මෙලොවට දරුවන් දායාද කිරීමේ අපූරු සහ ආදරණීය වරම ලබා ඇත්තේ ගැහැනියයි. එකී මාතෘත්වය තුළ ගැබ්ව ඇත්තේ වාසනා ගුණයකි. මන්ද: මෙලොව ජන්මය ලබන සැම ගැහැනියකටම උතුම් මවු පදවිය ලැබිය නොහැකි බැවිනි. නිල්දිය දහරක් සේ ගලාහැලෙන ජීවිත කතාවේ ඇතැම් විටෙක දුෂ්කර වුවද, අභියෝගයන් හමුවේ වුවද දරු සම්පතෙහි ඇති උත්තම බව වටහාගෙන මෙලොවට දරුවන් දායාද කිරීමට ඇතැම් මවුවරු පෙලඹෙති. ඔවුන් මේ පුංචි රටට ආඩම්බරයක් සේම දරුවන් බොහෝ වැදූ මවුවරු ද අදටත් අපේ රටේ වෙසෙති. මේ එවැනි මවුවරුන්ගේ කතාවයි.
ඔක්තෝබර් පළමුවැනිදාට යෙදුණු 2025 ලෝක වැඩිහිටි දින සැමරුම සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ වැඩසටහන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණවියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණ. එහිදී දරුවන් වැඩිම පිරිසක් දැයට දායාද කරන ලද මවුවරුන් පිදීම විශේෂ අවස්ථාවක් විය.
වැඩිහිටි දින උත්සවය හා වැඩිහිටි ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ වැඩසටහනට පැමිණි අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය ඇතුළු පිරිස.
පෙකණිවැලද සමඟ අලුත උපන් කිරිකැටි බිලිඳා මහමඟ, කුණු කානුවල දමා යන යුගයක දාරක ස්නේහය පෙරදැරිව නීරෝගිව දරුවන් හදා වඩා ගැනීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. එය ගැහැනියකට ලැබෙන වරමකි. මොවුහු ද එවැනි වාසනාවන්තියෝය. දරුවන් 20 දෙනකු වදා වැඩිම දරු සම්පත් ලැබූ ශ්‍රීලංකාවේ දැනට සිටින එකම වාසනාවන්තිය ගලේවෙල ප්‍රදේශයේ පදිංචි එච්.ඒ. රොසලින් නෝනා මාතාවය.
“මම විවාහවෙලත් මාස අටක් විතර ඉස්කෝලෙ ගියා. එතකොට මගේ මහත්තයට වයස අවුරුදු විසි දෙකයි. මට පළමුවැනි දරුවා ලැබුණේ අවුරුදු දාහතේදී. ඒ 1957 සැප්තැම්බර් 28 වැනිදා. මගේ විසිවැනි දරුවා හම්බ වුණේ 1982 ජනවාරි 27 වැනිදා. දරුවෝ විසිදෙනාගෙන් දහසය දෙනෙක්ම ගෙදරදී තමයි හම්බ වුණේ. ඒ වැඩ කටයුතුවලට වින්නඹු අම්මා ගොඩක් උදවු කළා.”
වැඩිම දරු සම්පත් ලැබූ මාතාව
“මම විවාහවෙලත් මාස අටක් විතර ඉස්කෝලෙ ගියා. එතකොට මගේ මහත්තයට වයස අවුරුදු විසි දෙකයි. මට පළමුවැනි දරුවා ලැබුණේ අවුරුදු දාහතේදී. ඒ ලොකු දුව. ඒ 1957 සැප්තැම්බර් 28 වැනිදා. මගේ විසිවැනි දරුවා හම්බ වුණේ 1982 ජනවාරි 27 වැනිදා. දරුවෝ විසිදෙනාගෙන් දහසය දෙනෙක්ම ගෙදරදී තමයි හම්බ වුණේ. ඒ වැඩ කටයුතුවලට වින්නඹු අම්මා ගොඩක් උදවු කළා. මගේ මහත්තයා කළේ මුර රස්සාව. මමයි මහත්තයයි දෙන්නම දරුවන්ට ගොඩාක් ආදරේ කරන අය. ඉතිං අපි දරුවෝ විසිදෙනෙක්ම හැදුවා. දරුවෝ හදන්න මටයි මහත්තයටයි ගොඩාක් දුක් විඳින්න සිදු වුණා. දරුවන්ගේ තාත්තා ගේන සොච්චම් පඩිය මදි හින්ද මමත් සමහර වෙලාවට කුලී වැඩ කරලා දරුවන්ව ජීවත් කරන්න මහන්සි වුණා. ඒත් අපි කිසිම දරුවකුට වෙනසක් නොවන විදියට සතුටින් තමයි උස්මහත් කළේ.”
