ඉෂාරා සෙව්වන්දි, පසුගිය පෙබරවාරි මාසයේ සිදුවුනු ඒ සිද්ධියත් එක්ක ඇය ගැන බොහෝ දෙනෙක් කතා කළා.
මොන තරම් ඇයව මෙරට ආරක්ෂක අංශ සෙවූවත්, ඉෂාරා ඇතුළු කණ්ඩායමේ සැලැස්ම සාර්ථක කරමින් ඇය කෙසේ හෝ මෙරටින් පැන යනවා. මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම සම්බන්ධ තවත් එක් වෙනස් කතාවක්.
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි රටින් පලා ගොස් ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ උණුසුම තදින්ම රටේ පැවති අවස්ථාවේදී බව ඇගෙන් කළ ප්‍රශ්නකිරීම් හමුවේ අනාවරණය වී තිබෙනවා.
අලුත්කඩේ අංක 05, මහේස්ත්‍රාත් අධිකරණයේදී පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වූ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමට වෙඩික්කරු සමඟ ගිනිඅවිය අධිකරණයට රැගෙන ගොස් තිබුණේ ඇය බව විමර්ශනවලින් අනාවරණය වී තිබුණ අතර, එම ඝාතනයත් සමඟ වෙඩික්කරු සමඟ ඇය අධිකරණ සංකීර්ණයෙන් පලා යන අයුරු පවා ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා.
මෙම ඝාතනය මෙහෙයවා තිබුණේ, ඒ වන විට විදෙස්ගතව සිටි පාතාල අපරාධකරුවන්වූ කෙෙහල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ද නමැති අය විසින්.
පසුගිය පෙබරවාරි 19 වැනිදා මෙම ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු සමඟ ඉෂාරා සෙව්වන්දි එදිනම ඉන්දියාවට පැන්නවීම මූලික සැලසුම වී තිබී ඇති අතර, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඔවුන් පලා යෑමට අවශ්‍ය පහසුකම් සියල්ලක්ම ඒ වන විටත් සකස් කර තිබුණ ද වෙඩික්කරු හලාවතදී විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට පත්වීමත් ඇය ගැන පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන සිටීමත් හේතුවෙන් ඇයට එදින රටින් පලා යෑමට අවස්ථාවක් ලැබී නැහැ.
මේ තත්ත්වය මත ඇයට රටින් පැනගන්නට මාස තුනක පමණ කාලයක් තැන තැන සැඟව සිටීමට සිදුව තිබෙනවා. ප්‍රශ්න කිරීම් හමුවේ ඇය හෙළිකර ඇත්තේ, මැයි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණය අතරේ යාපනයෙන් බෝට්ටුවක නැඟී ඉන්දියාවට පලාගිය බවයි.
පොලීසිය මැතිවරණ රාජකාරිවල නිරතව කාර්යබහුලව සිටින බැවින් වෙනත් කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවන බැවින් එම කාලය ඇයව රටින් පැන්නීමට යොදාගෙන ඇති බව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් තිබුනා.
ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ තමා මේ කාලය තුළ මතුගමත්, මාතරත්, වවුනියාවේත් ස්ථාන කිහිපයකම රැඳී සිටි බවයි. යාපනයෙන් ඇය ධීවර බෝට්ටුවක නංවාගෙන ඉන්දියාවට රැගෙන යන්නේ කේ. ශිවදාසන් නොහොත් ජේ.කේ. බායිගේ මෙහෙයවීම මතයි. මේ සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් ඔහුට රුපියල් කෝටියක මත්කුඩු ලබාදී ඇති බව ද අනාවරණය වී තිබුණා.
ඉන්දියාවට ඇය ගොඩබැසීමෙන් අනතුරුව ඇයට මාසයක පමණ කාලයක් එහි ගතකිරීමට සිදුව ඇති අතර, ඒ කාලය තුළ ඇයට පෙනී සිටීමට සිදුව ඇත්තේ ඉන්දියානු කාන්තාවක් ලෙසිනි. ඉන්දියාවේ රැඳී සිටි මිනිස් ජාවාරම්කරුවන් නේපාලයට ඇයව රැගෙන යන්නේ ජූනි මාසයේදීයි. දින හය හතක් තිස්සේ දුම්රියේත්, බස් රථවලත්, කුලී රථවලත් නංවාගෙන ඇයව නේපාලයට රැගෙන ගොස් ඇත්තේ ඉන්දියානු තැරැව්කරුවෙක් විසින්.
ඇයව නේපාලයට ඇතුළු කරනු ලබන්නේ දේශසීමා පන්නාය. ඇයව නේපාලයේදී භාරගැනීමට පවා තැරැව්කරුවන් දේශසීමාවට පැමිණ සිට තිබෙනවා.
