Home Uncategorized ඔබත් නිතර වැටීම් තැලීම් බිදීම් වලට ලක් වෙන කෙනෙක් නම් මේ ලිපිය...

ඔබත් නිතර වැටීම් තැලීම් බිදීම් වලට ලක් වෙන කෙනෙක් නම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි..

0
113

වැඩිහිටියන් අතර හදිසි අනතුරු සහ වැටීම් තැලීම් බිඳීම් ඉතාම සුලබයි. වැටෙන එසේත් නත්නම් වටෙන්න යන වෙලාවට අපි බොහෝ විට අපේ අත බිම තබා ආරක්ශා වන්නට උත්සාහ දරනවා. මේ නිසා අතේ මැණික් කටුව අසල අස්ථි බිඳීම් එසේත් නැතිනම් “fractures” අපේ වැඩිහිටි පරපුර අතර බොහෝ දුරට දකින්නට ලැබෙනවා.
මෙවැනි අස්ථි බිඳීමක් ඇති වූ විට මැණිකටුව ආශ්‍රිතව තද වේදනාවක් සහ ඉදිමුමක් ඇති වෙනවා. ඒත් සමගම අතේ ඇද වීමක් හෝ මැණික් කටු ආශ්‍රිතව ඇදවීමක් දකින්නත් පුළුවන්. මේ වෙලාවට සමහර රෝගීන් ප්‍රතිකාර නොගෙන දවසකින් දෙකකින් නැවතත් සුවවෙයි කියා සිතනවා.

නමුත් මෙවැනි අවස්ථාවල අස්ථියක් බිඳිලාද නැතිද යන්න ස්ථීරවම දැනගැනීම ඉතාම වැදගත්.හේතුව, අස්ථියක් බිදුනොත් ප්‍රතිකාර කරන්න පහසුම සහ සාර්ථකම වෙලාව මුල් දවස් කිහිපයයි. ඒ නිසා වහාම ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවන්න. එවිට ඒ වෛද්‍යවරයා ඔබව එක්ස් කිරණ (x ray) පරීක්ෂාවකට යොමු කරනවා. මේ එක්ස් කිරණ (x ray) පරීක්ෂාවෙන් අපිට දැනගන්න පුළුවන් ඔබේ අස්ථියක් බිඳිල තියෙනවද නැතිද යන්න. අස්ථියක් බිඳී තිබුනහොත් එහි ඇදවීමක් තිබේද යන්නත් එක්ස් කිරණ පරීක්ෂාවෙන් දැනගත හැකියි.

අස්ථයක් බිඳී තිබුනත් ඇදවීමක් නැතිනම් මැණික්කඩුව ආශ්‍රිත අස්ථිබිදීම් අපි බොහෝ විට ප්ලාස්ටර් ඔෆ් පැරිස් බදාමයක් (plaster of paris) මගින් එහෙමත් නැත්නම් ප්ලාස්ට‍ර් කාස්ට් එකක් (plaster cast) මගින් ප්‍රතිකාර කරනවා. බිඳුණු බොහෝ අස්ථි plaster cast එකකින් නොසොල්වා තිබුණාම එය ස්වභාවිකවම සුව වෙනවා. එනිසා අප කළ යුත්තේ අස්ථිය නිසී ඉරියව්වෙන් එසේත් නැතිනම් හරි කෙලින් තියෙන විදියට සකස් කිරීමයි. එවිට අස්ථිය නිවැරදි ඉරියව්වෙන් තිබුණොත් එය ස්වභාවිකවම සුවවීමට ලක්වෙනවා. නමුත් අස්ථියේ ඇදවීමක් තියෙනවා නම් මේ ඇදය නිවැරදිව සකස් කිරීම වැදගත්. අස්ථිය නැවත සකස් කිරීම සිදුකරන්නේ එක්ස් කිරණ ඡායාරූප(X ray) භාවිතා කරමින්. එවිට අපට ඉතාම ඉහළ නිරවද්‍යතාවයකින් අස්ථි පෙර පරිදිම සකස් කළ හැකියි. අස්ථිය සකස් කළ පසු බොහෝ දුරට ප්ලාස්ටර් ඔෆ් පැරිස් බදාමයක් හෝ වෙනත් ආධාරකයක් මගින් අස්ථිය නිසි ඉරියව්වෙන් පවත්වා ගනු ලබනවා. සති කිහිපයකට පසු මෙම ප්ලාස්රෆ් පැරිස් කාස්ට් එක එහෙමත් නැත්නම් ප්ලාස්ටරය ඉවත් කර අත සහ මැණික් කටුව නැවත සාමාන්‍ය පරිදි භාවිත කිරීමට උපදෙස් ලබා දෙනවා.

අස්ථි අනවශ්‍ය ලෙස දිගු කාලයක් ප්ලාස්ටර් දමා නොසෙල්වා තබන්නේ නෑ. වෛද්‍යවරයාගේ අරමුණ වන්නේ ඔබව හැකි ඉක්මනින් ඔබේ එදිනෙදා දින චර්යාවට සහ වැඩකටයුතුවලට යොමු කිරීමයි. අනෙත් වැදගත් කාරණාව අස්ථියක් බිඳී තිබුණත් ඇදවීමක් නැත්නම් බොහෝ දුරට ශල්‍යකර්මයක් අවශ්‍ය වන්නේ නැහැ. ශල්‍යකර්මයක් අවශ්‍ය සුළුතරයක් රෝගීන්ට එය පළමු දින කිහිපයේම කිරීම මගින් ඔබේ අත ඉතාම ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත්කරගත හැකියි. මුල් අවධියේම ප්‍රතිකාර ලබා ගැනීම මගින් ශල්‍ය කර්මයක අවදානම මගහැර ගන්නත් පිළිවන්.

මෙවැනි අස්ථි බිඳීම් වලට ප්‍රතිකාර ලබා නොගත් රෝගීන් සිටිනවා. මාස ගණනකට පසු මෙවැනි රෝගීන් අතේ දිගින් දිගටම පවතින ඇදයක්, එසේත් නැති නම් අත භාවිත කිරීමේ හෝ හැරවීමේ ගැටළුවක් හෝ අතේ තද ස්වභාවයක් සහ වේදනාවක් සමග රෝහලට පැමිණෙනවා. මෙවැනි රෝගීන්ට බොහෝ දුරට සිදුව ඇත්තේ මැණික් කටුව ආශ්‍රිත අස්ථිය ඇදට සුව වී තිබීමයි . මෙවැනි අවස්ථාවල ශල්‍යකර්මයක් මගින් අස්ථිය නැවත සකස් කිරීමක් සිදුවනවා. ඒනිසා මෙබඳු සංකූලතා මගහරවා ගනිමේ හොඳම ක්‍රමය හැකි ඉක්මණින් අස්ථි බිඳීම් වලට ප්‍රතිකාර ලබා ගැනීමයි. අස්ථි බිඳීමක් සිදු වී ඇතැයි සැක කෙරෙනවා නම් වහාම ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ ළඟම රෝහලේ හදිසි අනතුරු අංශයට යොමු වන්න.

©වෛද්‍ය මෙලනි අමරසූරිය
විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ

Previous articleඋදරාබාධ ඇතුලු රෝග රැසක් සුව කල හැකි ගැට තුඹ සත්කාරය ගැන ඇහුවොත් ඔබත් පුදුම වේවී.
Next articleතරබාරුව අතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරය.
error: Content is protected !!
Verified by MonsterInsights