වයස අවුරුදු 84ක් පමණ වන රොසලින් නෝනා මාතාවට කතා කිරීමට තරමක් අපහසු වුවද ඇය අප සමඟ අතීතය මතක් කළේ මහත් සෙනෙහසිනි.
දූවරුන් 7ක් හා පුතුන් 13 දෙනෙකුගෙන් සමන්විත ඒ පවුල තුළ ආදරය, සෙනෙහස අදටත් දෝරේ ගලයි. දරුවන් 20 දෙනෙකු වැදුව ද ඇයගේ සෑම දරුවකුම ඉතාමත් නීරෝගි ලෙස උපත ලැබූවෝ වෙති.
“අපි ගොඩක් සමගියෙන් තමයි ජීවත් වෙන්නේ. අම්මට අවුරුද්දෙන් අවුරුද්ද වගේ බබාලා හම්බ වෙලා තිබෙනවා. මගේ ලොකු අක්කලා දෙන්නා තමයි අපි සේරම බලාගෙන තියෙන්නේ. අදටත් ඒගොල්ලෝ ඒ ගැන හරි ආඩම්බරයෙන් කතා කරනවා. අම්මගේ තාත්තගෙන් දෑවැද්දට අක්කර පහක ඉඩමක් අම්මට දීලා තිබෙනවා. ඒ කටුපොත ඉඩමේ තමයි මමයි අම්මයි දැන් ජීවත් වෙන්නේ. කොල්ලෝ නවයයි කෙල්ලෝ දෙන්නෙකුටයි තමයි ඒ ඉඩම බෙදලා දීලා තියෙන්නේ. ඒ වුණාට අද වෙනකම් ඒ සහෝදරයෝ කිසිම කෙනෙක් එක පොල් ගෙඩියක්වත් ගන්න ඒ ඉඩමට එන්නේ නැහැ. ඒ හින්දා මට අම්මව ජීවත් කරන්න ඇති තරම් ආදායමක් ඉඩමෙන් ලැබෙනවා. අම්මයි තාත්තයි පුළුවන් විදියට අපිව උස්මහත් කළා. ඒ කාලේ හාල් සේරු දෙකක් අරගෙන තාත්තා බස් එකේ එනකොට හාල් දාගෙන ආපු උරේ කඩාගෙන වැටිලා. අපිව බඩගින්නෙ තියන්න බැරි හින්දා තාත්තා බස් එක මැද්දෙම තියාගෙන හාල් ටික අහුලා තියෙනවා. ඒක මතක් වෙනකොට අදටත් මගේ පපුව පිච්චිලා යනවා. තාත්තා ඒ තරම් අපිට ආදරේ කළා. දවසක්වත් අපිව බඩගින්නේ තිබ්බේ නැහැ.” ඒ, රොසලින් නෝනා මාතාවගේ අටවැනි දරුවා වන අනුලාවතී ය.
රොසලින් නෝනා මාතාව සහ ඇයගේ ස්වාමියා ගත කර ඇත්තේ සාර්ථක විවාහක ජීවිතයකි. දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ ‘දරුවන් වැඩියි’ යන්න ඒ මවුපියන් කිසිදා සිතුවේ නැත.
“දැනට දරුවෝ පහළොවයි ජීවතුන් අතර ඉන්නේ. දරුවෝ පස් දෙනෙක් මාස හතෙන් වලිප්පුව හැදිලා නැති වුණා. අදටත් ඒ දරුවෝ හිටිය නම් කියලා මතක් වන වාර අනන්තයි. මගේ විසිවැනි දරුවා හම්බ වෙන්නෙ මාතලේ ඉස්පිරිතාලෙදි. එතැන හිටපු දොස්තර මහත්තයා මට කිවුවා අම්මට තව දරුවෝ හතර දෙනෙක් හදන්න පුළුවන් කියලා. හදනව ද නැද්ද කියලා මගෙන් ඇහැවුවා. මං කිව්වා මම තවත් දරුවෝ හැදුවොත් මට පුළුවන් විදියට මං එයාලව හදාවඩා ගන්නවා කියලා. මගේ මහත්තයා හරිම කරුණාවන්ත මනුස්සයෙක්. අපි කවදාවත් රණ්ඩු දබර වෙලා නැහැ. අපිට ජීවත් වෙන්න ගොඩාක් අඩුපාඩු තිබුණා තමයි. ඒ වුණාට කවදාවත් දරුවන්ගේ තාත්තා දරුවන්ටයි, මටයි අඩුපාඩුවක් කළේ නැහැ. දරුවෝ විසි දෙනෙක් හැදුවට මට කවදාවත් ලෙඩක් තිබුණෙ නැහැ.”
