Home Uncategorized බිත්තිවල චිත්‍ර අඳින්න දරුවන්ට ඉඩ දෙන්න ඕනද..? මේ වයසේ දරුවන් ඉන්න මව්පියන්...

බිත්තිවල චිත්‍ර අඳින්න දරුවන්ට ඉඩ දෙන්න ඕනද..? මේ වයසේ දරුවන් ඉන්න මව්පියන් මේ ලිපිය අනිවාර්යයෙන්ම බලන්න..

0
60

 

පුංචි දරුවන් මල් වගේ.. එයාලාගේ සිතුවිලි වගේම හැකියාවන් වර්ධනය කරගන්න ගොඩක් වෙලාවට දරුවන්ට නිවැරදි මග පෙන්වීමක් ලබාදීම අතිශ්‍යය වැදගත්..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ දරුවන්ට නිවැරදි මග පෙන්වීමක් ලබාදිය යුතු තවත් එක් කාරණ‍යක් ගැනයි.. දරුවන්ට පුංචි කාලේ ඉඳලාම කුසලතා වර්ධයන කරගන්න අවස්ථාව ලබාදෙන්න ඕන.. පුංචි දරුවන්ගේ අදහස් ප්‍රකාශ කරන තවත් එක මාර්ගයක් විදිහට ඔවුන්ගේ කලා කුසලතා හඳුන්වාදෙන්න පුළුවන්.. ඒ අතරින් බිත්තිවල චිත්‍ර අඳින්න කුඩා දරුවන් පෙළඹෙනවා වැඩියි.. ඇත්තටම ඒක හොඳ දෙයක්ද..? මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්..

පුංචි දරුවන්ගේ නිර්මාණ ලෝකය වර්ණවත් කරමු, විනයත් පුරුදු කරමු..

පුංචි දරුවෝ කියන්නේ පුංචිම පුංචි කලාකාරයෝ වගේ.. එයාලගේ හිතේ තියෙන අදහස් චිත්‍රවලට හරවන්න එයාලා හරිම ආසයි.. මෙයාලා බිත්තිවල චිත්‍ර අඳින්න පෙළඹෙනවා..
ඒ වෙලාවට සමහර දෙමාපියෝ හිතනවා “අනේ… මේකෙන් එයාගේ දක්ෂතාවය වැඩි වෙනවා, මාංශපේශි වලටත් හොඳයි, එයාලට ඒ විදිහට අඳින්න ඉඩ දෙන්න ඕනේ..” කියලා..

– ඔව් ඔයා හරි දරුවන්ට නිදහසේ බිත්තිවල අඳින්න දීමෙන් මේ දේවල් එයාගේ ජීවිතයට එකතුවෙනවා..
– දරුවන් කුරුටු ගාන්න පටන් ගන්නකොට එයාලගේ සියුම් චාලක කුසලතා වර්ධනය වෙනවා.. පැන්සලක් හෝ පාටක් අල්ලා ගැනීමෙන් අත්වල සහ ඇඟිලිවල තියෙන පුංචි මාංශ පේශී ශක්තිමත් වෙන්න මේක උදව් වෙනවා.. ඒ වගේම, බිත්තිවල වගේ ලොකු තැන්වල අඳිනකොට එයාලගේ උරහිස් සහ අත් ශක්තිමත් වෙලා දළ චාලක කුසලතාත් දියුණු වෙනවා..
– දරුවන් තමන්ට ඕන විදිහට අඳිනකොට, එයාලගේ හැඟීම්, සිතුවිලි සහ අත්දැකීම් ප්‍රකාශ කරන්න පුරුදු වෙනවා.. ලොකු මතුපිටක අඳින්න දෙන එකෙන් එයාලට විශාලව හිතන්න පුළුවන් වෙනවා.. ඒකෙන් අවකාශය ගැන අවබෝධය සහ තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් ගැන විශ්වාසය වැඩි වෙනවා..
– ඇඳීම හරහා දරුවන් හේතුව සහ ඵලය තේරුම් ගන්න පටන් ගන්නවා.. මේකෙන් සංකේතාත්මක චින්තනය දියුණු වෙනවා..
– දරුවන්ට වචනවලින් කියන්න අමාරු වෙන හැඟීම්, චිත්‍ර අඳින එකෙන් ආරක්ෂාකාරී විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් වෙනවා.. බිත්තිවල ඇඳීම එයාලට තමන්ගේ හැඟීම් කළමනාකරණය කරගන්නත් උදව් වෙනවා..
– ලොකු බිත්තියක හෝ පොළොවේ අඳිනකොට දරුවන්ට අවකාශය සහ දිශාව ගැන අවබෝධයක් ලැබෙනවා.. එය පසු කාලීනව ලිවීම සහ ජ්‍යාමිතික කුසලතා දියුණු කරගන්නත් හේතු වෙනවා..
– දරුවන් බොහෝ වෙලාවට තමන්ගේ චිත්‍ර ගැන කතා කරනවා, නැත්නම් චිත්‍ර වටා කතාවක් ගොඩනගනවා.. මේකෙන් එයාලගේ වචන මාලාව සහ සන්නිවේදන කුසලතා දියුණු වෙනවා.. දරුවන්ට නිදහසේ අඳින්න ඉඩ දෙන එකෙන් එයාලගේ ස්වාධීනත්වය වැඩි වෙනවා.. ඒ වගේම, ඉගෙනීමේදී අවදානම් ගන්නත් පුරුදු වෙනවා..

