මනුෂ්‍යත්වය රක්ත වර්ණයෙන් තෙත් වූ අතිශය අමානුෂික පුවතක් කළුතර, ලාගොස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
වසර ගණනාවක් තිස්සේ සිතේ සඟවාගෙන සිටි වෛරයක ගිනි පුපුරක්, 71 හැවිරිදි අහිංසක මාතාවකගේ ජීවිතය බිලිගෙන අවසන්ය. ඒ අන් කවුරුත් නොව තමන්ගේම සොහොයුරියකගේ පුත්‍රයෙකු අතින් එල්ල වූ අමානුෂික පොරෝ පහරවල් හේතුවෙනි.
එච්. පී. යසවතී මාතාව යනු දරුවන් සිව් දෙනෙකු පිය සෙනෙහසින් තොරව, අපමණ දුක් විඳ හදා වඩා ගත් දිරිය මාතාවකි. ඇය 71 වැනි වියේ පසු වුවද, ඇයගේ රූපයත්, සිරුරේ ජවයත් දුටු කාටත් සිතුණේ ඇය තවමත් පනස් හැවිරිදි වියේ පසුවන කාන්තාවක බවයි. එහෙත්, අද ඇය නිහඬය. මුළු ලාගොස්වත්තම හඬවමින් ඇය සදහටම දෙනෙත් පියාගෙන සිටින්නේ විකෘති වූ මුහුණකින් යුතුවය.
පසුගිය 11 වැනිදා දහවල් කාලය යසවතී මාතාවට මාරයා කැඳවාගෙන ආවේය. දියණියන් ව්‍යාපාරික කටයුතුවලට ගොස් සිටි මොහොතේ, නිවසේ සාලයේ සැප නින්දක පසුවූ ඇයට එල්ල වූයේ බලාපොරොත්තු නොවූ ප්‍රහාරයකි. ඇයගේම අක්කාගේ පුතා, මීට වසර 20කට පෙර ඇය කළ දොස් කීමක් සිතේ තබාගෙන, එම වෛරය පිරිමසා ගැනීමට ඇයට පොරවෙන් කොටා තිබුණි.
දියණිය ඉනෝකා එදින නිවසට එන විට දුටු දසුන ඕනෑම දරුවෙකුගේ පපුව පැලී යන සුළුය.
“අම්මා සාලේ බිම වැටිලා හිටියා. ඇහැක් එළියෙ තිබුණා. කටට, නහයට, මුළු මූණටම කොටල තිබුණා. බෙල්ලෙත් තුවාල… හරිම අමානුෂිකයි…” ඉනෝකා පවසන්නේ හඬා වැටෙමිනි.
දින නවයක් දැඩි සත්කාර ඒකකයේ මරණයත් සමඟ සටන් කළ යසවතී මාතාව, මරණාසන්න මොහොතේත් සිහිපත් කළේ තම දරුවන්ගේ ආරක්ෂාවයි. තමන්ට මේ අපරාධය කළ පුද්ගලයා සමඟ වෛරයෙන් රණ්ඩු වීමට නොයන ලෙස ඇය තම පුතුගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියාය.
“අර පිස්සා මට පොරවෙන් කෙටුවට අනේ පුතේ උඹලා රණ්ඩු වෙන්න යන්න එපා. පොලිසි ගානේ යන්නත් එපා. උඹල පරිස්සමින් ඉන්න බලාපල්ලා” – ඒ ඇය මෙලොවට පැවසූ අවසන් වදන් කිහිපයයි.
මෙම සිද්ධියේ වඩාත්ම කනගාටුදායක පැත්ත වන්නේ අපරාධකරුගේ මවගේ, එනම් මියගිය මාතාවගේම සහෝදරියගේ හැසිරීමයි. තමන්ගේම නැගණිය ලේ විලක් මැද වැටී සිටියදී ඇයට වතුර උගුරක් දෙනවා වෙනුවට, ඇය උත්සාහ කර තිබුණේ අපරාධය කළ තම පුත්‍රයා එම ස්ථානයෙන් පලා යෑමට උදව් කිරීමට බව පවුලේ අය චෝදනා කරති.
පහරදීමෙන් ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් පෙනහළුවලට ලේ කාන්දු වී වැලඳුණු නිව්මෝනියා තත්ත්වය නිසා අවසානයේ යසවතී මාතාව මෙලොව හැර ගියාය. ඇයගේ දේහය පසුගිය 02 වැනිදා කළුතර හිමිදිරියාව පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරුණි.
අපරාධකරු දැනට අත්අඩංගුවේ පසුවන අතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි. එහෙත්, මියගිය ඒ ආදරණීය මව නැවත දරුවන්ට ලැබෙන්නේ නැත. වසර විස්සක් පැරණි වෛරයක්, මව් සෙනෙහසකට එල්ල කළ ඒ පොරෝ පහරින් මුළු මහත් සමාජයකටම ඉතිරි කර ඇත්තේ කඳුළක් සහ ලේ තැවරුණු මතකයක් පමණි.












