අඳ දරුවන්ගේ නෙත් පාදා සිතුවමින් ලොවට ගිය සිත්තරා #සොයිලියස්_මැන්දිස්
පුරාණයේ සීගිරියේ හා පොලොන්නරුවේ ගල් බිත්ති මත ඇඳි ජීවයෙන් පිරි රිද්මයානුකූල රේඛා ක්‍රමයෙන් වියැකී යමින් තිබිණි. ඒ අනන්‍ය රේඛා මතකයෙන් ගිලිහී යා නොදී එහි ශේෂ මාත්‍ර කැලණිය විහාර බිත්ති මත ජීවමාන කළ අපූරු සිත්තරා සිය ජීවිත කාලයේ අවසන් භාගය ගෙවූයේ දැඩි හිත් වේදනාවෙනි.
සිය ප්‍රාණය සේ ආලවන්තව හා ගෞරවාන්විතව කැලණි විහාරයේ බිතු සිතුවම් නිම කළ මේ අග්‍රගණ්‍ය සිත්තරාගේ පශ්චාත්තාපයට හේතු වූයේ එහි අවසන් පසුබිම් චිත්‍ර අඳින්නට විදෙස් සිත්තරකු ගෙන්වීමය. මතු දිනෙක යළි විහාර සිතුවම් නොඅඳින්නේ යැයි තමාටම සපථ කරගත් හේ සිය පෞද්ගලික ධනය කැප කළේ දෙනෙත් අඳ හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙනි. අන්ධ හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පාසලක් තනවා එහි කටයුතු වෙනුවෙන් සිය ධනය හා දේපළ පරිත්‍යාග කළ ඒ අද්විතීය මිනිසා සොයිලියස් මැන්දිස් ය.
හලාවත මහවැව පිහිටි අක්කර 4ක විශාල ඉඩමේ අන්ධ දරුවන් වෙනුවෙන් ළමා නිවාසයක් ඉදි කළ මේ අපූර්ව නිර්මාණකරුවා, මෙහි පරිපාලනය හා නඩත්තු කටයුතු සඳහා තමා සතු අක්කර 89ක පොල්වතු දෙකක හා කුඹුරු අක්කර 10ක ආදායම 1957දී සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයට පවරා ඇත. මේ සියල්ල පරිත්‍යාග කර ඊට ම යාබද වූ ඉඩමක කුඩා නිවෙසක අප්‍රකට සරල දිවියක් ගත කළ හේ, එක්දහස් නවසිය හැත්තෑපහේ සැප්තැම්බර් 01 වැනිදා දිවිසැරිය නිම කරන තෙක් නැවත විහාර සිතුවම් ඇන්දේ නැත. කැලණිය සිතුවම් සම්බන්ධයෙන් අප පෙර කී හිත් රිදීම ඊට හේතු කාරක විණි.
සිය ජීවිත කාලය පුරා කලාව වෙනුවෙන් අප්‍රමාණ ලෙස කැප වූ නිර්මාණකරුවන් නික්ම යන්නේ සහෘදය හදවත්හි අනල්ප ඉඩක් මෙන්ම ආදරයක් ද ඉතිරි කරමිනි. ඩොලර් හතළිස් තුන්කෝටි අනූනව ලක්ෂයකට අලෙවි වූ ‘අයිරිස් මල් පඳුර‘ චිත්‍රයේ නිර්මාණකරුවාගේ ජීවන අන්දරය සොයිලියස් මැන්දිස් කලාකරුවා ගැන ලියද්දී මට සිහිපත් වූයේ ඉබේටම ය. විසිවන සියවසේ බිහි වූ ශ්‍රේෂ්ඨතම සිතුවම් ශිල්පියකු සේ බුහුමනට ලක්වූ වින්සන්ට් වැන්ගෝ ගේ ජීවිත කතාව ඔහුගේ සිතුවම් සේ සොඳුරු වූයේ නැත. සිය එක ම සොහොයුරා වූ තියෝ ගේ විශ්වාසය මත පමණක් ම විශ්වාසය තැබූ හේ, මිය යන්නට පෙර කිසිදු වෙසෙස් අබිමනක් බලාපොරොත්තු නොවී ජීවත් වී, මිය ගිය පසු අමරණීය වූ නිර්මාණකරුවෙකි. සිය සොහොයුරාට ලියූ ලිපි එකතු ඔස්සේ ඔහුගේ ජීවිත කතාව කියවා ගත් මට සිතුවම් යට සැඟවුණු අනුවේදනීය කතාවක සහකම්පනීය ඉසව්ව හසු වූ බව නොකියා බැරි ය.