මේ සියල්ලම දරුවන්ට අඳින්න දීම තුළින් ලැබිය හැකි හොඳ දේවල් තමයි..

ඒත් ඇත්තටම බිත්ති තුළ අඳින්නදීම තුළින් දිගු කාලීනව දරුවාට හොඳක් විතරක්ම වෙනවද..? කියලා අපි හිතලා බලන්න ඕනේ.. මේකෙන් දරුවාටත්, ගෙදරටත් දෙකටම පාඩුවක් සිදුවෙනවා.. අපි බලමුකෝ එහෙනම් ඒ කොහොමද කියලා..

දරුවෙකුට එයාලගේ අදහස් සිතුවම් කරන්න අවස්ථාව දෙන එක හරිම වැදගත්.. ඒකෙන් එයාලගේ පරිකල්පන ශක්තිය , අත්-ඇස් සමායෝජනය, ස්වයං ප්‍රකාශන හැකියාව සහ මාංශ පේශි වර්ධනය යන මේ හැමදේම හොඳින් දියුණු වෙනවා..

ඒත් මේ හැම ප්‍රතිලාභයක්ම දරුවාට ලබා දෙන්න, බිත්තිවල අඳින්නම අවශ්‍ය නැහැ.. මේ දේවල් දරුවාට ලබා දෙන්න පුළුවන් එක, නිවැරදි ස්ථානයකදී නිසි විනයක් සහ මඟ පෙන්වීමක් හුරු කිරීම අත්‍යවශ්‍යයි.. එසේ නොකර හිතුමතේ බිත්තිවල අඳින්න දුන්නොත්, මනෝවිද්‍යාවට අනුව ඒක බලපාන්නේ හොඳ විදිහට නෙවෙයි..

මනෝවිද්‍යාත්මකව බලමු..
දරුවෙකුට “ඔයාට ඕනෙ තැනක අඳින්න පුළුවන්” කියලා පණිවිඩයක් දුන්නම, එයාලගේ හිතේ සීමා මායිම් පිළිබඳ අවබෝධයක් නැතිව යන්න පටන් ගන්නවා… ඒ කියන්නේ, මේ ලෝකේ හැමදේම තමන්ට ඕන විදිහට කරන්න පුළුවන් කියන මතයක් හැඟීමක් එයාලගේ හිතේ ගොඩනැගෙනවා.. එහෙම වෙන එක හොඳ දෙයක් නෙවෙයි.. අනාගතයේදී එය අහිතකර විදියට දරුවන්ට බලපාන්න පුළුවන්..

උදාහරණයක් විදිහට, පාසලේදී හෝ වෙනත් පොදු ස්ථානයකදී එයාලට තමන්ගේ හැසිරීම පාලනය කරගන්න අමාරු වෙන්න පුළුවන්.. self-control කියන එක පුරුදු වෙන්නේ පුංචි කාලේ ඉඳන්මයි.. නිශ්චිත තැනක පමණක් චිත්‍ර අඳින්න පුරුදු කිරීමෙන්, එයාලා නීති රීති වලට ගරු කරන්නත් , තමන්ගේ ක්‍රියා පාලනය කරගන්නත් ඉගෙන ගන්නවා..

මේක එයාලගේ මානසික සංවර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්.. තමන්ගේ හැසිරීමට සීමා මායිම් ඇති බව දරුවෙකුට පුංචි කාලේ ඉඳන්ම අවබෝධ කර දීම, පසුකාලීනව එයාලට වගකීම් භාරගැනීමටත්, හොඳ තීරණ ගැනීමටත් උපකාරී වෙනවා..

“බිත්තිවල ඇඳීමෙන් දක්ෂතා වැඩි වෙනවා” කියන මතය යල් පැන ගිය එකක්..
දරුවෙකුගේ දක්ෂතාවය තීරණය වෙන්නේ එයා කොතැනද චිත්‍ර අඳින්නේ කියන එකෙන් නෙවෙයි..
එයාගේ අඳින හැකියාව, අදහස්, සහ නිර්මාණශීලිත්වය තමයි වැදගත්.. පිළිවෙලකට, නිසි තැනක අඳින දරුවෙක් කිසිසේත්ම අදක්ෂයෙක් නෙවෙයි.. ඇත්තටම, ඒ දරුවාට විනයත්, දක්ෂතාවයත්, වගකීමත් කියන ගුණාංග තුනම එයාගේ ජීවිතයට එකතුවෙනවා…

