මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ක්‍රමයට ගනුදෙනු කරන ශ්‍රී ලාංකිකයින්ට වගේම මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳුන්ටත් ඉතාමත් වැදගත් පුවතක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, ජාතික QR ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද නිල වශයෙන් ආරම්භ කළා. මෙය මෙරට ඩිජිටල් ආර්ථිකයේ දැවැන්ත පෙරළියක ආරම්භයක් ලෙසයි සැලකෙන්නේ.
මෙතෙක් කල් QR හරහා ගෙවීම් කිරීමේදී වෙළෙඳුන්ගෙන් අය කළ සේවා ගාස්තුව (MDR) නිසා බොහෝ දෙනෙක් මේ ක්‍රමය පාවිච්චි කරන්න අදිමදි කළා. නමුත් අද සිට ක්‍රියාත්මක වන පරිදි:
රුපියල් 5,000 දක්වා සිදු කරන සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරන සේවා ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. මෙම තීරණය මගින් කුඩා කඩ සාප්පු හිමියන්ට සහ පාරිභෝගිකයින්ට කිසිදු අමතර බරක් නැතිව ඩිජිටල් ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (Cash-lite) දියුණු ආර්ථිකයක් කරා ගෙන යාම මෙහි මූලික අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.