ඇය උදේ හවස බුදුන් වැඳ තම ස්වාමියාට පින් පැමිණවීමට අමතක කරන්නේ නැත. එකී ගුණධර්ම හමුවේ ඇයගේ දරුමුනුපුරරෝ ද ගුණදහමින් හෙබි පුද්ගලයෝ වෙති. අනුලාවතී මහත්මිය මෙසේද පැවසුවාය.
“දැන් කාලෙ වගේ නෙමෙයි ඒ කාලේ, අපි කෑවෙ ගහකොළවල හැදෙන දේවල්. අපේ ගෙදර නිතරම අල, බතල, කොළ ජාති තිබුණා. ඉතින් මගේ දරුවෝ දාහත් දෙනාම ඉතාම නීරෝගි දරුවෝ විදිහට තමයි බිහි කළේ.”
“අපේ පවුලේ ඔක්කොම දරු මුනුපුරෝ 460ක් විතර ඉන්නවා. ඒ ඔක්කොමලා අම්මට හරි ආදරෙයි. මං අම්මව නියමිත වෙලාවට බෙහෙත් ගන්න එක්කගෙන යනවා. මල්ලිලා, අයියලා, අක්කලත් සැරින් සැරේට අම්මට අවශ්‍ය වියහියදම් එවනවා. අම්මට පිනක් දහමක් කරන්න පන්සලට යන්න බැරි වුණාට අම්මා නිතරම රේඩියෝ එකෙන් බණ අහනවා. ඉස්සර අම්මයි තාත්තයි දෙන්නම පින් දහම් වැඩවලට ගොඩක් කැමැති මිනිස්සු. අම්මා දැන් ගොඩක් සතුටින් තමයි මාත් එක්ක ජීවත් වෙන්නේ. දරු මුනුපුරෝ එකට එකතු වුණාම අම්මා ගොඩක් සතුටු වෙනවා. අම්මගෙ ජීවිතේ තියෙනකල් අම්මව ආදරෙන් බලා ගන්නවා.”
දරුවන් 17ක් වැදූ සෝමාවතී මව
අසූ අට හැවිරිදි වියේ පසුවන දරුවන් 17ක් වැදූ සෝමාවතී මව අපට හමුවන්නේ හුරුලුනිකවැව ප්‍රදේශයෙනි. වයස අවුරුදු විසි හතරේදී සිය ප්‍රථම දරුවා බිහි කළ ඇය අවුරුදු එකහමාර, දෙක වැනි වයස් පරතරයක් ඇතිව දරුවන් දාහත් දෙනෙක් වැදූවාය. වර්තමානය වන විට ජීවතුන් අතර සිටින්නේ දරුවන් දහතුන් දෙනෙක් පමණි.
“මට දුවලා අටදෙනයි පුතාලා නව දෙනෙකුයි ඉන්නවා. දරුවන්ගේ තාත්තා නැති වෙලා දැනට අවුරුදු විසිදෙකක් විතර වෙනවා. කුලී වැඩ කරලා නැතිබැරිකම මහමෙරක් තිබෙද්දී තමයි අපි මේ දරුවෝ හැදුවේ. දරුවෝ පස් දෙනෙක්ට මම උසස් පෙළ දක්වාම ඉගැන්නුවා. මට හරි සතුටුයි මම හොඳ දරුවෝ ටිකක් හැදුව හින්දා.” ඒ සෝමාවතී මාතාවයි.
හරිහමන් ආර්ථික තත්ත්වයක් නැතිව දරුවන් දාහත් දෙනෙකු උස්මහත්කර, ඉගැන්වීම හිතන තරම් ලෙහෙසිපහසු කාර්යභාරයක් නොවේ. එහෙත් ඇය සිය ස්වාමිපුරුෂයා සමඟ එක් වී එම අභියෝගය ජයග්‍රහණය කළාය. පිරිමි දරුවන්ගෙන් බාලම පුතු මෙම ලෝක වැඩිහිටි දින සැමරුම් උත්සවයට පැමිණ අප සමග පැවසූයේ මෙවැන්නකි.