නිකමට හිතන්න, දරුවෝ බිත්ති පුරාම ඇන්දම මොකද වෙන්නේ කියලා.. ඒ බිත්ති ආයෙත් පිරිසිදු කරන්න හෝ අලුතින් තීන්ත ආලේප කරන්න සිද්ධ වෙනවා.. ඒකට අමතර සල්ලි වියදම් වෙනවා, ඒ වගේම ඔයාගේ වටිනා කාලයත්, ශ්‍රමයත් නාස්ති වෙනවා.. මේක අනවශ්‍ය වියදමක් සහ මහන්සියක්… ඒ සල්ලි සහ කාලය ඔබට ඔයාගේ දරුවාගේ අනාගතයට වැදගත් වෙන වෙනත් දේකට යොදවන්න පුළුවන් නේද..? උදාහරණයක් විදිහට, හොඳ පොත්පත්, නිර්මාණාත්මක සෙල්ලම් බඩු හෝ දරුවාට අවශ්‍ය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මේ මුදල් යොදවන්න පුළුවන්..

එහෙනම් , මොකක්ද මේකට හොඳම විසඳුම..?

අපිට පුළුවන් දරුවන්ට නිර්මාණශීලී වෙන්න ඉඩ දෙන ගමන්ම, එයාලට විනයත් පුරුදු කරන්න..

චිත්‍ර අඳින්නම වෙන් වුණු තැනක් හදලා දෙන්න.

මේක දරුවාගේ කාමරයේ බිත්තියක හයි කරන්න පුළුවන් වයිට් බෝඩ් එකක් වෙන්න පුළුවන්, නැත්නම් පහසුවෙන් පිස දමන්න පුළුවන් පේන්ට් එකක් ගහපු පොඩි බිත්ති කෑල්ලක් වෙන්න පුළුවන්. දරුවාට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනක මේක හදන්න අමතක කරන්න එපා..

විශාල චිත්‍ර පොත්, වර්ණ ගන්වන පොත්, සහ විවිධ චිත්‍ර අඳින උපකරණ අරන් දෙන්න.

ඒවයේ අඳින්න එයාලව දිරිමත් කරන්න. විවිධ වර්ණ, ක්‍රේයෝන්, පාට පැන්සල් වගේ දේවල් දෙන්න. ඒ වගේම, එයාලට පුළුවන් නම් විවිධ ද්‍රව්‍ය (උදා: කොළ කැබලි, පිහාටු) පාවිච්චි කරලා නොයෙක් දේ හදන්නත් පුළුවන්. මේකෙන් එයාලගේ සියුම් මාංශ පේශි (fine motor skills) තවත් හොඳින් දියුණු වෙනවා.
පුංචි කාලේ ඉඳන්ම “ඔයා අඳින්නේ මෙතැන විතරයි ” කියලා සරල නීති කියලා දෙන්න.
මුලදී එයාලා ඒ නීති කඩ කරන්න පුළුවන්. ඒත් නොකඩවා ඉවසීමෙන් එයාලට මතක් කරලා දෙනවා නම්, ඒක එයාලට පුරුද්දක් වෙනවා. දරුවා බිත්තියේ අඳින්න හැදුවොත්, ආදරයෙන් අතින් අල්ලගෙන නිවැරදි තැනට අරන් ගිහින්, “අපි මෙතැනින් අඳිමු” කියලා බබාට නිවැරදි මග පෙන්වා දෙන්න…

මේ පුංචි දේවල්වලින් දරුවාට ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා.. එයාලා විනයවත් වෙනවා, පිළිවෙලට වැඩ කරන්න පුරුදු වෙනවා, වගකීමක් ගන්නවා, ඒ වගේම හික්මීමක් ඇති කරගන්නවා… නිවැරදි මග පෙන්වීම තුළින් වැදගත් ගුණාංගය පුරුදු පුහුණු කර ගන්නවා.. මේ හැමදේම එයාලගේ අනාගත සාර්ථකත්වයට අතිශයින්ම වැදගත් වෙනවා නිසැකවම..

ඉතින්, පුංචි දරුවෝ කියන්නේ අපේ රටේ හෙට දවස.. එයාලව නිවැරදි මඟට යොමු කරලා, දක්ෂ, විනයවත්, සහ ආදරණීය පුරවැසියන් විදිහට හදන්න එක අපේ යුතුකමක්.. මේ ගැන ඔයාලත් හිතලා හිතලා බලන්න… මේ අදහස වැරදියි කියලා ඔයාට හැඟෙනවා නම් නොසලකා හරින්න…

මුහුණුපොත ඇසුරෙන්..

Previous articleමේ සතිය නම් කලින්ම සැලසුම් කරගන්න. උදාවෙන හැම දවසක්ම ඔයාට තීරණාත්මක දවසක් වේවි..!
Next articleසැබෑම ලස්සන එන්නේ උගත්කමත් එක්ක, ජීවිතේ හැම පැත්තකින්ම සතුටු වෙන්න පුලුවන් රටම දන්න සුරූපි ඇගේ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights