තනියම සම්මාන උළෙලක් සංවිධානය කරන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.
ඒක තනිකරම සුවිශාල කාර්‍යභාරයක්. මේ සුවිසල් කටයුත්ත තනිවම සංවිධානය කරන අපූරු තාරකාවකි ඈ.
ප්‍රවීණ සිනමා නිළි සනෝජා බිබිලේ….
ඇගේ සම්මාන උළෙල “සිල්වර් ස්ක්‍රීන්”
මෙවරත් එය අති උත්කර්ෂවත් අන්දමින්, එළැඹෙන මැයි 30 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පවත්වන්න මේ වන විට සියලු කටයුතු සූදානම්.
”අවුරුද්දක් පාසාම කරන නිසා ඒක ලොකු ඉවෙන්ට් එකක්.
මේ සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙල සංවිධානය කරන්නේ මම තනිවම, මගේ කණ්ඩායමක් එක්ක එකතු වෙලා.
ඒක හරිම අපහසු කාර්යයක්. මට සමහර වෙලාවට හිතාගන්න බෑ ඇයි මම මේක පටන් ගත්තේ කියලා.
මේකේ බැරෑරුම්කම දැනගත්තේ පටන් ගත්තට පස්සේ. ඉතින් හරිම අමාරුවෙන් අපි කණ්ඩායමක් එකතුවෙලා මේ කාර්යය කරනවා.
අපේ සභාපති සුනිල් ටී.ප්‍රනාන්දු මහතාත් එකතු කරගෙන අපේ නළු නිළියන් හා ගායකයන් කිහිපදෙනෙකු වගේම මේකට ආදරේ කරන පිරිසකුත් එකතු කරගෙන තමයි මේ කාර්තව්‍යය සිදුකරන්නේ.”
70 සිට 75 දක්වා වර්ෂ තුළ ආපු නළු නිළියන්, ගායක ගායිකාවන්, ටෙක්නීෂියන්ස්ලා, මේකප් ආර්ටිස්ට්ලා, කැමරමන්ලා, ADලා, ඩිරෙක්ටර්ස්ලා, ස්ටිල් ෆොටෝග්‍රැෆස්ලා වැනි විවිධ කාණ්ඩවලට අයත් පිරිස් මෙම සම්මාන උළෙලේදී පිදුම් ලැබීමට නියමිතයි.
සනෝජා බිබිලේ කියන හැටියට ඇය මේ කටයුත්ත පටන් අරන් තියෙන්නෙ, 2021 වර්ෂයේ.
එතැන් පටන් ඈ අනුග්‍රාහක භවතුන්ගෙන් සේ ම ඇගේ අතිනුත් විශාල මුදලක් වැය කරගෙනයි මේ සම්මාන උළෙල සංවිධානය කරන්නේ.
”මම මේක පටන් ගත්තේ 2021 වර්ෂයේ ඉඳලා. එදා ඉඳලා බොහොම අමාරුවෙන් මේ සඳහා අනුග්‍රාහක භවතුන් හොයාගෙන ඒ අයගෙන් වගේම මගේ අතිනුත් විශාල මුදලක් වැය කරලා තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ වගේම මගේ යාළුවෝ, සිනමාවේ කලා ශිල්පීන්ට ආදරය කරන අයත් සහාය වෙනවා. මේ සැරේ අපි රංගන ශිල්පීන් විසිහත් දෙනකුට උපහාර පුදන්නට සූදානම් කරලා තියෙන්නේ. ඒ විසිහත් දෙනාටම මූල්‍ය ආධාරත් අපි ලබාදෙනවා.”
ඇය මෙවන් කටයුත්තක් සංවිධානය කිරීම පිටුපස සුවිශේෂී කතාවක් තියෙනවා…
”මේ උළෙල කරන්නේ 1950 දශකයේ හිටපු සුමිත් බිබිලේ මගේ පියාගේ සංකල්පයකට අනුවයි. තාත්තා මැරෙන්න කාලෙකට ඉස්සෙල්ලා ඉඳලා කිය කිය හිටපු දෙයක් මේක. මැරෙන්න මොහොතකට පෙරත් ඒ ඉල්ලීම කළා. ඒ කරපු ඉල්ලීම තමයි අද දුව විසින් මේ ඉෂ්ට කරන්නේ.”
උපුටාගැනීම් : දිවයින | පාරමී කෞෂිකා
