”මට මේ ගීතයේ රූප රාමුවල පෙනී සිටීමට ලැබීම ගැන සතුටුයි” – චන්ද්‍රලේඛා පෙරේරා

”මට මේ ගීතයේ රූප රාමුවල පෙනී සිටීමට ලැබීම ගැන සතුටුයි” – චන්ද්‍රලේඛා පෙරේරා

‘චන්ද්‍රලේඛා පෙරේරා’ කියූ සැනින් අපේ මතකයට නැඟෙන්නෙ, ප්‍රවීණ ගායන ශිල්පිනියව. එතනින් එහාට, සංගීත පරපුරක දැවැන්ත සළකුණක් හැටියට.
නමුදු ඈ අපූරු රංගන ශිල්පිනියක් විත්තිය, නව පරපුරේ බොහෝමයක් උදවිය නොදන්නවාට සැක නෑ.
චන්ද්‍රලේඛා පෙරේරා නම් රංගන ශිල්පිනියව යළි මතකයට ගෙනා සොඳුරු නිර්මාණයකි, “ඉතින් මම ඉන්නවා”
ගීතය, ඇයගේම බෑණනුවන්ගෙ. ඒ කියන්නෙ සනුක වික්‍රමසිංහගෙ.
කාලයක් අරන්, සනුක අපට තිළිණ කරන ගීත ‘වෙනම රහක්’
ඒවා ‘ආවා ගියා’ නිර්මාණවලට නොවැටුණේ ඒකයි. සනුකගේ පරණම නිර්මාණයක් මේ දැන් ඇහුවත්, නැවුම් බවින් පරිපූර්ණයි.
‘පෙරවදනක්’ ‘අවසන් සටන’ ‘සරාගයේ’ ‘සංසාර සිහිනයේ’ ‘චාඕ මල්ලි’ ඊට සාක්ෂි.
“ඉතින් මම ඉන්නවා” කියන්නෙත් එවන් අපූරු නිර්මාණයක්.
”සඳේ නුඹ ඉන්නවා
මගේ හද තාරුකා මැදුරේ
සඳේ මට පේනවා
නුඹේ රුව මා හදේ ගැඹරේ
අනේ මං ආදරෙන් නැහැවූ
හදින් රුහිරේ ගලා වැගිරූ
ඉතින් මම ඉන්නවා
අසල්වැසි තාරුකා මඬලේ”
ගීතයේ පද රචනයත්, සංගීතයත් සනුක වික්‍රමසිංහ විසින්.
හඬ, පද, සංගීතය එක්ක මුහුවුණු ගීතයේ රූප රචනයත් අපූරුම එකක්.
ඒ ගැන මේ වෙද්දි සමාජ මාධ්‍යය පුරාම කතාබහක් පටන් අරන්.
“ඉතින් මම ඉන්නවා” රූපරාමු හැඩකරන පිරිවරයි විශේෂ.
ගායනය තුළින්ම අපිට හුරුපුරුදු චන්ද්‍රලේඛා පෙරේරා, සනුකගේ නිර්මාණයෙන් යළි ඈ තුළ ඉන්න රංගන ශිල්පිනියව ප්‍රේක්ෂක හමුවට අරන් එනවා.
ඒ ගැන ඈ, කෙටි සටහනකුත් තබා තිබුණා.
”මට මේ ගීතයේ රූප රාමුවල පෙනී සිටීමට ලැබීම ගැන සතුටුයි. මේ සිංදුවට මම ගොඩාක් ආසයි.
පුතාට මෙවැනි තවත් ගීත නිර්මාණ කිරීමට ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා.”
සනුක කියන විදියට චන්ද්‍රලේඛා පෙරේරා මේ ගීතයට විශේෂ කැමැත්තක් දක්වලා.
”මම මේ සිංදුවේ demo එක හදලා මේක ඉවරකරනවද නැද්ද කියලා අතරමං වෙලා හිත හිත ඉද්දි Aunty & Uncle ට සිංදුව අහන්න දුන්න වෙලේ ඉඳන් aunty මේකට ගොඩක් කැමතියි කියලා සිංදුව release කරනකම්ම සෑහෙන motivation එකක් දුන්නා.
