කලා ලොවේ තරු ආදර කතා අතර ප්‍රියංකර – දිල්හානි ආදර කතාව හරි සුවිශේෂී ආදර කතාවක්.
ඔවුන්ගේ ප්‍රේම වෘතාන්තයට ප්‍රිය කරන්නවුන් සෑහෙන්න.
මේ සටහන ඔවුන් වෙනුවෙන්…
තාත්තාගේ ආදරේ මහ සාගරේ තරම් වුණාට, ඒ ආදරේ පිටට පේන එකක් නොවන බවට සාක්ෂි ඕනෑ තරම්.
”ප්‍රියංකර පෙරේරා තාත්තා කෙනෙක් වෙන්නෙ 1995 වසරේදී. ඒ කාලයේ තිබුණු සමාජ ක්‍රමය අපේ තාත්තගෙ කාලයට වඩා හාත්පසින්ම වෙනස්. ඒ කාලයේ අපේ දරුවන්ට තිබුණු අවශ්‍යතාවන් ඉතා සංකීර්ණයි. අපේ දරුවන්ගේ අවශ්‍යතා සපුරන්නට අපි ගොඩක් වෙහෙසිය යුතු සමාජ ක්‍රමයක් ඒ කාලයේ ගොඩනැඟිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් අපි දෙන්නාම ගොඩක් මහන්සි වුණා. මමත් කාර්‍යබහුලයි. ප්‍රියංකරත් කාර්‍යබහුලයි. ප්‍රියංකරගේ වෘත්තීය ජීවිතය නිසාම ඔහු නිවසේ රැඳුණු රාත්‍රීන්ට වඩා නොසිටි රාත්‍රීන් වැඩියි…”
දරුවන්ගේ ජීවිත සැපවත් කරන්න වෙහෙසෙනවා මිස, තිස්සේම දරුවන් ළඟට අරන් හුරතල් කරන්න තාත්තලාට වෙලාවක් නැති තරම්.
දිල්හානි අශෝකමාලා මේ කියන්නෙත් අන්න ඒ කතාව.
මේ ඇය, ප්‍රියංකර පෙරේරා කියන තාත්තාව දැක්ක හැටි…
” මගේ තාත්තාගේ තිබුණු සරල ජීවිතය ප්‍රියංකරගේ ජීවිතයෙන් මම දැක්කේ නෑ. අපේ පුතාව හොඳ පාසලකට යොමු කරන්නට, ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ප්‍රියංකර බොහෝ සෙයින් මහන්සි වුණා. විශ්වවිද්‍යාල ගිහින් උපාධි කිරීම, ගීතයක් ගායනා කළත් එය හොඳින් නිවැරදිව ශ්‍රැතියට ගායනා කිරීම ආදී ලෙස ප්‍රියංකර දරුවන්ගෙන් බොහෝ දේ බලාපොරොත්තු වුණා. ප්‍රියංකර විසින් පුතාට ගීත ගායනා කරන ආකාරය ඉගැන්නුවා. ඒ වගේම පාසල් අධ්‍යාපනයෙන් බාහිර උපකාරක පන්තිවලට යොමු කිරීමට පවා ඔහු වෙහෙසුණා. හේතුව ඉදිරි පරම්පරාවට අපේ කාලයේ අධ්‍යාපන සුදුසුකම්වලින් ඉදිරියට යා නොහැකි බව ප්‍රියංකර නිතරම විශ්වාස කළා. ඉතින් ඇත්තටම අපේ තාත්තා එක්ක සසඳන විට ප්‍රියංකර කියන්නෙ වෙනස් චරිතයක්. ඔහු දරුවන් ගැන හොඳින් සොයා බැලුවා…”
‘ප්‍රියංකර කියන්නෙ දරුවන්ව හුරතල් කරමින් දරුවන්ට ආදරය පෙන්වූ කෙනෙක් නෙවෙයි. දරුවන්ගේ පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලදීත් ප්‍රියංකරගේ සහභාගීත්වය තරමක් අඩුයි. එය ඔහුගේ කාර්‍යබහුලත්වය නිසා සිදුවූ දෙයක්. ප්‍රියංකර හැදුණෙ බෝඩිමක. ඉතින් ළමා කාලයේ ඔහු මවුපියන්ගේ රැකවරණය සෙනෙහස යටතේම හැදුණු කෙනෙක් නෙවෙයි. ඇතැම් විට ඒ නිසා ඔහුට නොලැබුණු රැකවරණය ,සෙනෙහස දරුවන්ට ලබාදීමේ පුරුද්දක් ඔහුට නොතිබුණා දැයි මට සිතෙනවා. එහෙත් දරුවාගේ අවශ්‍යතා ඉටු කරමින් ඔහු දරුවාට ගොඩක් ආදරය කළා. ඒත් අම්මා කෙනෙක් විදිහට දරුවාට දුන්නු සෙනෙහස මම ප්‍රියංකරගෙන් දැක්කේ නෑ. ඔහුට තිබුණේ සැඟවුණු දාරක ප්‍රේමයක් කීවොත් මම නිවැරදියි. දරුවාගේ අවශ්‍යතා ඉටු කරමින් ඔහුව සැපෙන් තියන්නට ප්‍රියංකර කටයුතු කළා. ඇත්තටම අපිට නොලැබුණු බොහෝමයක් සැප සම්පත් අපේ දරුවා භුක්ති වින්දේ ප්‍රියංකරගේ කැපවීම නිසා කීවොත් මම වැරදි නෑ….”
උපුටාගැනීම : මොනරා පුවත්පත