“අම්මා අපිව හදන්න ගොඩක් දුක් වින්දා. ඒක අපි හොඳටම දන්න කාරණයක්. මගේ සහෝදරයෝ කවුරුත් ආබාධිත අය නෙමෙයි. ඔක්කොම නීරෝගියි. ඒ කාලේ අම්මා කාලා තියෙන්නේම අල, කොස්, දෙල් වගේ ආහාර. අපි නිරෝගීව ඉපදෙන්න ඒක හේතුවක් වෙන්න ඇති. තාත්තත් අපිව ජීවත් කරන්න ගොඩක් මහන්සි වුණා. ගමින් ගමට ගිහිල්ලා වැව් කට්ටි කපලා තමයි තාත්තා අපිව ජීවත් කරවලා තියෙන්නේ. මෙච්චර දරුවෝ ප්‍රමාණයක් උස්මහත් කරනවා කියන එක ලේසිපහසු දෙයක් නොවෙයි. අම්මා හැමදාම සතියේ අඟහරුවාදා පොළට ගිහින් දාහත්දෙනාටම කන්න ඇති තරමට පොහොර උරයකට දාලා බඩු අරගෙන එනවා. එච්චර ලොකු බරක් උස්සන්න තරම් අම්මට ලොකු ශක්තියක් තිබුණා. ඇත්තටම අම්මා හරි ශක්තිසම්පන්න ගැහැනියක්. දුවලා පැනලා වැඩ කරලා වැඩ කරපු කෙනෙක්. ඒවා මතක් වෙනකොට ඇත්තටම හරිම දුකයි.”
“මගේ විසිවැනි දරුවා හම්බෙන්නෙ මාතලේ ඉස්පිරිතාලෙදි. එතැන හිටපු දොස්තර මහත්තයා මට කිවුවා අම්මට තව දරුවෝ හතර දෙනෙක් හදන්න පුළුවන් කියලා. හදනව ද නැද්ද කියලා මගෙන් ඇහැවුවා. මං කිවුවා මම තවත් දරුවෝ හැදුවොත් මට පුළුවන් විදියට මං එයාලව හදාවඩා ගන්නවා කියලා.”
“ඒ කාලේ හාල් සේරු දෙකක් අරගෙන තාත්තා බස් එකේ එනකොට හාල් දාගෙන ආපු උරේ කඩාගෙන වැටිලා. අපිව බඩගින්නෙ තියන්න බැරි හින්දා තාත්තා බස් එක මැද්දෙම තියාගෙන හාල් ටික අහුලලා තියෙනවා.”
ඔහුගේ නෙත්වල කඳුළු කැට දිලිසෙයි.
“කිසිම රජයකින් අම්මලාට කිසිම සහනාධාරයක් ලැබිල තිබුණෙ නැහැ. අලුතින් පත්වෙච්ච මේ ආණ්ඩුවෙන් තමයි පළමුවැනි වතාවට මේ වගේ ඇගයීමක් කළේ. අම්මා ගොඩක් සතුටින් තමයි මේ අවස්ථාවට සහභාගි වුණේ. පණිවිඩය ලැබුණු දවසේ ඉඳන් අම්මා උත්සවයට යමු යමු කියලා මට බල කළා. ඇත්තටම කිවුවොත් පාන්දර දෙකේ විතර ඉඳන් අම්මා ලෑස්ති වෙලා. ගමන එන්න ගොඩක් ආසාවෙන් හිටියේ.”
මෙය හුදෙක්ම වැඩිහිටි දින සැමරුමක්ම නොවේ. ළෙන්ගතුකම් පෙරදැරි කොටගෙන ඒ ආදරණීය මවුවරුන්, පියවරුන් හට නැවත ජීවය දුන් අපූරු හෝරා කිහිපයකි.
දරුවන් 17කට ජීවය දුන් සුදු මැණිකා මව
වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි එම්.එම්. සුදු මැණිකා මාතාව ද දරුවන් 17 දෙනකු මෙලොවට දායාද කළ ආදරණීය මවකි. 1937දී උපත ලද ඇයට දැන් වයස අවුරුදු 87කි.
“ගොවිතැන් කරලා තමයි මම දරුවෝ උස්මහත් කළේ. මට ගොඩක් දේවල් දැන් මතක නැහැ. මගේ පළමුවැනි දරුවට දැන් අවුරුදු 74ක් වෙනවා. දරුවෝ 17 දෙනාගෙන් 4 දෙනෙක් ජීවතුන් අතර නැහැ. ඒගොල්ලෝ මතක් වෙන කොට මට අදටත් ගොඩක් දුකයි. දැන් කාලෙ වගේ නෙමෙයි ඒ කාලේ, අපි කෑවෙ ගහකොළවල හැදෙන දේවල්. අපේ ගෙදර නිතරම අල, බතල, කොළ ජාති තිබුණා. ඉතින් මගේ දරුවෝ දාහත් දෙනාම ඉතා නීරෝගි දරුවෝ විදිහට තමයි බිහි කළේ. ඒ ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා.”
