අදත් උදෙන්ම අහන්නට ලැබුනේ විශ්වාස කරන්නට නොහැකි, හරි කණගාටුදායක ආරංචියක්.ඔබට නිවන් සුව සහෝදරයා !
තම ආදරවන්තිය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කල අච්චර දරුණු රෝගයක් ඇයට තිබියදීත් ඇයට මහා ශක්තියක් වූ ඔබත් අද යන්නටම ගිහින්.
එක දවසක් හෝ වැඩියෙන් ඇයව ජීවත් කරන්නට ඔබ දැරූ වෙහෙස සහ ඉතාම දුක්බර කාල වකවානුවක වුව ඇයව සතුටින් තියන්නට ඔබ දැරූ වෙහෙස අනන්තයි.අප්‍රමාණයි .
හැමදාමත් කියනවා වගේම ඇත්තටම හොඳ මිනිස්සුන්ට ආයුෂ හරි අඩුයි. පව්කාර මිනිස්සු තව තවත් පව් එකතු කරගන්නට වැඩි වැඩියෙන් ජීවත් වෙනව.කෙසේ නමුත් ඇය ගිය දිහාවටම ඔබත් අද යන්නටම ගිහින්.
හෂිනි නංගි වෙනුවෙන් ඔබ කැප වුන හැටි වෙලාවකට පුදුමත් හිතෙන තරම්.ගැහැණු ජීවිත වලට වරද්දන්නම මාන බලන පිරිමි ඉන්න ලෝකෙක ඇය වෙනුවෙන් ඔබ කල කැපකිරීම් ගැන ලියන්නට , කියන්නට වචන මදි.
ලෝකෙ බොහෝ වෙලාවට අහන්නට දකින්නට ලැබෙන්නේම ගෑණු හිත් වලට හයියක් වෙන පිරිමි නෙවෙයි.කුමක් හෝ පටු වාසියක් තකා පමණක් ලං වෙන පිරිමි.
ගැහැණියකගේ ‘හීන’ සහ දක්ෂතා උපන්ගෙයිම මරල දාන පිරිමි බහුලයි.එවන් සමාජයක හෂිනිගේ කැමැත්තට ඉඩ දීල ඇය පිටුපසින් යෝධ හෙවණැල්ලක් උනේ ඔබ.
මා දුටු ඉතා පරාර්ථකාමී මනුස්සයෙක් සහෝදරයා ඔබ.ඔබ ආදරය කලේ ඇගේ රූපයටවත් අන් යම් දේකටවත් නොවෙයි.ටිකෙන් ටික ඇගේ රූපය පවා දිරාපත් වෙද්දීත් භාවනාවක් වගේ එය දරාගෙන ඇයට එක දශමෙකින්වත් වෙනසක් නොකර පෙර පුරුදු ආදරයම,ගෞරවයම දුන් ඔබ ට හිස නමා ප්‍රණාමය හැමදාටමත්.
දකින්නට ලැබෙන්නේම ගෑණු හිත් තලා පෙලා රිද්දන පිරිමි. ප්‍රේමය කියන අකුරු තුන ඉස්සරහට දාගෙන , ගෑණු හිත් හිර කරල තමන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කරගන්න වෙර දරන පිරිමි.ඉස්සරහට අඩි සීයක් තියන්න හදනකොට අඩි දාහක් ආපස්සට අදින්න මාන බලන හරි ආත්මාර්ථකාමී පිරිමි.
එහෙව් පිරිමි ඉන්න ලෝකෙක ඇයට ඔබ දුන් හයිය මෙතෙකැයි කියා නිම කල නොහැකියි. ඒ දුන් ශක්තිය ගැන ලියා නිම කල නොහැකියි.
ඒ පිනම ඇති ඔබට සංසාරයේ දිනයක නිවන් දකින්නට.
ඉතිං සුබ ගමන් මිත්‍රයා ! Asela Chanaka Rajapaksa
කෞෂි දිසානායක .











