අද ඒ සරසවි බිමම අඳුරු වෙලා.
රටම වෙලාගත් ගංවතුර උවදුරත් එක්ක පේරාදෙණිය සරසවිය ගැන අහන්න දකින්න ලැබුණේ සංවේදී කතාවක්.
සුන්දර මතකවලින් පිරුණු තැන් ගොඩක් මඩ වතුරෙන් වැසී යද්දී එක් නේවාසිකාගාර කිහිපයක් මේ උවදුරට යට වුණේ නැහැ. මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්.
ආපදාවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු නේවාසිකාගාර විසි දෙකෙන් දොළහකට කිසිදු හානියක් සිදු නොවූ බවත් එම දොළහම සාදා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් ප්‍රකාශ කරනවා .
එම නේවාසිකාගාර දොළහම බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් මීට වසර 80කට පමණ පෙර ඉදිකර ඇති බවත් ඒවා නියමිත ප්‍රමිතියට අනුව සහ ජලය බැස යන කාණු පද්ධතියක් සහිතව ඉදි කර ඇති බවත් විශේෂයෙන්ම අඩි 20කට පමණ උසින් යුතු භූමියක එම ගොඩනැගිලි ඉදිකර ඇත්තේ කිසිදු ආකාරයෙන් මහවැලි ගඟ පිටාර ගියහොත් කිසිදු හානියක් සිදු නොවන ආකාරයට බවද උපකුලපතිවරයා පෙන්වා දෙනවා.
1957 සහ 1978 යන වර්ෂවලදී ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයන් හේතුවෙන්ද පේරාදෙණිය සරසවියේ මෙම නේවාසිගාගාර දොළහට කිසිදු හානියක් සිදු නොවූ බවද උපකුලපතිවරයා සඳහන් කරනවා.
නමුත් ඉන් අනතුරුව ඉදිකරන ලද සිසු නේවාසිකාගාර 10ටම ගංවතුරෙන් තර්ජන එල්ල වන බවත් මෙවර ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය ද එම නේවාසිකාගාර වලට බලපෑ බවත් උපකුලපතිවරයා ප්‍රකාශ කරනවා.
සරසවි මැදුර සිසුවියන්ගේ නේවාසිකාගාරයේ බිම් මහලට මෙවර ගංවතුරෙන් දැඩි අලාභ හානි සිදුවූ අතර එහි තිබූ සියලුම ගෘහ භාණ්ඩ ඇතුළු සියලුම භාණ්ඩ විනාශ වූ බවද උපකුලපතිවරයා පෙන්වා දෙනවා.
මෙම නේවාසිකාගාරය දැනට පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවත් එහි ගෘහභාණ්ඩ ලබාගැනීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ද බලාපොරොත්තු වන බවත් ඒ සඳහා දැනටමත් පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකු ඉදිරිපත් වී ඇති බවත් උපකුලපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.












