“නායක් එනවා අපි දුවමු” කියා මටත් ඉස්සෙල්ලා තමයි දුව ගොඩට පැන්නේ. මට හොඳටම විශ්වාසයි මගේ සුරංගනාවි අඩි දෙක තුනක් යට මේ පස් කන්දේ කොතන හරි ඉන්නවා.
මං දවසකට විසි තිස් පාරක් මෙතැනට ඇවිත් මගේ දුව ගැන හොයලා බලනවා. අනේ කවුරුහරි ඇවිත් මගේ දරුවා මෙතැනින් ගොඩට අරන් දෙන්න” යැයි පසුගිය 27දා සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ සිය එකම දියණියගේ වියෝවෙන් කම්පිතව සිටින මවක් සිය දියණිය නාය යෑමට හසු වූ තම නිෙවස අසලට වී හඬා වැටෙන්නීය.
මේ අවාසනාවන්ත ඉරණමට ලක්වූයේ බදුල්ල කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට අයත් නාගොල්ල ගම්මානයේ එම්.ජී. ගයත්‍රී කාවින්දි රාජපක්ෂ (21) නම් වූ තරුණියයි.
සිද්ධියෙන් දින 11ක් ගතවෙලත් ඇය සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් නැති අතර දැරියගේ සීයා එම්.ජී. නේද්‍රිස් (82) සහ ආචිච්අම්මා ඩී.ඒ. පියසීලී දිසානායක (72) යන අය සිද්ධියෙන් මිය ගියහ.
මේ නායයෑමෙන් මේ තිදෙනාට අමතරව නාගොල්ල ගම්මානයේ ආර්.ඩී. ජේන් (74), ආර්. ඩී. තනේරිස් (65) යන අයද සිද්ධියෙන් පස් කඳුවලට යටවී ජීවිතක්ෂයට පත්වූහ. මේ වන විටත් ඔවුන් සිවුදෙනාගේ අවසන් කටයුතු සිදු කර අවසන්ය.
සිද්ධියෙන් මියගිය පියසීලි මහත්මියගේ මළ සිරුර අනතුරු සිදුවූ ස්ථානයට කිලෝමීටර් 25ක් පමණ පහළින් බදුලුඔයේ කිරිකෝන්තැන්න ප්‍රදේශයේදී හමුවූ අතර මළ සිරුර එම ප්‍රදේශයේම මිහිදන් කෙරුණු අතර සෙසු පිරිසගේ මළ සිරුරු ගම්මානයේ මිහිදන් කෙරිණි.
නායයෑම් හමුවේ තවත් විශාල පිරිසක් රුදුරු ජල රකුසාගෙන් බේරී දිවි ගලවාගෙන ඇත්තේ අනු නවයෙනි. නිවාස රැසක් මුළුමනින්ම හානියට පත්ව ඇත.
නාගොල්ල ගම්මානයට ඉහළින් පිහිටි අඹතැන්න කඳුවැටියේ එකිනෙකට මීටර් දෙසීයක් පමණ පරතරය ඇතිව පිහිටි ස්ථාන දෙකකින් ආරම්භ වූ නායයෑම ඊට මීටර් සියයක් පමණ පහළින් තනි නායක් බවට එක්ව ප්‍රදේශයේ මාර්ග, කුඹුරු වතුපිටි යට කරමින් ගම්මානය පාමුල පිහිටි කඳුර දක්වාම ගලා ගොස් තිබිණි.
තම පවුලට අත්වූ ඉරණම පිළිබඳව අතුරුදන් දියණියගේ මව වන පල්ලේකන්ද කේ. එම්. බණ්ඩාර මැණිකා මහත්මිය (50) මෙසේ කීවාය.