ජීවිතය ඇත්තේ අන් තැනක බවත්, මරණය ඇත්තේ අමරණීය වීමේ කලාව ඉගැන්වීමට බවත් කියා දුන්නේ මේ අපූරු සිතුවම් ශිල්පියා ය. සිතුවම් අස්සේ කියැවෙන ජීවිත ගැන අප හෙවත් රසික සහෘදයනට ඇත්තේ දූරස්ථ සබඳතාවක් ද යන්න ගැන සිතිවිලි විවර වන්නට පටන් ගත්තේ ඉනික්බිතිව ය. බොහෝ සිතුවම් ශිල්පීන් ජීවමාන කතන්දර අපට ඉතිරි කර නික්ම යන්නේ ඇගයුමේ මාවත ගැන නොදැන ම ය. එය සහකම්පනීය සහෘදය පිරිසකගේ අඩුව නිසා ඇති වූවකි. සියල්ලෝ එසේ නොවෙති. සොයිලියස් මැන්දිස් කියන්නේ ද ලංකාවේ අපට එවන් සිත්තරෙකි; එවැනි සහකම්පනයක් ශේෂ කළ නිර්මාණකරුවෙකි. භෞතිකව මෙන්ම ආධ්‍යාත්මිකව ද පෝෂිත පරපුරක් නිර්මාණය කිරීමෙහි ලා පෙරගමන් ගිය මේ කලාකරුවා; කලාකරුවකුගේ වගකීම
පිළිබඳ නිරතුරු සවිඥානනික වූවෙකි.
සොයිලියස් මැන්දිස් නාමය ලාංකේය රසික සහෘදයනට නුහුරු නාමයක් නොවේ. සිය නම අමරණීය කරගන්නට සමත් කලා නිර්මාණ රැසක් ඔහුගේ තෙලිතුඬෙන් බිහි වූ බව දන්නා පිරිස වැඩි ය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වරක් සොයිලියස් මැන්දිස් කලාකරුවා පිළිබඳ කී කතාවක් මට සිහිපත් වේ. ඔහුගේ ජීවන විලාසය පිළිබඳ අවබෝධයක් ලබා ගනු වස් මම එය ඔබට මෙසේ ඉදිරිපත් කරමි.
“සොයිලියස් වූ කලී මහා බර වැඩක් කළ හෑල්ලු පුද්ගලයෙකි”
ඒ අප්‍රමාණ මිනිසා පිළිබඳ මානවසිංහ වදන කෙතරම් ගැළපෙන්නේ ද යන්න ඔහු පිළිබඳ තතු දන්නෝ දනිති. ඒ බර පිළිබඳ වෙනත් වදනකින් කියූ ඕලන්ද ජාතික ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පියකු වන ජෝ පිකාසෝ ඊට වෙනත් අරුතක් එක් කරයි.
“කැලණියේ නව සිතුවම් වූ කලී අසාමාන්‍ය කැපවීමකින් හා මාධ්‍ය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ප්‍රෞඪ නිර්මාණයකි”.
