ගිනි කන්දක් තරණය කරමින් සිටි බ්‍රසීලියානු ජාතික සංචාරක තරුණියක් ඉකුත් (21) දා ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ පිහිටි රින්ජානි නැමැති ගිනි කන්ද තරණය කරමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි සඳහන්.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ (26) හැවිරිදි ‘ජූලියානා මැරින්ස්’ නැමැති තරුණියක්.
අනතුර සිදුවන අවස්ථාවේදී ඇය එම ගිනි කන්දේ ආවාටය ආසන්නයෙන් යමින් සිටි බවයි වාර්තා වන්නේ.
ඉකුත් 21 වැනිදා අනතුර සිදුව ඇතත්, මුදා ගැනීමේ කණ්ඩායම්වලට අදාළ ස්ථානය වෙත ළඟාවීමට හැකිව ඇත්තේ දින තුනකට පසුව ඊයේ (24) දිනයේදී බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්‍රදේශයේ අධික බෑවුම සහ මීදුම හේතුවෙන් ගලවාගැනීමේ නිලධාරීන්ට ඇය වෙත ළඟවීම අසීරු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ පිහිටි උසින් වැඩි දෙවැනි ගිනි කන්ද මෙය බවද පැවසෙනවා.
එය කඳු නගින්නන් අතර වඩාත් ජනප්‍රිය ගිනි කඳු ස්ථානයක් බවයි සඳහන් වන්නේ.
අනතුරට පත් තරුණිය සිටි ප්‍රදේශය ගලවාගැනීමේ නිලධාරීන් විසින් ඩ්‍රෝන යානයක් මගින් නිරීක්ෂණය කර තිබෙන අතර මුදා ගැනීමේ කණ්ඩායම්වලට ළඟාවීමේ හැකියාවක් තිබුණේනම් ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකිවනු ඇති බවයි පැවසෙන්නේ.