”මහත්තයෝ 24 වැනිදා ඉඳලා දවස් තුනක් තිස්සේම එක දිගට වැස්සා. 27 වැනිදත් උදේ ඉඳන්ම හරිම මූසල විදිහට තමා දවස ගෙවුණේ. සිද්ධිය වුණේ විසි හත්වැනිදා. මායි, පුතයි, දුවයි හිටියේ උඩහ ගෙදර. මහත්තයා STF එකේ වැඩ. අපේ ගෙට පොඩ්ඩක් පහළින් තමයි මගේ අම්මයි තාත්තයි ජීවත්වුණේ. අපි ඔක්කොමලා එකට තමයි කන්නෙ බොන්නෙ. එදත් දුවයි මායි අම්මලගෙ ගෙදර ළඟ තමයි හිටියේ. තාත්තා ගෙයි ඇතුළේ හිටියා. පුතා කුඹුර පැත්තට ගියා. හවස තුනහමාර විතර වෙද්දි තමයි මේ සිදුවීම වුණේ. මේ හැමදේම වෙන්න විනාඩි දහයකට පහළොවකට වඩා ගියේ නෑ. අපට එක පාරම ගල් පෙරළෙනවා වගේ සද්දයක් ඇහුණා. අපි ගුවන් යානයක් යනවද කියා උඩ බැලුවා. ඒ එක්කම පොළොව එහෙට මෙහෙට වැනෙන්නයි කැරකෙන්නයි පටන් ගත්තා. දුවත් කැරකෙන්න පටන් ගත්තා. එයාට ඒක විනෝදයක් වගේ දැනුණා. හයියෙන් එයා හිනා වුණා. මොකක් හරි වෙනවා අම්මා නායක් තමයි එන්නේ කියා දුව මටත් කතා කරගෙන දුවන්න ගියත් අපිට දුව ගන්න බෑ. පොළොව කැරකෙන විදිහට අපි වැටි වැටී තමයි දුවන්න පටන් ගත්තේ.
මම දුවගෙ අතින් අල්ලගෙන ඉද්දි දුව මටත් ඉස්සෙල්ලා තමයි වත්ත පැත්තට පැන්නේ. හැබැයි දුව අත ඇරුණා. මමත් වතුරේ ගහගෙන ගියා. ඒ යද්දි මගේ පුතා දුවගෙන ඇවිත් මාව ගොඩට ගත්තා. මට ටික වෙලාවක් හැම දේම අමතක වුණා. හැබැයි මගේ දුව බේරගන්න බැරි වුණා. හැබැයි මං හොඳටම දන්නවා එයා වැඩිදුර ගිහින් නෑ. එයා මේ ගේ තිබ්බ තැන පස් යට අඩි දෙක තුනක් යටින් ඉන්නවා කියා මට හොඳටම විශ්වාසයි.
මගේ අම්මා නම් ඒ වෙලාවේ අපේ ඇඟටත් උඩින් ගහගෙන යනවා දැකලා තියෙනවා. ටික වෙලාවකට පස්සෙයි මට සිහිය හරියට ආවේ. ඊට පස්සේ තාත්තා ගෙදර කාමරයක යට වෙලා ඉද්දි එළියට ගත්තා. ඒත් පැය කීපයකට පස්සේ එයා මැරුණා. එයා මැරෙන්න කලින් අපේ පවුලම ඉවරයි පුතේ. කෙල්ල හොයාගනින් කියලා මට කිව්වා. මම උඩහට දුවලා ගිහින් මගේ දරුවා හොයලා දෙන්න කියා මං හැමෝටම බැගෑපත් වුණා. කෑගැහුවා. හැබැයි කට්ටිය කීප දෙනෙක් ඇවිත් හෙව්වා. ඒත් රෑ වුණා කියලා ඒ අය දරුවා හොයන එක අතෑරලා දැම්මා. දැන් දවස් එකොළහක් වෙනවා . මං මෙතැනට සිය දහස් පාරක් ඇවිත් ඇති. දරුවාගේ සලකුණක් හරි තියෙනවද කියා බලන්න. ඒත් මට දරුවා හොයාගන්න බැරි වුණා. කවුරු හරි ඇවිත් මේ තියෙන ගස් ගල් ටික අයින් කර බැලුවොත් මගේ දරුවා මෙතැන ඉන්නවා කියලා මට හොඳටම විශ්වාසයි. මොකද එයා මටත් ඉස්සෙල්ලා තමයි මේ පැත්තට පැන්නේ. පුතා නැති වෙන්න මමත් අද ජීවතුන් අතර නැහැ.”