කැලණි විහාරයේ නව කොටසේ සිතුවම් නිර්මාණකරණය හේ අරඹන්නේ 1930 වර්ෂයේදීය. එවිට ඔහු ගත කරමින් සිටියේ ජීවිතයේ හතරවැනි දශකය ය. මේ සඳහා මුදල් යොදවන්නේ සේදවත්ත වලව්වේ හෙලේනා විජයවර්ධන මැතිනිය ය. එනම්, ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ මෑණියෝය.
සිය දිවිසැරියෙන් වැඩි ප්‍රමාණයක් දෘශ්‍ය කලාව මෙන්ම ප්‍රාසංගික කලාවේ දෘශ්‍යරූපී මාන සොයා හඳුනාගන්නට ඔහු වැය කළේ ය. ඒවා කලා මාධ්‍ය කිහිපයක් ඔස්සේ ලාංකේය රසික ප්‍රජාව වෙත ගෙන ආ හේ මෙරට සිටි ප්රභාවත් දෘශ්‍ය කලා ශිල්පියෙකි. සොයිලියස් කලාකරුවාගේ මූර්ති කලාව ගැන වෙසෙස් ඇගයුම් කටයුතු ලෙස බලන හෙලේනා විජයවර්ධන මැතිනිය කැලණිය නව සිතුවම්කරණය ඔහු වෙත පවරන්නේ දෙවරක් නොසිතා ය. පන්සල් ඇසුරේ කුඩා කාලය ගෙවූ ඔහු විහාර චිත්‍ර කෙරේ විශේෂ අවධානයක් යොමු කළේ ය. සිය ආධ්‍යාත්මයේ හඬ ගැසීමක් බඳු වූ සිතුවම් කලාවේ උරුමය ඔහුට හමු වූයේ විහාර චිත්‍ර ඇසුරේ ය. සොයිලියස් ගේ සිතුවම් අන් නිර්මාණකරුවන්ගේ සිතුවම් හා සමාන වූයේ නැත. ඔහුට ම අනන්‍ය වූ ලක්ෂණ එහි මොනවට ගැබ් විය. මේ සියල්ල කැලණි බිතු සිතුවම් ඔහු අතින් නිමැවීමේ පදනම වැටෙන්නට බලපෑම් කරන්නට ඇත.
කැලණි විහාරයේ බිතු සිතුවම් නිමවන්නට පෙර ආසියානු චිත්‍ර කලා සම්ප්රදාය ගැන යම් හැදෑරීමක් කරවීමට සොයිලියස් ඉන්දියාවට යැවීමට හෙලේනා විජයවර්ධන මැතිනිය තීරණය කළා ය. ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා, භාග් ආදි ස්ථාන පුරා සරමින් දින සති ගණන් ගත කළ සොයිලියස් සිත්තරා ලංකාවට ආවේ බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව ය. වස්තු විෂයය, ප්‍රකාශන රීතිය හා චිත්‍ර ශෛලිය යන තුන් ආකාරයෙන් ම විශිෂ්ට ප්‍රතිභාවක් සහිත කැලණි විහාර බිතු සිතුවම් නිර්මාණය වෙන්නේ එකී පසුබිම ඔස්සේ ය. එහෙත් ඒ සියල්ල අබිබවා ඔහුගේ මානව හිතවාදී ගුණය චිත්‍ර අතර ඉස්මතු වූයේ යටත් විජිතවාදී පාලනයෙන් හෙම්බත් වූ වකවානුවේ වීම විශේෂත්වයකි.
