දෑත් දිගු වෙයි… එන්නත ලොවටම නොමිලේ දෙන බව පුටින් කියයි… ලොව කැළඹූ රුසියන් එන්නත කළ නොහැක්කක් යථාර්ථයක් කරයිද?

දෑත් දිගු වෙයි… එන්නත ලොවටම නොමිලේ දෙන බව පුටින් කියයි… ලොව කැළඹූ රුසියන් එන්නත කළ නොහැක්කක් යථාර්ථයක් කරයිද?

 

පිළිකා ප්‍රතිකාරයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් පසුගියදා රුසියාව විසින් නිපදවා ඇති ‘එන්ටරෝමික්ස් ’(Enteromix) නමැති පිළිකා එන්නත මේ වන විට ලොව පුරා දහස් සංඛ්‍යාත පිළිකා රෝගීන්ගේ ජීවිත අපේක්ෂාවන්ට කොළ එළියක් දල්වන්නට සමත් ව තිබෙනවා.

මේ වන විට එන්නතේ හිමිකාරත්වය දරමින් ඇති රුසියාව පසුගිය සති අන්තයේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළේ, එම එන්නත සමස්ත පිළිකා රෝගීන්ට නොමිලයේ ලබා දෙන්නට කටයුතු කරන බවයි.

ලොව විදෙස් මාධ්‍ය හුවා දක්වන්නේ රුසියාව විසින් නිපදවා ඇති ‘එන්ටරෝමික්ස් ’ නමැති පිළිකා එන්නත පිළිකාවන්ට එරෙහිව සියයට සියයක කාර්යක්ෂමතාවක් හා ආරක්ෂාවක් පෙන්නුම් කර ඇති බව වෛද්‍ය සායනික පරීක්ෂාවන්ගෙන් සනාථ වී ඇති බවය.
රුසි­යානු ෆෙඩ­රල් වෛද්‍ය-ජීව විද්‍යා­ත්මක ඒජ­න්සියේ (FMBA) ප්‍රධානී වෙරෝ­නිකා ස්ක්වෝර්ට්සෝවා මෙම ‘එන්ටෙරෝමික්ස්’ පිළිකා එන්නත බොහෝ ආක්‍රමණශීලි පිළිකාවන්ට එරෙහිව සටන් කිරීමේදී බලාපොරොත්තුවක් දල්වා ගත හැකි බවත් එම එන්නත වෛද්‍ය සායනවල භාවිත කිරීම සඳහා දැන් සූදානම් බවත් රුසියාවේ මධ්‍යම වෛද්‍ය හා ජීව විද්‍යාත්මක ඒජන්සිය පවසා තිබුණි.

පසුගිය කාලයේ නිපදවූ බොහෝ එන්නත්වල පැවැති දුර්වලතාවක් වූයේ එම එන්නත්හි තිබී ඇත්තේ දුර්වල කරන ලද බැක්ටීරියා හෝ වයිරස බවයි.

නමුත් රුසියාව විසින් නිපදවා ඇති මෙම නව පිළිකා එන්නත එයට වඩා වෙනස් වීම නව බලාපොරොත්තුවක පෙරනිමිතිය.

මෙම එන්නත රෝගීන්ගේ පිළිකා සෛලවලට අනුකූලව නිර්මාණය කර ඇති බවත්, එය පෞද්ගලික මට්ටමේ mRNA තාක්ෂණය මත පදනම් වී ඇති බවත් රුසියානු ෆෙඩරල් වෛද්‍ය-ජීව විද්‍යාත්මක ඒජන්සිය පවසයි.

‘එන්ටරොමික්ස්’ ලෙස නම් කර ඇති මෙම එන්නත නිපදවා ඇත්තේ ජාතික වෛද්‍ය විකිරණ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සහ එංගල්හාර්ඩ් අණුක ජීව විද්‍යා ආයතනය එක්වය.

රුසියානු ෆෙඩරල් වෛද්‍ය-ජීව විද්‍යාත්මක ඒජන්සියේ (FMBA) ප්‍රධානී වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා ( Veronika Skvortsova- head of the Russian Federal Medical-Biological Agency)පසුගියදා කළ ප්‍රකාශයක් හුවා දක්වමින් රුසියානු ප්‍රවෘත්ති ඒජන්සියක් වන TASS සේවය ප්‍රකාශ කර ඇත්තේ මෙම පර්යේෂණය වසර ගණනාවක් පුරා සිදු වූවක් බවත් සියයට සියයක් සාර්ථක මෙම එන්නත දැන් භාවිතයට සූදානම් බවත්ය.

