සයුරෙන් එහා පුවත්

ඇයගේ මුළු ජීවිතයම වෙනස් වුණේ එක් ඡායාරූපයක් නිසයි.. වසරේ විශිෂ්ටතම නිරූපිකාව වුණු ඇගේ කතාව හරිම වෙනස් එකක්..

ජීවිතය යනු එකම එක මොහොතකින් උඩුයටිකුරු විය හැකි අපූරු ගමනක් බව ලොවටම පසක් කළ ඇය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්.

2025British Fashion Awards හිදී “වසරේ විශිෂ්ටතම නිරූපිකාව” ලෙස කිරුළු පැළඳීමට දකුණු සුඩාන සම්භවයක් සහිත ඇනොක් යායි (Anok Yai) සමත් වුණා.

ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත්‍රයේ ඉහළම ගෞරවයක් දිනාගත් ඇගේ මෙම ජයග්‍රහණය පිටුපස ඇත්තේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ කතාවක්.

1997 වසරේ කයිරෝ නුවරදී උපත ලබා, පසුව ඇමරිකාවේ නිව් හැම්ප්ෂයර් හි හැදී වැඩුණු ඇනොක්ගේ එකම අරමුණ වූයේ විද්‍යා අංශයෙන් ඉදිරියට යාමයි. ඇය Plymouth State විශ්ව විද්‍යාලයේ Biochemistry හදාරමින් සිටියේ අනාගතයේ වෛද්‍යවරියක හෝ විද්‍යාඥවරියක වීමේ සිහිනය ඇතිවයි. විලාසිතා ලෝකය ඇගේ ජීවිත සැලසුම්වල කොතැනකවත් නොතිබුණි.

2017 වසරේ ඔක්තෝබර් මාසයේ දිනක හාවඩ් විශ්වවිද්‍යාලයේ උත්සවයකට සහභාගී වී සිටියදී ඡායාරූප ශිල්පියෙකු ඇගේ ඡායාරූපයක් ලබාගෙන එය අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. පැය කිහිපයක් ඇතුළත එම ඡායාරූපය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වැළඳගත් අතර, ලොව ප්‍රමුඛතම නිරූපණ ආයතන ඇය සොයා ඒමට පටන් ගත්තා.

නිරූපණ ක්ෂේත්‍රයට පිවිස මාස හතරක් වැනි කෙටි කලකින්, ඇනොක් මිලාන් විලාසිතා සතියේ සුප්‍රකට ප්‍රාඩා (Prada) විලාසිතා දැක්ම සමාරම්භ කළා. එමගින් ප්‍රාඩා ඉතිහාසයේ විලාසිතා දැක්මක් ආරම්භ කළ ප්‍රථම සුඩාන නිරූපිකාව මෙන්ම, නයෝමි කැම්බල්ට පසු වසර 20කට පසුව එම අවස්ථාව හිමිකරගත් අප්‍රිකානු සම්භවයක් සහිත දෙවන නිරූපිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වන්නට තරම් වාසනාවන්ත වුණා.

එතැන් පටන් Nike, Estée Lauder, Alexander McQueen වැනි ලොව දැවැන්ත සන්නාමයන්හි ප්‍රධාන මුහුණුවර බවට පත්වූ ඇය, ජාත්‍යන්තර Vogue සඟරාවේ කවර කිහිපයක්ම හැඩගැන්වුණා. 2025 වසරේදී ඇයට හිමිවූ “වසරේ නිරූපිකාව” සම්මානය ඇගේ එම කැපවීම සහ සුවිශේෂී අනන්‍යතාවයට ලැබුණු ඉහළම උපහාරයයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Verified by MonsterInsights