කතා කිරීමට ද තරමක අපහසු තත්ත්වයේ පසුවන සුදු මැණිකා මව ඒ බස් අප හා තෙපලුයේ නිහතමානී ආඩම්බරයකිනි. ඇය ගුණධර්මවලින් හෙබි දරු පිරිසක් මෙලොවට දායාද කළාය. සිංහල අලුත් අවුරුද්දට ඇයගේ දරුවෝ සියලු දෙනාම ඇය හා එක්වී සතුටින් අවුරුද්ද සමරති. ඒ ඇය සතුටින්ම සිටින කාලවකවානුවයි. කිසි දිනක, කිසිම දෙයක් සඳහා රණ්ඩු දබර නොවන දරු පිරිසක් හමුවේ ඇය ජීවත් වන්නේ සතුට දෝත දරාගෙනය.
සුදු මැණිකා මාතාවගේ හයවැනි දරුවාගේ බිරිය අප හා මෙසේ අදහස් දැක්වුවාය:
“මම මගේ අම්මවත් බලන්නේ නැතුව තමයි මේ අම්මව ආදරෙන් රැක බලා ගන්නේ. ඒක මට ලොකු සතුටක්. අම්මට හැමදාම බෙහෙත් ගන්න යන්න අපහසු හින්දා මම ගිහින් බෙහෙත් ටික කලට වෙලාවට අරගෙන දෙනවා. දැන් නම් අම්මට වකුගඩු අමාරුව හැදිලා තියෙන හින්දා අම්මව ගොඩක් පරිස්සමෙන් තමයි බලාගන්නේ. අම්මා නිතරම බුදුගුණ අදහන කෙනෙක්. දැන් අම්මට සිල් ගන්න පන්සලට යන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ගෙදර ඉඳන් අම්මා නිතරම බුදුන් වඳිනවා. අද මේ උත්සවයට අම්මා ආවේ ගොඩක් සතුටින්. මෙහෙම ඇගයීම් කරන එක ගොඩක් වටින දෙයක්.”
ඇය කී පරිදි සැබැවින්ම මේ මාතාවන් සියල්ලන්ගේම නෙත්වල තිබුණේ සතුටු කඳුළු පමණකි. මේ ඇගයීම ඔවුනට මහමෙරකි.
විවාහයට පත්වූ පසු මවුපියන් අමතක කර දමා තමාගේම ෆැන්ටසියක ජීවත්වන පුතුන් සහ දූවරුන් සිටින යුගයක ලේලිය ලෙසින් ඇය සිදු කරන මෙහෙය ද උත්තමය. දරුවන්ගේ වටිනාකම මැනවින් හඳුනාගත් මවුපියන් සහ මවුපියන්ගේ වටිනාකම මැනවින් හඳුනාගත් දරුවන් පිරිසක් බිහි වීම කොතරම් අගනා කාරණාවක් ද? ඒ තුළ සැඟවී ඇත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් මවුපිය දූදරු යුතුකම්වල ඇති සුපැහැදිලි භාවයයි. එහෙත් ඇති තවත් ලෝ දහමක් මෙලෙස පැහැදිලි කළ හැකිය. එනම්: නිසි පරිදි දරුවන්ට යුතුකම් ඉටු කිරීමට මවුපියන් හටත්, මවුපියන්ට නිසි පරිදි තම යුතුකම් ඉටු කිරීමට දරුවන් හටත් පින තිබිය යුතුමය. අපට නොපෙනෙන යථාර්ථය එයයි. ගෝලීයකරණය, තාක්ෂණය හමුවේ වෙනස්ම අතකට ගමන් කරන ලෝකයේ මෙවැනි මවුවරුන් ඇගයීමට ලක් කිරීම පැසසුම් ලැබිය යුතු කර්තව්‍යයකි. ශ්‍රී ලංකාව නම් වූ පුංචි රටේ අහුමුලුවලට වී සැඟවී සිටින මෙවැනි අම්මාවරුන් ඉදිරියට ගෙන, ඔවුන් ඇගයීමට ලක් කිරීම තරම් තවත් වටිනා යමක් ඇති දැයි කෙලෙස පවසන්න ද? ඒ දෙනෙත් හමුවේ ඇති සතුටු කඳුළු අපි හොඳාකාරවම දුටුවෙමු.
ඡායාරූප – වාසිත පටබැඳිගේ