“ අපි නිල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටිමු…”ඇය එහිදී පවසා ඇත.

මෙම එන්නත පූර්ව සායනික ප්‍රතිඵල අනුව එන්නතෙහි ආරක්ෂාව සහ සැලකිය යුතු කාර්යක්ෂමතාව තහවුරු කර ඇති බව වාර්තා වෙයි.

විවිධ මාධ්‍ය වාර්තා ද ප්‍රකාශ කර ඇත්තේ මෙම එන්නත පූර්ව සායනික අත්හදා බැලීම්වලදී සියයට 100 ක කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර ඇති බවයි.

පර්යේෂකයන් විසින් මෙම එන්නත හරහා පිළිකා ප්‍රමාණයේ අඩුවීමක් සහ පිළිකා ප්‍රගතිය මන්දගාමී වීමක් නිරීක්ෂණය කරන ලදි . එනම් රෝග ලක්ෂණ සියයට 60 සිට 80 දක්වා පරාසයක අඩුවීමකි. මෙම එන්නතෙහි පළමු කාණ්ඩය ‘ග්ලියෝබ්ලාස්ටෝමා’ නමැති මහා අන්ත්‍ර පිළිකාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා බවත් මොළයේ පිළිකාවට හා සමේ පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා නොබෝ දිනකින් එම එන්නතෙහි තවත් කාණ්ඩයක් සංවර්ධනය වෙමින් පවතින බවත් ප්‍රධානී වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා පවසා ඇත.

රුසියාවේ පිළිකා එන්නතෙහි වඩාත්ම කැපී පෙනෙන අංගයක් වන්නේ කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කිරීමයි.

මෙය AI තාක්ෂණයෙන් තැනූ පිළිකාවට එරෙහිව රුසියානු විප්ලවීය එන්නතකි. “Enteromix” නම් වූ මෙම එන්නත, කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) සහ ස්නායුක ජාල (neural networks) උපයෝගී කරගෙන සංවර්ධනය කර ඇති බව වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් පෞද්ගලීකරණය කළ එන්නතක් නිර්මාණය කිරීමට ගතවන කාලය AI භාවිතය නිසා විනාඩි 30ක් දක්වා අඩු කිරීමට හැකි වී ඇත.

මෙම එන්නතේ විශේෂත්වය වන්නේ එය සෑම රෝගියකුගේම ශරීරයට ගැළපෙන ලෙස පෞද්ගලීකරණය කළ හැකි වීමයි.

සාමාන්‍යයෙන් පිළිකා ප්‍රතිකාර සඳහා විශාල කාලයක් ගත වුවද, මෙම නව එන්නත මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරන්නේ පිළිකා සෛල හඳුනාගෙන විනාශ කිරීමට නිසා ඒ ක්‍රියාවලිය වේගවත් වන බවයි.

රුසියානු විද්‍යාඥයන් පවසන්නේ මෙම එන්නත මඟින් පිළිකා ගැටිති හැකිළීමට සහ ඒවායේ වර්ධනය මන්දගාමී කිරීම හරහා සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවයි.

ඉදිරි මාසවලදී එන්ටරොමික්ස් කෙසේ ක්‍රියා කරයිදැයි මේ පිළිබඳ උනන්දුවක් දක්වන අය බලා සිටිනු ඇත.

පුළුල් පර්යේෂණ සහ අති නවීන තාක්‍ෂණය හරහා සංවර්ධනය කරන ලද මෙම එන්නත මඟින් පිළිකා ප්‍රතිකාරයේ විප්ලවයක් ඇති කිරිමට හැකි වෙතැයි මේ වන විට බොහෝ දෙනා විශ්වාස කරති.

එය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවට බලාපොරොත්තු දල්වමින් ළඟදීම දිනක පිළිකා රෝගීන්ට නොමිලේ ලබා දෙනු ඇති බවට සුබවාදි බලාපොරොත්තු ඇතිකර ගත හැකි නම් එය වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන විප්ලවීය වෙනසක් වනු ඇත.
”සිළුමිණ” ඇසුරින්

World Gossip