මේක අපේ රටේ හැමෝටම වගේම විශේෂයෙන්ම තමන්ගේ දත් දෙපළ ගැන උනන්දු වෙන අයට වැදගත් ආරංචියක්.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන විදිහට, රටක ජනතාවගේ මුඛ සෞඛ්‍යය කොහොමද කියලා දැනගන්න අවම වශයෙන් වසර 10කට වරක්වත් ලොකු සමීක්ෂණයක් කරන්න ඕනේ. ඒ නිර්දේශයට අනුව ශ්‍රී ලංකාවේ 5 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය එළඹෙන මාර්තු 10 වැනිදා ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා..මේක නිකම්ම නිකම් දත්ත එකතු කිරීමක් නෙවෙයි. මෙන්න මේ විදිහටයි වැඩේ වෙන්නේ… මාර්තු 10 ආරම්භ වෙලා ලබන නොවැම්බර් මාසය වෙනකම්ම දිවයින පුරාම මේ වැඩේ සිද්ධ වෙනවා. පාසල් යන පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටි වයස් කාණ්ඩ දක්වා හැමෝම මේකට ඇතුළත්. ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වෙන විදිහටයි මේ දත්ත රැස් කරන්නේ.
අපේ රටේ මිනිස්සුන්ගේ වත්මන් මුඛ සෞඛ්‍ය තත්ත්වය මොන වගේද? ඉස්සරහට එන්න පුළුවන් ලෙඩ රෝග මොනවාද? ඒවට ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවාද? කියන එක ගැන විද්‍යාත්මක දත්ත පද්ධතියක් හදාගන්න එකයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානම බලාපොරොත්තුව.සරලවම කිව්වොත්, ඉස්සරහට ලාංකිකයන්ගේ හිනාව තවත් ලස්සන කරන්නත්, දත් රෝගවලින් තොර පරපුරක් හදන්නත් මේ සමීක්ෂණයෙන් ලැබෙන දත්ත ලොකු පිටුවහලක් වේවි.
ඉතින් ඔන්න මාර්තු 10 ඉඳලා ඔබේ ප්‍රදේශයටත් මේ නිලධාරීන් එන්න පුළුවන්. ලස්සන හිනාවක රහස රැකගන්න මේ ජාතික කර්තව්‍යයට සහයෝගය දෙන්න අමතක කරන්න එපා