ඉෂාරා සෙව්වන්දිව නේපාල දේශසීමාවේදී එරට තැරැව්කරුවන් විසින් භාරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගන්නාතුරුම රැඳී සිට ඇත්තේ නේපාලයේය. ඇයට එහි ජීවත්වීමට අවශ්‍ය මුදල් ඇතුළු පහසුකම් සියල්ලක්ම සපයා ඇත්තේ ඒ වන විට ඩුබායිහි රැඳී සිටි ජේ.කේ. බායි විසිනි. ඔහු ඉඳහිට ඩුබායි සිට නේපාලයට පවා පැමිණ ඇගේ සැප දුක් සොයා බලා ඇති බව ද සඳහන්ය.
නේපාලයේ තරුණ කැරැල්ල පසුගිය සැප්තැම්බර් මාසයේ දියත්වන විට පවා ඇය සිට ඇත්තේ අත්අඩංගුවට ගැනීම සිදුවූ භක්තපූර්හිය. ඇය රැඳී සිටි ප්‍රදේශයේ උද්ඝෝෂණ ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදු වී නොමැත. ඒ නිසා ගැටලුවක් නොමැතිව රැඳී සිටීමට තමාට හැකිවූ බව ඇය පවසා ඇත.
ඉෂාරා සෙව්වන්දි ඇගේ රුව ගැන උනන්දුවක් දක්වා ඇත්තේ නේපාලයේදී බව සඳහන් වෙන්නේ. එතෙක් පැවති ඇගේ පෙනුම වෙනස් වන්නේ නේපාලයේදීය. නේපාලයට යනතුරුම ඇය සිය රූපය ගැන උනන්දුවක් දක්වා නැත. පැවති රූපය වෙනසකට ලක්වෙමින් හඳුනා ගැනීමට නොහැකි තරමට ඇය වෙනස් වී ඇත්තේ නේපාලයේදීය. ඇය රූපලාවණ්යාගාරයන් වෙත ගොස් ඇත්තේ ද කාලය ගතකිරීම සඳහායි. පසුව ඇය ඊට ඇබ්බැහි වී ඇති බව ද අනාවරණය වී ඇත.
ඇය නේපාලයේ ද ස්ථාන කිහිපයකම නවාතැන් ගෙන සිට ඇතැයි ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබෙනවා. භක්තපූර් වෙත ඇයව රැගෙන යන්නේ ද තරුණ කැරැල්ල අතරතුරදීය.
ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ කෙෙහල්බද්දර පද්මේගේ ඉල්ලීම මත පෙබරවාරි 19 වැනිදා තමා අලුත්කඩේ අධිකරණයට ගිය බවය. වෙඩික්කරුව ඊට පෙර දැන නොසිටි බවත් තමා ඔහු සමඟ එදා අලුත්කඩේ අධිකරණයට ගියේ ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා බව දැනගෙනම බව ද ඇය පවසා තිබෙනවා. කිසිදු බියක් ඒ ගැන තමාට නොදැනුණ බව ද ඇය පවසා ඇත.
ගිනිඅවිය සැඟවූ දණ්ඩ නීති සංග්‍රහ පොත තමා අතේ තිබුණු බව ඇය පවසා ඇත. අංක 05 අධිකරණයට ගණේමුල්ලේ සංජීව රැගෙන එන බැවින් එම අධිකරණ ශාලාවට යන ලෙස කෙහෙල්බද්දර පද්මේ විසින් කළ දැනුම්දීමට අනුව වෙඩික්කරුත් සමඟ තමා දෙවැනි මහලේ තිබුණු අංක 05 අධිකරණ ශාලාව වෙත ගිය බව ද ඇය පවසා තිබේ. බැලූ බැල්මට නීතිඥයන් ලෙස පෙෙනන ආකාරයට හැඳ පැලඳගෙන සිටි බැවින් තමන් කෙරෙහි කිසිවකුත් සැක නොකළ බව ද ඇය පවසා ඇත.
ඇය පවසා ඇති ආකාරයට වෙඩික්කරු රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව තුළය. ඇය රැඳී සිට ඇත්තේ අධිකරණ ශාලාව ඉදිරිපිට බැල්කනි කොටසේය. එහි සිට තමා අධිකරණයට ඇතුළුවන ගේට්ටුව දෙස බලා සිටි බව ද ඇය පවසා ඇත. විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව ගණේමුල්ලේ සංජීව රැගෙන එන විටම වෙඩික්කරුට කතාකර පොත ඇතුළේ සඟවාගෙන සිටි ගිනිඅවිය ඔහු අතට පත්කළ බව ද ඇය පවසා තිබේ.
