රණවරා කියන්නේ පුදුම ගුණැති පානයක්..
ඉස්සර ගෙවල්වල තේ වෙනුවට පානය කළා.. ඉතිං ඔයාලා දන්නවද රණවරා මොනතරම් ගුණද කියලා..
ශරීර කාන්තිය ඇති කරන,මුත්‍රාරෝග වලට ගුණ දෙන රණවරා ගැනයි අද කතා කරන්න හදන්නේ… දියවැඩියා රෝගයෙන් පෙලෙන අයටත් රණවරා පංචාංගය ඉතා හොඳ බෙහෙතක්. එනම් රණවරා කොළ, මල්, මුල්, පොතු හා ඇටයි.
මේ සියල්ල එක්ව ගෙන කබලේ බැද කුඩු කර තබා ගෙන, උදේ සවස කෝපි මෙන් සාදා බීමට ගත හැකියි.
මෙබඳු බෙහෙත් දිගු කලක් ගබඩා කර තැබීමෙන් ගුණ හීන වන නිසා වරින් වර අලුත් කළ යුතුයි.
දියවැඩියා රෝගීන්ට රණවරා පංචාංගය – ඉඟිනි ඇට – සුදු හඳුන් – කොතල හිඹුටු- මාදම් පොතු යන ඖෂධ වර්ග කෂාය ලෙස හෝ කබලේ බැද කුඩු කර තබා ගෙන පාවිච්චියට ගන්න පුලුවන් .
රණවරා වල
ඉදිමුම් සුව කරන,
ඇස් පෙනීම වැඩි කරන,
තුවාල සුව කරන,
සමේ කැසීම් දුරු කරන,
කුෂ්ඨ සුව කරන,
ශුක්‍ර ජනනය කරන,
ශරීරයේ වර්ණය ඇති කරන ගුණ පවතිනවා.
ඉදිමුම් ආදියට රණවරා කොළ වණ්ඩුවේ තම්බා බැඳීම ඉතා ගුණදායකයි.
එමෙන්ම උළුක්කුවට සහ තැල්මට රණවරා කොල, සියඹලා කොළ සමග අඹරා බඳින්නත් පුළුවන්.
රසවත් මැල්ලුමක්, ගුණ දෙන බීමක් වගේම ඖෂධයක් ලෙස නොයෙක් ආකාරයෙන් ප්‍රයෝජනයට ගත හැකි ශාකයක් තමයි රණවරා කියන්නේ.
රණවරාවල විද්‍යාත්මක නාමය වන්නේ cassia auriculata..
රණවරා වර්ග දෙකක් තියනවා. නියම රණවරා සහ අනියම් රණවරා යනුවෙනි.
නියම රණවරා කිනිත්තේ මුල දෙසට වන්නට කන් පෙත්තක හැඩය ගත් කුඩා පත්‍ර දෙකක් තියනවා. කොළ තරමක් කුඩායි. මල්ද කුඩායි..
අනියම් රණවරා කොළ කිනිත්තේ පෙර සඳහන් කළ කන් පෙති සමාන පත්‍ර දෙක නැහැ. කොළ තරමක් ලොකුයි. මල් ලොකුයි.
මේ දෙවෙනි වර්ගය ද මැල්ලුම් ලෙසත්, එහි මල් එළවළුවක් ලෙසත් කෑමට ගන්න පුලුවන් .
ලඝු හා රූක්ෂ ගුණැති, කසාය සහ තික්ත රසැති, ශීත වීර්‍යයෙන් යුත් රණවරා මගින් කඵ(සෙම) සහ පිත් දෝෂ සමනය කරනවා.
රණවරා තම්බා ගත් වතුර ශරීරයේ පිත් කෝප ගතිය නසන, ඇඟ සිසිල් කරන හොඳ බිමක්.
රණවරා මල් අලුත් පිට තම්බා ගත් විට මිහිරි රසයක් ඇති වුවත්, කඩා තබා පරණ වූ පුස් සෑදුන රණවරා තම්බා ගත් වතුර බිව නොහැකි තරමට තිත්ත රසයෙන් යුක්ත වෙනවා.
ඖෂධයක් වශයෙන් රණවරා විශේෂයෙන් ගුණ දෙන්නේ මුත්‍රා පද්ධතියේ රෝග වලටයි.
මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමඟ අමතර කොටස් පිටවීම හා කාන්තාවන් ගේ ඇඟ උණු කරවා යාමේ රෝගයටත් රණවරා කොළ මැල්ලුම ත්, රණවරා තම්බා ගත් වතුරත් ඉතාම ගුණයි.
මේ ගුණ ඔබට ලැබෙන්නේ යම් කාලයක් මෙම ඖෂධය පරිභෝජනය කිරීමෙන් පසුයි. රණවරා මල් බීමක් විදියට නිතර පරිභෝජනය කිරීමෙන් ශරීර කාන්තිය ඇතිවෙනවා.
ඉතිං රණවරා පානය කිරීමෙන් ලැබෙන දේවල් පුදුමයි නේද? එක පානයකින් මෙච්චර දේවල්… මේ රණවරා පානය වාසනාව ගෙනත් දෙනවා කියලා කියන්නේ නිකම්ම නෙමේ… ඒ තරම් දිව්‍යමය ගුණ රණවරාවල තියෙනවා…
මෙවැනි බොහෝ ගුණ ඇති රණවරා ශාකයක් ඔබේ ගෙවත්තේත් පහසුවෙන් වගා කරගන්න ඔබට පුළුවන්.
දීඝායු ~ සුවබර දිගු දිවියකට පෙරමග









