Home දේශිය පුවත් වීඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් “මොකුත් කළේ නැහැ නේද” අහනවා. වීඩියෝ දැම්මොත් “වීඩියෝ...

වීඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් “මොකුත් කළේ නැහැ නේද” අහනවා. වීඩියෝ දැම්මොත් “වීඩියෝ දැම්මේ ඇයි” අහනවා.” – ප්‍රශ්න සේරටම, මුතුගල සර්ගෙන් උත්තර |

0
116

මෑත ඉතිහාසයේ මෙරටට බලපෑ ඛේදනීයම ස්වභාවික ව්‍යසනයට, රටක් විදියට පසුගිය දා අප මුහුණ දුන්නා.

තවමත් එහි අඳුරු මතක එහෙමමයි.

අවතැන් කඳවුරුවල දිවි ගෙවන්නන්, තම ආදරණීයන් නොමැතිව ළතැවෙන ජීවිත, දේපළ අහිමිව සුසුම් හෙළන ජීවිත මේ මොහොත වනවිටත් දහස් ගණනින් මේ පුංචි රටේ හුස්ම ගන්නවා.

එවන් මිනිසුන්ට පිළිසරණක් වීමට පෙරට ආ පිරිස් බොහෝයි.

ඒ අතර, සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිත කිහිපයක් ම දක්නට ලැබුණා.

ප්‍රවීණ දේශක ‘දිනේෂ් මුතුගල’ කියන්නෙත් එවන් සුවිශේෂී චරිතයක්.

පිහිටක් අවැසි කාටත් සරණක් වුණු ඔහු, ඊයේ පුද්ගලික ගුවන්යානයක් මගින් කොත්මලේ ප්‍රදෙ‍්ශයට ගුවනින් ආධාර ගෙන ගිය වීඩියෝවක් සමාජ මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වෙන්න ගත්තා.

ඒ ඔහු කළ කාර්යය අගය කරමින් සේ ම, ඊට විවේචන ද එල්ල කරමින්.

බොහෝමයක් පිරිස් හට මේ කටයුත්ත හා සම්බන්ධව ගැටළු රැසක් පැනනැඟී තිබුණු සෙයක් ද සමාජ මාධ්‍ය සටහන් තුළින් දක්නට ලැබුණා.

ඒ සියල්ලට දිනේෂ් මුතුගල එහෙමත් නැත්නම් කාගෙත් ආදරය දිනූ ‘මුතුගල සර්’ සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ දීර්ඝ පිළිතුරු සටහනක් තබා තිබෙනවා.

උපුටාගැනීමයි,

”හෙලිකොප්ටරයෙන් ගොස් ආධාර දීම සම්බන්ධ ගැටළුවලට පිළිතුරු..!

👉 හෙලිකොප්ටර් එකෙන් බඩු බෙදන්න ගියේ ඇයි?
අදාළ තැන් වලට අපි සතු වාහන වලින් යාගත නොහැකි නිසාත්, ඖෂධ වැනි ඉක්මන් අවශ්‍යතා තිබූ නිසාත් ය. එබැවින් ප්‍රමාදය වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිතා කළෙමු.

👉 පොඩි හෙලිකොප්ටර් යානයක ගියේ ඇයි?
ඊට පෙර යානයක් අනතුරට ලක්වූ නිසා, එම මොහොතේ අනතුරුදායක පැති වලට ලොකු යානා ගොඩබැස්සවීම සඳහා අසීරුතා තිබුනි. (පෞද්ගලික යානා නිසා). මුදල් ගෙවා වෙන් කරවාගැනීම සඳහා පවා යානා නොතිබුණි. ඒවාද අත්‍යාවශ්‍ය සහන කටයුතු සඳහා භාවිතා කර තිබුණි. එබැවින් පොඩි යානයක් යොදාගත්තෙමු.

👉 බඩු පොඩ්ඩයිද අරන් ගියේ?
එකවර රැගෙන ගියේ 130kg ප්‍රමාණයක්. නැවත නැවත බඩු පටවා කීප වතාවක් විවිධ ප්‍රදේශ වලට රැගෙන ගියා. විඩියෝවේ අන්තර්ගත වන්නේ එක් ප්‍රදේශයක් පමණයි.