ගණේමුල්ලේ සංජීව අධිකරණ ශාලාවට රැගෙන එන විට තමා පහළ මහලට ගොස් නීතිඥවරුන් රැඳී සිටින ස්ථානයේ මඳක් රැඳී සිටි බව ද ඇය පවසා ඇත. ගිනිඅවිය සඟවා ගෙන රැගෙන ආ දණ්ඩ නීති සංග්‍රහය එහි දමා යෑමට කිසිදු වුවමනාවක් නොතිබුණත් වෙඩි හඬ ඇසීමත් සමඟ තමා කලබල වූ බැවින් එය රැගෙන යෑමට අමතක වූ බව ද ඇය පවසා ඇත.
තමාව කිසි දිනක පොලීසිය මඟින් අත්අඩංගුවට ගනීවි යැයි විශ්වාසයක් නොතිබුණු බව ද ඇය පවසා තිබේ. නේපාලයේ සිට තමාව මුරුසියට රැගෙන යන බව ජේ. කේ. බායි පැවසූ බව ද ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ඊට අවශ්‍ය විදෙස් ගමන් බලපත්‍ර පවා සකස් කර ඇතත් මුරුසියට පැන යන්නට පෙර ඇයව හසුවන්නේ සති 06ක පොලිස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
එම මෙහෙයුමේ කොටසක් මෙරට සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයවනු ලබයි. පසුගිය 11 වැනිදා නේපාලයට යන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වා මහත්වරු මෙහෙයුම අවසන් කරමින් ඉෂාරා සෙව්වන්දිට අමතරව තවත් 05 දෙනෙක්ම රැගෙන මෙරටට එන්නේ පෙරේදා (15) ය.
ඒ අතර සිටින 26 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි, ඇගේ රුවට සමාන බව කියන යාපනය, චාවකච්චේරිය, වඩුවිල් උතුරු ප්‍රදේශයේ පදිංචිකාරියක වන 23 හැවිරිදි නන්ද කුමාර තක්ෂි, එම කාන්තාවගේ සමීපතමයෙක් බව කියන 36 හැවිරිදි බී.පී.කෙනඩි නොහොත් සුරේෂ් සහ ඉෂාරා සෙව්වන්දි රටින් පන්නා ඇයට නේපාලයේ දී රැකවරණය දුන් මිනිස් ජාවාරම්කරුවකු වන යාපනය පලෙයිහි පදිංචිකරුවකු වන 33 හැවිරිදි කේ. ශිවදාසන් නොහොත් ජේ.කේ. බායි විමර්ශන සඳහා භාර දෙන්නේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙතය.
බෙම්මුල්ලේ පදිංචිකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ අපරාධ ජාලයේ කොටස්කරුවක් බවට හඳුනාගත් 44 හැවිරිදි නිශාන්ත කුමාර නොහොත් ‘බබා’ නමැත්තා විමර්ශන කටයුතු සඳහා භාර දෙන්නේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයටය. නුගේගොඩ, ජම්බුගස්මුල්ලේ පදිංචිකරුවකු වූ 49 හැවිරිදි කේ.ඩී. ශ්‍යාමන්ත සිල්වා නොහොත් ‘බබී’ භාර කෙරෙන්නේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙතය.
මේ සියලු දෙනාම ඉන්දියාවේ සිට නේපාලයට නීති විරෝධිව ඇතුළු වී ඇත්තේ මෙම වසරේය. මේ අය අතර වැඩිම කාලයක් නේපාලයේ රැඳී සිට ඇතැයි අනාවරණය වන්නේ ඉෂාරා සෙව්වන්දි පමණි. මේ හැම දෙනෙක්ම නේපාලයේ තරුණ අරගලය පැවති අවස්ථාවේදී පවා රැඳී සිට ඇත්තේ එරටය.
මෙම සැකකරුවන් 06 දෙනාගෙන්ම පොලීසිය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් විමර්ශන පවත්වමින් සිටියි. ඉෂාරා සෙව්වන්දි රටින් පලා යන අවස්ථාව දක්වාම ඇයට රැකවරණය දුන් පුද්ගලයන් සහ ස්ථාන ද හඳුනා ගැනීමට ද පොලීසිය දැඩි උනන්දුවකින් පසුවෙයි. ඒ සඳහා වැඩි කාලයක් මේ පිරිස රඳවා ගැනීම පොලීසියේ අපේක්ෂාවයි. එහි ප්‍රථම පියවර ලෙස පැයට 72ක කාලයක් මේ සියලුදෙනාම රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ පොලීසියට අධිකරණයෙන් අවසර ලැබී තිබිණි.
දිවයින පුවත්පත ඇසුරෙන්..