ඔහුගේ තෙලිතුඬෙන් නිමැවුණු පොලොන්නරුවේ ජය ශ්‍රී විහාරය, මාවිල සුමන කුසුමාරාමය, මල්වානේ ලෙනගම්පල පුරාණ විහාරය, හබරාදූව පිටදූව කැලණි ගංගොඩ විහාරය, ගිරිඋල්ල මැද්දෙපොල විහාරය ආදි විහාරස්ථානවල ඇති සිතුවම්හි කූටප්‍රාප්තිය කැලණිය විහාර බිතු සිතුවම් ය. එය දෙස් විදෙස් කලාකරුවන් අතින් ඇගයුමට ලක් වූයේ කෙසේද යත්, වරක් කැලණියේ චිත්‍ර ඇඳීමට ලෝක ප්‍රකට සිත්තරකු වූ ඉන්දීය මහා චිත්‍ර ශිල්පී නන්දලාල් බෝස් කැඳවනු ලැබීය. ඔහු සොයිලියස් මැන්දිස්ගේ චිත්‍ර දැක පෙරළා ඉන්දියාවට ගියේ මේ කාර්යයට වඩාත් සුදුස්සා සොයිලියස් මැන්දිස් පමණක් ම බව නොපැකිළව පවසමිනි.
එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදාට සොයිලියස් මැන්දිස් කලාකරුවා නාමශේෂභාවෝපගත වී අඩසියවසක් පූර්ණය වන්නේ ය. ඒ වෙනුවෙන් සොයිලියස් මැන්දිස් අනුස්මරණ කමිටුව විසින් ගුණානුස්මරණ මහෝත්සවයක් සංවිධානය කර ඇති අතර, එය අඩසියවස පූර්ණය වන සැප්තැම්බර් 1 වැනිදා උදේ 8.30ට මහවැව ශ්‍රී ධර්මාරාම මහා විදුහලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිත ය. එහිදී විශේෂ සමරුම් දෙසුම්, විශේෂ ගුණකථන දෙසුමක්, විවෘත ළමා චිත්‍ර ප්‍රදර්ශනයක් හා ප්‍රදර්ශන භාණ්ඩ දැක්මක් ක්‍රියාත්මක වීමට කටයුතු යොදා තිබේ. මේ පිළිබඳ අදහස් දැක්වූ සොයිලියස් මැන්දිස් අනුස්මරණ කමිටුවේ ප්‍රධාන සංවිධායක ආනන්ද කරුණාරත්න අවධාරණය කළේ මේ අග්‍රගණ්‍ය කලාකරුවා පිළිබඳ විධිමත් ඇගයීමක අවැසිතාව අප ඉදිරියේ පවතින බවය.
“මා සභාපතිත්වය දරන සරසවි කලා සංගමය නමින් කලා සංගමයක් තියෙනවා. සෑම අවුරුද්දකට වරක් ම වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජීවත් වුණු කලාකරුවෙක් තෝරාගෙන යම් කිසි එළිදැක්වීමක් අප මේ සංගමය හරහා කරනවා. මීට අවුරුදු දෙකකට කලින් මේ කර්තව්‍යය සඳහා සොයිලියස් මැන්දිස් මහතා පිළිබඳ අධ්‍යයනයකට යන්න ඕන කියලා මට අදහසක් ආවා. අපි එතුමා ගැන හොයාගෙන මහවිලට ගියා. අන්තිමේදී තොරතුරු අනුව අපි සිවිරාජ කියන ළමා නිවාසයට තමයි ගියේ. එතුමා මේ ඉඩම මිලදී ගෙන ගොඩනැඟිල්ලක් හදලා සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයට භාර දීලා තියෙනවා ඉදිරි වැඩ කරගෙන යන්න. අන්ධ ළමයින්ට ළමා නිවාසයක් හදන වැඩපිළිවෙළක් 1957 වගේ කාලයකදි අන්තර්ජාතික මට්ටමින්වත් තිබුණෙ නෑ. ඒ කාලේ එවැනි දරුවන්ට කිසිම පහසුකමක් හෝ අවධානයක් තිබුණු වකවානුවක් නෙවෙයි. නඩත්තුව සඳහා පවා ඉඩම් මිලදී ගෙන ඒවායේ ආදායම ළමා නිවාසයේ හා දරුවන්ගේ නඩත්තුවට වෙන් කරලා තිබුණා. මේ ඉඩම මිලදී ගත්තේ කැලණිය විහාර සිතුවම්කරණයෙන් ලද මුදලින්. මේක ඇතුළෙ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පවා තිබුණා. නමුත් වර්තමානයේ මේ මහා මානව හිතවාදියා ගැන කිසිම හැදෑරීමක් හෝ සිහිපත් කිරීමක්වත් නෑ. අපි තොරතුරු සියල්ල හොයාගෙන ගිහින් සොයිලියස් මැන්දිස් අනුස්මරණ පදනම කියලා එකක් අවුරුදු දෙකකට කලින් පිහිටෙව්වා. ඒ වන විටත් මහව නාත්තණ්ඩිය මහජන පුස්තකාලය නම් කරලා තිබුණෙ සොයිලියස් මැන්දිස් කලාකරුවාගේ නමින්. එච්චරමයි මෙතුමා වෙනුවෙන් තිබුණෙ.
