Raigam Tele’es වේදිකාවේ ජය අහිමි වූවත් හදවත දිනාගත් යුරේනිගේ සංවේදී සටහන…
Raigam Tele’es සම්මාන උළෙලේ “හොඳම නිළිය” සඳහා නිර්දේශ අතරට පැමිණීමට යුරේනි නොෂිකා සමත් වුණා. ඇය මෙම ගෞරවය ලබාගත්තේ ස්වර්ණාවාහිනිය ඔස්සේ විකාශය වූ “Recondition Kella” ටෙලි නාට්‍යයේ ‘දිනූ’ චරිතයට ලබාදුන් බලවත් සහ හැඟීම්බර රංගනය නිසායි.
කෙසේ වෙතත්, මෙවර හොඳම නිළිය සම්මානය හිමි වුණේ “සසංකාර” ටෙලි නාට්‍යයේ ග්‍රේස් චරිතය නිරූපණය කළ අප්සරා ගුණතිලකටයි. ඒත් සම්මානය අහිමි වුණත්, යුරේනිගේ ප්‍රතිචාරය නම් හැමෝගෙම අවධානය දිනාගත්තා.
ඇය තම ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනේ ඇය සඳහන් කරන්නේ, මේ නාමයෝජනාව තමන්ට ලැබීම ගැන ඇය ඉතාමත් නිහතමානීව සතුටු වන බවයි. තම හදවතට සමීපම චරිතයක් වෙනුවෙන් ලැබුණු මේ පිළිගැනීම සඳහා සංවිධායක මණ්ඩලය සහ විනිශ්චය මණ්ඩලයට ඇය හෘදයාංගම ස්තුතිය පළ කළා.
එමෙන්ම සම්මානය දිනාගත් අප්සරා ගුණතිලක වෙත උණුසුම් සුබපැතුම් එක් කරමින්, “මෙය ඔබේ දීප්තිමත් ගමනක ආරම්භයක් පමණයි” කියලා ඇය සදහන් කර තිබුණා. අනෙකුත් සියලුම සම්මානලාභීන්ටත් ඇය සුබපැතුම් එක් කරලා තිබුණා.
“Recondition Kella” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ අනුර එකනායකට, ඒ චරිතය ජීවමාන කරගන්න විශ්වාසය තැබූ එකට ඇය විශේෂ ස්තුතියක් දක්වලා තිබුණා. ඒ වගේම ඒ නිර්මාණයට දායක වූ සියලු දෙනාටත්, සහය දුන් සියලුම කණ්ඩායම් සාමාජිකයින්ටත් ඇය කෘතඥතාව පළ කළා.
තවද, ශ්‍රී ලංකාවෙන් සහ ලෝකය පුරා සිටින තම රසිකයන්ටත් ඇය විශේෂයෙන්ම ස්තුති කරමින්, ඔවුන්ගේ ආදරය තමන්ට ලැබෙන විශාල ශක්තියක් බවත් සඳහන් කළා.
ඇගේ සටහනේ වැඩිම අවධානය දිනාගත් කොටස වුණේ ජීවිතය ගැන ඇය දුන්න පණිවිඩයයි. “හිත් රිදවීම්, ප්‍රතික්ෂේප වීම්, අහිමි වීම් ජීවිතේ එනවා. ඒත් ජීවිතේ දිනන ගමන නවත්තන්න එපා” කියලා ඇය කියනවා.
අවසානයේ, දෙවියන් වහන්සේටත් සහ විශ්වයටත් ස්තුතිවන්ත වෙමින් ඇයගේ සටහන නිමා වෙනවා.
සම්මානය අහිමි වුණත්, යුරේනිගේ මේ නිහතමානී සහ ශක්තිමත් ප්‍රතිචාරය ඇයගේ සැබෑ ජයග්‍රහණය කියලා කියන්න පුළුවන් නේද?