රුදුරු ජල පහරට හසුව ගසාගෙන යන සිය මවගේ හිස පමණක් දුටු ඒ මොහොතේ අසල කුඹුරේ සිටි බණ්ඩාර මැණිකා මහත්මියගේ වැඩිමහල් දරුවා වන නවීන් ප්‍රභාත් රාජපක්ෂ (25) නොවන්නට බණ්ඩාර මැණිකාට ද අත්වන්නේ සිය දියණියට හා මවුපියන්ට අත් වූ ඉරණමමය.
තම අත්දැකීම විස්තර කළ නවීන් ප්‍රභාත් මෙසේ කීය. ‘‘මම කුඹුරට ආවේ නිකමට වගේ. හැබැයි මේ සද්දෙ ඇහිලා මං නාය යන පැත්ත බලනවිට මඩ වතුරත් එක්ක විශාල ගස් ගල් පාවෙලා එනවා දැක්කා. ඒ එක්කම මං දැක්කා මගේ අම්මා ගහගෙන යනවා. එයාගේ ඔළුව විතරයි මම දැක්කේ. මම එකපාරටම පැනලා අම්මා අල්ල ගත්තා. හැබැයි නංගි දැක්කේ නෑ. අම්මයි මායි දෙන්නම එකටම මීටර් 25ක් විතර පහළට ගහගෙන ගියා. හැබැයි මං කොහොම හරි අම්මා ඇදල උඩට අරන් වත්තට දාලා නංගිව හෙව්වා. ඒත් මට හොයාගන්න බැරි වුණා. ඒ හයිය මට කොහෙන් ආවද දන්නෑ. අපේ නංගි හරිම දක්ෂයි! ඉගෙන ගන්න වගේම ගමේ පොදු වැඩවලදිත් පන්සලේ වැඩවලදිත් හරිම දක්ෂයි. එයා විද්‍යාපීඨ යන්න තමයි හිටියේ. ඒත් අපට සියල්ල නැතිවුණා.”
බණ්ඩාර මැණිකා මහත්මියට සේම ගමේ අසූවකට ආසන්න පවුල් සංඛ්‍යාවක් ද අද වන විට නාය යෑමේ අත්දැකීම්වලට මුහුණ දෙමින් සිටී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ගේ නිවාස තිබූ තැනකවත් දැක ගන්නට නැත. තවත් නිවාස රැසක් අර්ධ වශයෙන් හානියට පත් වී ගොසිනි.
ඔවුන්ගේ ආර්ථිකය සරිකල ගම්මිරිස් වගාව මෙන්ම කුඹුරු ඉඩම් අක්කර සිය ගණනක් විශාල ගල් ගොඩවල් බවට පත්ව ඇත. ඔවුන්ගේ ඉඩකඩම්වලට ජලය සැපයූ ඇළි අමුණු තිබූ තැනකවත් දැක ගන්නට නැත.
ප්‍රවේශ මාර්ග සියල්ල ද කැඩී ගොසිනි. තවමත් විදුලි සැපයුම්ද නැත. ගම්මානයට ඉහළින් පිහිටි කඳු වැටියේ නාය යෑමේ ලකුණු ලක්ෂණ තවමත් පහව ගොස් නැත.
ඔවුන්ට ආරක්ෂිත ස්ථාන කරා යන්න කීවද එසේ යන්න කියා තැනක්ද ඔවුන්ට නැත. වැස්සක් එද්දී ඔවුහු බියෙන් සලිත වෙති. තවමත් ඔවුහු අනාරක්ෂිතය.
මීගහකිවුල එන්. නවරත්න
