෂ්ඨාන සහ අරමුණුවලින් පැමිණිලා හිටිය අය අතර නලීන්ට තිබුනේ විශාල ධෛර්යයක්. නලීන්ම සමහර අවස්ථාවල ප්‍රසිද්ධියේ කියලා තිබුණු පරිදි , ඒ මුල් කාලයේ ඔහු නාට්‍යවල ඕනෑම වැඩක් කෙරුව අතර සමහර දිනවල ඔහුට රෑට ඉන්න තැනක් නැතුව නිදා ගත්තේ රඟහලකම කොහේ හරි මුල්ලකයි. මම හිතන්නේ නාට්‍යකාරයෙකුට ඉන්න තැනක් නැත්නම් වැටෙන්න තියන වඩාම ගෞරවනීය තැන රඟහල කියලයි. නලීන් පුහුණුවීම් වලට ගියේ බෑග් එකත් කරේ එල්ලගෙන එදා රෑට ඉන්නේ කොහෙද කන්නේ කොහොමද කියන අරමුණකින් තොරවයි. ඔහු කලක් ගම්පහ අපේ ගෙදරත් නැවතිලා හිටියා. එම රස්තියාදු වෙන අවස්ථාවකදී දවසක් නලින් මට කිව්වා මතකයි හෙන්රි ජයසේන වගේ නාට්‍යකාරයෙකුගේ නාට්‍යයක අසදක් වගේ චරිතයක් කරලා මිසක් මම ආපහු ගමට යන්නේ නෑ කියලා. ඔය ඉන්න ගමන් නාට්‍යයකුත් හදපන් කියලා මම ඒ දවස්වල නලීන්ට නිතර කිව්වා. එහෙනම් මට උඹම ලියපු පිටපතක් දීපන් කියලා ඒ දවස් වල නලීන් මගෙන් නිතර පිටපතක් ඉල්ලලා හිටියා.එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මම හදන්න හිටිය චන්ද්‍රාවතී සමග රාත්‍රියක් නාට්‍ය මුලින්ම නලින්ට හදන්න දුන්නේ.
අපි එදා කරපු නාට්‍ය කලාවට මම කියන්නේ මිත්‍රත්වයේ නාට්‍ය කලාව ( Friendship Theatre) කියලයි. නාට්‍ය සහ මිත්‍රත්වය දෙකක් නොව එකක් වෙලා තිබුණ අතර අප බැඳී තිබුණේ වෘත්තිය අයිතිවාසිකම්වලින් නෙමෙයි මිත්‍රත්වයේ කොන්දේසි වලින්.
නලින් සමග තව රසවත් මතකය එමටයි. ඒවා අපිට හැමදාම මතකයට ඒවි.
සුභ ගමන් නලීන්!