පස්සේ ඉතාම හදිස්සියේ video shoot එක plan කරන වෙලේ, මේ චරිතයට රඟපාන්න ආරධනා කළාමත් මුකුත් නොකියා කැමතිවෙලා එදා රෑ flight එකකුත් තියාගෙන උදේ ඉඳන් shoot එකට ඉඳලා උපරිම සහයෝගය දීලා එහෙම්මම airport ගියා.
ඉතින් මුළු දිවයිනේම ආදරය දිනූ ඔබ වැනි ජ්‍යේෂ්ඨ කලාකාරිනියක් මගේ මේ ගීතයේ රූපරාමුවල පෙනීසිටීම, වටිනාකම කියා නිම කළ නොහැකි දෙයකි. ඒ වගේම ඒ ලබාදුන් දිරිගැන්වීමත් ඉතා අගය කොට සළකමි.
තවද දිගු කාලයකට පසුව ඔබ නැවත රංගනයෙන් දායක වන නිර්මාණය, මගේ ගීතය වීමත් ඉමහත් සතුටට කරුණකි”
ගී අහසේ බබළන චන්ද්‍රලේඛා, ටෙලිනාට්‍ය නිළියක් සේ ම සිනමා තාරකාවක් ද වෙනවා.
ඒ මතකය යළි අවදි කරවන්නකි, “ඉතින් මම ඉන්නවා”
ඇය සිනමාවට පිවිසෙන්නෙ, “යළි හමුවෙන්නයි” චිත්‍රපටයේ ගී ගයමින්. එහි ඇයගේ රංගන දායකත්වය සුළු පෙනී සිටීමකට සීමා වූවක්.
“ආදරයේ මන්දිරේ” නම් එහි ඈ ගැයූ ගීතය වෙනුවෙන් එම වසරේ හොඳම ගායිකාව ලෙස සරසවිය සම්මානය ද ඇය දිනාගන්නවා.
ඉන්පසුව “වැඩ බැරි නම් වැඩක් නෑ” “දෑසේ මල් පිපිලා” “තණ්හා ආශා” “සංසාරේ” “සහරාවේ සිහිනය” සහ “පොරොන්දුව” වැනි චිත්‍රපට කිහිපයකටම ඇය සිය රංගන දායකත්වය සපයා තිබෙනවා.
චන්ද්‍රලේඛා පෙරේරාගේ ටෙලිනාට්‍ය රංගන ගමන හරි විශේෂ වූවක්.
ලාංකේය ටෙලි නාට්‍ය වංශ කතාවේ, ප්‍රථම සංගීතමය ටෙලි නාට්‍යය වන “රේඛා” අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ සිනමාවේදී ඩී.බී. නිහාල්සිංහ එහි රංගනයට චන්ද්‍රලේඛාව තෝරාගෙන තිබෙනවා.
එහි ඉතා සුන්දර ගීත රාශියක් අඩංගුයි. ගීත රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින්. සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ.
රේඛා හි චන්ද්‍රලේඛා පෙරේරාගේ චරිතය ගායිකාවක්.
අපේ කතාබහට හේතු කාරණා වුණේ, සනුකගෙ නවතම ගීත නිර්මාණය.
එහි රූපරාමු හැඩකරන අනෙක් ප්‍රධාන චරිත ද්විත්වය තමයි රංගන ශිල්පි ධනුෂ්ක ඩයස් සහ කුෂේන්‍යා ෆොන්සේකා.
කුෂේන්‍යා ෆොන්සේකා කියන්නෙ, අභාවප්‍රාප්ත නිළි රැජින මාලිනියගේ පරපුරේ අනාගතය.
කුඩා කාලයේ පටන්ම සිනමාව හුරුපුරුදු ඇය, මේ ගීත රූප රචනාව තුළ කැපී පෙනෙන රංගනයක නියැලෙනවා.

channel e

Local Gossip