අපි එදා හිතා ගත්තා 50 වැනි අනුස්මරණ දිනය වෙනුවෙන් අපි යම්කිසි වැඩපිළිවෙළක් කළ යුතුයි කියලා. මේ ක්‍රියාත්මක වෙන්නෙ ඒ වැඩපිළිවෙළයි.”
කෘතගුණ දැක්වීම අවම කාලයක මෙවන් කාර්යයක් සඳහා උරදීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතරතුර, අප තවදුරටත් විමසා සිටියේ සැප්තැම්බර් 01 වැනිදා ඇගැයුම් උලෙළේ ක්‍රියාකාරීත්වය සිදුවීමට නියමිතව ඇත්තේ කෙලෙසද කියාය.
“එදාට අපි එතුමා ම හදපු විශේෂ පාසලේ දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම එතුමා පාවිච්චි කළ මේසය, පුටුව ඇතුළු භාණ්ඩ එකතුවක් සහිත කුටියක් එදාට විවෘත කිරීමට නියමිතයි. එතුමාගේ විස්තර ඇතුළත් සමරු සංග්‍රහයක් නිකුත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. අපේ අනුස්මරණ පදනම සහ ගමේ පාසලේ විදුහල්පතිතුමා, අන්ධ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කමිටුවක් අප මේ වෙනුවෙන් පත් කරගත්තා.
සොයිලියස් මැන්දිස් කියන්නෙ මේ පළාතට පමණක් වටිනා කියන වෙන්වුණු පුද්ගලයෙක් නොවෙයි. ඔහු විශේෂිත ලකුණක්. අද වන විට විශ්වවිද්‍යාල මට්ටමින් එතුමා ගැන හැදෑරීමක් කරනවා. ඔහු සිතුවම් කලාවේ අනන්‍ය ලක්ෂණ සහිත වූවෙක්. අනෙක් කලාකරුවන්ට සාපේක්ෂව ඔහු ඉතා ඉක්මනින් තමන්ගේ කලාවේ පරිපාකය ළඟා කරගත් සිත්තරෙක්”
ඒ, සොයිලියස් මැන්දිස් අනුස්මරණ කමිටුවේ ප්‍රධාන සංවිධායක ආනන්ද කරුණාරත්න අඩසියවසක සැමරුම් උලෙළ ගැන වැඩිදුරටත් දැක්වූ අදහස් ය.
සොයිලියස් මැන්දිස් නාමය බොහෝ දන මන රැව් දෙන්නට පටන් ගත්තේ කැලණිය විහාරයේ සිතුවම්කරණය නිසා ය. කලාකරුවකුගේ නමක් එකී නිර්මාණය ගැන පැවසූ සැණින් සිහියට එන්නේ නම් හේ ජනකාන්ත නිර්මාණකරුවෙකි. ගෝතමී විහාරය කී පමණින් අප මතකයට නැඟෙන්නේ ජෝර්ජ් කිට් කලාකරුවා ය. බෙල්ලන්විල කියූ පමණින් අප මතකයට නැඟෙන නිර්මාණකරුවා වන්නේ සෝමබන්දු විද්‍යාපති ය. කැලණි විහාර බිතුසිතුවම් අතර බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය, චූලෝදර, මහෝදර යුද්ධය, දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම ඇතුළු බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථා වැනි සිතුවම් නිමැවුම් අතිශයින් කතා බහට හා විචාරයට ලක් වූ ඒවා වෙති.
