ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ඝාතනය කිරීමේ ප්‍රධාන සැලසුම්කාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි, නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයට අයත් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී පෙරේදා (13) දා රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාරිය සමග පාතාල සාමාජිකයන් ඇතුළු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා යන මහත්වරුන් විසින් දින තුනක කාලයක් නේපාලයේ දියත් කළ මෙම විශේෂ ක්‍රියාන්විතය සාර්ථක කරගෙන තිබේ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ, නේපාල පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ ද සහාය ඇතිව මෙම මෙහෙයුම ඉකුත් සෙනසුරාදා (11) සිට ක්‍රියාත්මක කෙරිණි.
කෙහෙල්බද්දර පද්මේගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටින ස්ථානය පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් මෙම වැටලීම සැලසුම් කර ඇත. ඒ අනුව කත්මන්දු නගරයට ගිය ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන්, නේපාල පොලිසිය හමුවී මෙහෙයුම සාකච්ඡා කිරීමෙන් පසු, ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි සුපිරි නිවසටම යාබද නිවසේ නවාතැන් ගනිමින් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙහෙයුම ආරම්භ කළ රොහාන් ඕලුගල මහතා පළමුවෙන්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දිගේ සහායකයා වූ කෙනඩි බස්තියන්පිල්ලේ හෙවත් ‘ජේ.කේ. බායි’ නැමැත්තාය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඉෂාරා සිටි ස්ථානය නිශ්චිතව තහවුරු කර ගැනීමෙන් පසු, නේපාල පොලිසියේ සහාය ද ඇතිව එම නිවස වටලා ඇය අත්අඩංගුවට ගෙන තිබේ. තමා අත්අඩංගුවට ගැනීමට පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයා දුටු සැණින් තුෂ්නිම්භූත වූ සැකකාරිය “ඕලුගල සර්!” යැයි පවසා ඇති අතර, “ආ… කෙල්ලෙ කොහොමද?” යනුවෙන් ඔහු ඊට පිළිතුරු දී ඇත.
තමා කවදා හෝ ඕලුගල මහතා පැමිණ අත්අඩංගුවට ගනු ඇතැයි සිතු බව ඉෂාරා සෙව්වන්දි එහිදී පවසා තිබේ. මාස හතක් තිස්සේ නේපාලයේ සිර වී සිටීමෙන් තමාට ඇති වී තිබූ බවත්, මෙසේ සිටිනවාට වඩා ලංකාවට යෑම සැපයක් යැයි සිතුණ ද, පොලිසියට හසු වේ යැයි බියෙන් නේපාලයේම රැඳී සිටි බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ජේ.කේ. බායි විසින් ඉෂාරා සෙව්වන්දිව බෝට්ටුවක් මගින් ඉන්දියාවට රැගෙන ගොස්, සති දෙකකට ආසන්න කාලයක් එහි රඳවා තබාගෙන, පසුව දින හයක දීර්ඝ දුම්රිය ගමනකින් නේපාලයට රැගෙන ගොස් ඇති බවය. නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ අපරාධකරුවන් වෙනත් රටවලට පැන්නවීම සිය රැකියාව කරගත් ජේ.කේ. බායි, සිය සබඳතා උපයෝගී කරගනිමින් දේශ සීමා හරහා ඇයව නේපාලයට ගෙනැවිත්, කත්මන්දු නුවරින් කුලී නිවසක් ද ලබා දී තිබේ.
ගණේමුල්ලේ සංජීව ඝාතනයෙන් පසු දින කිහිපයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක සැඟවී සිටි ඉෂාරා සෙව්වන්දි, පසුව මතුගම ප්‍රදේශයටත් එතැනින් මිද්දෙණියටත් පලා ගොස් ඇත. ජේ. කේ. බායි නැමැත්තා ඇය හා එක් වී ඇත්තේ මිද්දෙණියේදී වන අතර, එහිදී සැඟවී සිටීමට සම්පත් මනම්පේරි නමැති අපරාධකරුගේ සහාය ලැබුණේ ද යන්න ගැන පොලිසියට සැකයක් මතු වී තිබේ.
ඉෂාරා සෙව්වන්දිගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් දෙදෙනකු සහ කාන්තාවක් පිළිබඳ තොරතුරු හෙළි කරගෙන ඇත. ඒ අනුව, කත්මන්දු නගරයේ වෙනත් ස්ථානයක සැඟවී සිටි එම තිදෙනා ද අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ ප්‍රධානියකු වන ‘ගම්පහ බබා’ නමැත්තා, තමන්ව අත්අඩංගුවෙන් මුදා හැරීම සඳහා සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට රුපියල් ලක්ෂ 50ක අල්ලසක් ලබා දීමට උත්සාහ කර ඇති නමුත්, එම යෝජනාව ප්‍රතික්ෂේප කළ ඒ මහතා එම අපරාධකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අනෙක් කාන්තාව චාවකච්චේරියේ පදිංචි තක්ෂි නැමැත්තියක් බවත්, ඇය ඉෂාරා සෙව්වන්දිගේ රූපයට බෙහෙවින් සමාන තැනැත්තියක් බවත් හඳුනාගෙන තිබේ.
හෙළි වී ඇත්තේ මෙම දෙමළ කාන්තාවගේ දත්ත සහ ඡායාරූප යොදා ගනිමින් ඉෂාරා සෙව්වන්දි නමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර, ඒ ඔස්සේ ඇයව යුරෝපයට පන්නා යැවීමට සැලසුම් කර තිබූ බවය. කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත ජේ.කේ. බායි විසින් මෙම සැලසුම සඳහා සහාය ලබා දී ඇති අතර, පද්මේ ඇතුළු කල්ලිය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් වීමත් සමග එම සැලසුම් ව්‍යර්ථ වී ගොස් ඇත.
ඉකුත් පෙබරවාරි 19 වැනිදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ කෙහෙල්බද්දර පද්මේගේ නියෝගයක් මතය. පද්මේගේ කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස සැලකෙන හිටපු කොමාන්ඩෝ සෙබළෙකු වන කොමාන්ඩෝ සලිඳු විසින් නීතිඥවරයකුගේ වෙස් ගෙන අධිකරණ ශාලාවට පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර තිබිණි.
මෙම ඝාතනයේ මෙරට මෙහෙයුම්කාරිය ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇති අතර, ඇයද නීතිඥවරියක ලෙස වෙස් වලාගෙන අධිකරණයට පැමිණ සිට ඇත. සති කිහිපයක් තිස්සේ කොමාන්ඩෝ සලිඳු සමග එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බවට විමර්ශනවලදී හෙළි විය. ඝාතනයෙන් පසු ඉන්දියාවට පැන යෑමට මන්නාරම බලා වෑන් රථයකින් යමින් සිටි කොමාන්ඩෝ සලිඳු, පුත්තලම පෑලවිය ප්‍රදේශයේදී පොලිසියට කොටු වුව ද, ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැත.
සංජීව ඝාතනයෙන් දින 17කට පසු ඉෂාරා සෙව්වන්දි බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇති බව ‘දිවයින’ පුවත්පත මගින් අනාවරණය කර තිබිණි. මීට පෙර අවස්ථා කිහිපයකදීම, ගණේමුල්ලේ සංජීව අත්තනගල්ල සහ ගම්පහ අධිකරණ වෙත රැගෙන එන අවස්ථාවලදී ඔහු ඝාතනය කිරීමට ද ඉෂාරා සෙව්වන්දි සැලසුම් කර තිබූ බව හෙළි වී ඇත. අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ඇතුළු පිරිස මේ වන විට නේපාල පොලිසිය භාරයේ රඳවා සිටී.