👉 මොනවද බෙදුවේ?
ක්ෂණික ආහාර, බිස්කට්, අත්‍යවශ්‍ය ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී දේවල්. ඖෂධ වල ලොකු බරක් නොවන නිසා බොහෝ ගෙන යා හැකි උනා.

👉 කාටවත් යන්න බැරිනම් ආමි එකයි අනිත් අයයි ගියෙ කොහොමද?
ඒක ඔවුන්ගෙන් ඇසිය යුතු එකක්. අනික කාටවත් යන්න බැහැ කියන්නේ මිනිසුන් නැහැ කියන එක නෙවෙයි. ඔවුන් දින ගණනක් එහි සිටින අය. එය ඔවුන්ගෙන් අසන්න. මා දන්නා තරමින් බයිසිකල් වලට සහ පොඩි වාහන වලට යා හැකි මාවත් තියෙනවා. නමුත් ඒවායේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය අසීරුයි. හැකි උනත් ඖෂධ වල එහෙම හිගයක් තියෙනවා.

👉 කාටවත් යන්න බැරිනම් ඔබේ වාහන ගියේ කොහොමද?
ඒ වාහන ආවේ නාරම්මලට. ඒ තමයි හෙලිකොප්ටරයට බඩු පටවන අවස්ථාව.

👉 විඩියෝ කළේ ඇයි?
විඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් “මොකුත් කලේ නැහැ නේද” කියා අසනවා. විඩියෝ දැම්මොත් “විඩියෝ දැම්මේ ඇයි” කියා අසනවා. එය ඇතැමුන්ගේ මානසික ගැටළුවක්. එය තනි තනිව විසඳා ගත යුතුයි.

👉 වීඩියෝවට සින්දුවක් දැම්මේ ඇයි?
නිකන්ම විඩියෝවක් පල කරනවාට වඩා පසුබිම් ගායනයක් හෝ සංගීතයක් දමා පළකිරීම උචිතයි. එයට අකමැති නම් ශබ්ද ක්‍රියා විරහිත කර අසන්න.

👉 විඩියෝව වයිරල් කළේ ඇයි?
අපි කළේ විඩියෝව සමාජ මාධ්‍යයේ අපේ පුද්ගලික පිටුවේ පලකරපු එක. වයිරල් උනා කියා කියනවානම් එය කළේ අපි නොවේ. එය කළේ විඩියෝව නැරඹූ අය. අපි කිසිම තැනක මුදල් ගෙවා වයිරල් කර නැහැ.

👉 හෙලිකොප්ටරයට ගිය වියදමෙන් බඩු බෙදන්න තිබුනා නේද?
අපි ලක්ෂ ගණන් මේ පළාත්වල අයට ගොඩබිමින් බඩු බෙදනවා දැන් දවස් ගණනක් තිස්සේ. එහෙමත් බඩු බෙදන අතරේ තමයි ඔහොමත් කළේ. ඇතැම් පැති වලට අපි කොපමණ බඩු බෙදුවත් නොලැබෙන පැති තිබෙන නිසා ඒ සඳහා ගුවන් යානයක උදව්ව ගත යුතුම වෙනවා.

👉 ගමේ අයට අත වැනුවේ ඇයි?
ගමනක් යන්න කලින් “ගිහින් එන්නම්” කියා යන්න පුරුද්දක් අපිට තියෙනවා. එතැන හෙලිකොප්ටරයේ ශබ්දය නිසා “ගිහින් එන්නම්” කීවාට ඇසෙන්නේ නැහැ. අත වනා යානයට ගොඩඋනේත්, යානයේ යද්දී අත වැනුවේත් ඒ නිසයි.

මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා.
ඒ අවස්ථාව අහුරන්න එපා.
තියෙන විදියට දන් දෙන්න.
දෙන අයට දෙන්න ⁣ඉඩ දෙන්න.
මිනිස්සු තමන්ට පුළුවන් විදියටයි පුළුවන් දේ කරන්නේ.
එයට ඉඩදෙන්න. ❤️

– දිනේෂ් මුතුගල”
#ChannelE

Previous articleරත්තරං ගන්න බලාගෙන ඉන්න අයට රත්තරං ගැන අද ඇසෙන සුභ ආරංචිය මෙන්න.
Next articleනොසිතූ නිමේෂයක ගමක් හඬවමින් අවසන් ගමන් ගිය තුල්හිරියේ පවුල.
error: Content is protected !!
Verified by MonsterInsights