සොයිලියස් සිත්තරා වර්ණ සකසා ගත්තේ ද විශේෂිත ස්වාභාවික ක්‍රමවේදයකට ය. රත් පැහැය සාදලිංගම් හා ගුරු ගල් අඹරා ගැනීමෙන් ද, කහ පැහැය ගොකටු කිරි හා හිරියල්වලින් ද, නිල් පැහැය නිල් අවරිය ශාකයේ යුෂ භාවිතයෙන් ද හේ සකසා ගත් බව විෂය ප්‍රවීණයෝ සඳහන් කරති. කොළ පැහැය මදටිය කොළ මිරිකා ගත් යුෂ යොදා ගැනීමෙන් ද, කළු පැහැය කොහොල්ලෑ කැකුණ තෙල් සහ හල්දුම්මල එකට ගෙන අඹරා කපුරෙදි කැබලි පුලුස්සා ගත් දැලි සමඟ එකට මිශ්‍රකොට මැටි භාජනයක දමා තවත් මැටි භාජනයකින් වසා මඳ ගින්නේ තැබීමෙන් උඩ බඳුනෙහි රැස්වෙන දැලි භාවිත කරමින් ද, සුදු පැහැය මකුළු මැටි භාවිතයෙන් ද සකසාගෙන තිබේ. වර්ණ සකසා ගැනීමේ පාරිසරික සහයෝගිතාව අප අදටත් මවිත කරවන සුළුය. ඔහු මේ සඳහා යොදා ගත් භාජන ආදිය ද සමහරක් කෞතුක එකතුවේ ඇති බැව් අපට පැවසුවේ ප්‍රධාන සංවිධායක ආනන්ද මහතා ය.
වසර 18ක් තිස්සේ සිතින් හා කයින් ඒකාත්මිකව කැලණිය විහාර සිතුවම්කරණයේ නිරත වූ මේ සිත්තරා මේ මහා කාර්යයේ නියමුවා තමා බැව් සටහන් කර ඇත්තේ පවා විහාරයේ කොනක ඉතා කුඩාවට හා අප්රකටව ය. කැලණිය විහාරයේ ප්‍රධාන බුදු පිළිමය පිටුපස ඇති බිත්තිය සිතුවම් කිරීම සඳහා විදේශික චිත්‍ර ශිල්පියකු කැඳවීමට ගත් තීරණ අබියස සිතින් හඬා වැටුණු මේ අප්‍රමාණ කලාකරුවා යළි කිසිදිනෙක විහාර සිතුවම් කලාවේ නිරත වූයේ නැත.
අමරණීය වන්නට වැඩ කන්දරාවක් කළ යුතු නැත. අමරණීය එක් කාර්යයක් වුවත් එයට ප්‍රමාණවත් ය. සොයිලියස් නාමය අබියස විහාර චිත්‍ර කලාවේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන බොහෝ විචාර ප්‍රතිචාර ගොඩගැසෙද්දී තවත් අටුවා ටීකා අනැවැසි බැව් අවිවාදිත ය. ප්‍රබල සංස්කෘතික දායකත්වයක් ලාංකේය කලා සංස්කෘතික වපසරියට තිළිණ කළ සොයිලියස් මැන්දිස් නාමය, දිනෙන් දින නාමය අමරණීය වන කලාකරුවන්ගේ ගොන්නට වැටෙන්නකි. අඩසියවසක සැමරුම අබියස ඔහු කලා ලොව ප්‍රදීපස්තම්භයක් බැව් අප පවසන්නේ එකී ආස්ථානයේ අනලස් ව පිහිටා ය.
|සුමුදු චතුරාණී ජයවර්ධන