2025 විශ්ව ශ්‍රී ලංකා රූ රැජින වන ලිහාෂා ලින්ඩ්සේ-වයිට් මෙනෙවියගේ ඔටුන්න සහ ඇඳුමක් බැංකොක් නුවර කුලී රථයක අත්වැරදීමකින් අමතක වී ගොස් තිබූ අතර, ඒවා ඇයට යළිත් සොයා දීමට තායිලන්ත බලධාරීන් සමත්ව තිබේ. මෙම සිදුවීම ඔක්තෝබර් 19 වැනි ඉරිදා දින වාර්තා විය.
පතුම්වන් දිස්ත්‍රික්කයේ සියම් සෙන්ටර් පොයින්ට් ප්‍රදේශය අසලදී තමන් ගමන් ගත් කුලී රථය තුළ සිය ඔටුන්න සහ තද කොළ පැහැති ඇඳුමක් අමතක වූ බව තේරුම් ගත් වහාම ලින්ඩ්සේ-වයිට් මහත්මිය තායිලන්තයේ 1155 සංචාරක සේවා මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇත. පසුව ඇය භාෂා පරිවර්තකයෙකුගේ ද සහාය ඇතිව තායිලන්ත සංචාරක පොලිසිය සමග පතුම්වන් පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය දන්වා තිබේ.
පොලිස් පරීක්ෂණ වලදී CCTV දර්ශන උපයෝගී කරගෙන අදාළ කුලී රථය සහ එහි රියදුරු හඳුනා ගැනීමට බලධාරීන්ට හැකි විය. කෙසේ වෙතත්, පැමිණිල්ල සිදු කර ඇත්තේ සති අන්තයක වීම හේතුවෙන් කුලී රථ සමුපකාර කාර්යාලය වසා දමා තිබූ බැවින්, රියදුරු සමග සම්බන්ධ වීමට හැකිවී ඇත්තේ ඊට පසු දිනයි.
ඒ අනුව, අදාළ කුලී රථ රියදුරා විසින් අමතක වී ගිය භාණ්ඩ ඔක්තෝබර් 20 වැනිදා බැංකොක් දකුණ සංචාරක පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් භාර දී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලිහාෂා ලින්ඩ්සේ-වයිට්, “තායිලන්තය ඉතා ආරක්ෂිත රටක්” බවත්, “සංචාරකයින් පිළිබඳ සැබවින්ම සැලකිලිමත් වන පොලිස් නිලධාරීන්” එහි සේවය කරන බවත් පැවසුවාය. විශ්ව රූ රැජින තරඟය සඳහා මේ වන විට තායිලන්තයේ රැඳී සිටින ඇය, තමන් ලැබූ මෙම යහපත් අත්දැකීම ලොව පුරා බෙදා ගැනීමට අදහස් කරන බවද වැඩිදුරටත් සඳහන් කළාය.
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ ජූලි මස පැවති උත්කර්ෂවත් අවසන් මහා තරගයේදී ලිහාෂා ලින්සේ වයිට්, 2025 වසර සඳහා වන විශ්ව රූ රැජිණ ශ්‍රී ලංකා (Miss Universe Sri Lanka) කිරුළ දිනා ගැනීමට සමත් වූවාය.
ඒ අනුව ඇය නොවැම්බර් මස පවත්වන විශ්ව රූ රැජිණ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරයි.
කොළඹ CIS ජාත්‍යන්තර පාසලින් මෑතකදී අධ්‍යාපනය හමාර කළ සිසුවියක වන ලිහාෂා මෙවැනි තරගයක් නියෝජනය කළ පළමු අවස්ථාව මෙයයි.

