ඒ දෙන්නාගේ ලෝකයම හැඩ කරපු පුංචි පොඩිත්තා තමයි කෛලාෂ් කියන්නේ..
මේ වෙද්දී මාධවීගෙත් – කසුන්ගෙත් කැදැල්ල ආදරයෙන් පුරවන මේ පුංචි හුරතලා ගැන ඒ දෙන්නා කතා කරන්නේ ගොඩක් ආදරයෙන්..
ඇන්තනී පවුලට වගේම හීනටිගල පවුලටත් මේ පුංචි පුතා ඇත්තටම සම්පතක්..
කවුරුත් ආදරය කරන කෛලාෂ් පුතු වෙනුවෙන් කසුන්ගේ ආදරය මෙන්න මේ විදිහට වචන වෙලා තිබුණා..
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ ලෝකෙ ලස්සනම සද්දෙ කුරුල්ලන්ගෙ කියලා. එහෙමත් නැත්‍තං මං ආසම පරණ හින්දි සිංදුවක කියලා. එහෙමත් නැත්තං නිසංසල පරිසරේක නිදහසේ ගලා යන අපූරු දිය කඩිත්තක කියලා. එහෙමත් නැත්තං කේමදාස මාස්‍ටර් ගාව කියලා. ඒත් ඔයා ඔය පුංචි කටෙන් චූටි චූටි සද්ද බද්ද දාන්ට පටන්ගත්තමයි මට දැනුණෙ පුතේ ඒ තමයි මේ ලොකෙ රසම සද්දෙ කියලා.
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ ලෝකෙ හොඳම ආදරවන්තයා මං කියලා. එහෙමත් නැත්තං ගුරු ගීතයෙ දුයිෂෙන් කියලා. එහෙමත් නැත්තං දෙවෙන්දොරා සං කියලා. එහෙමත් නැත්තං චන්න කින්නර ජාතකේ සඳ කිඳුරා කියලා. ඒත් ඔයා අම්මා එක්කලා පාන අසීමිත කෝලං දැක්කමයි, අඩ නින්දෙන් පවා අතපත ගගා අම්මවම විතරක් හොයද්දියි මට දැනුණෙ පුතේ ඔයා තමයි මේ ලෝකෙ හොඳම ආදරවන්තයා කියලා.
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ ලෝකෙ තියෙන්නෙ අපේ පුංචි රටට ගොඩාක් එහායින් කියලා. ඒත් ඔයා අම්මගෙයි මගෙයි පුංචි ලෝකෙට ආවට පස්සෙයි මට දැනුණෙ පුතේ මයෙ මුළු විශ්වයම ඔයයි එයයි කියලා.
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ ලෝකෙ ලස්සනම රූපෙ දෙයියන්ගෙ කියලා. ඒත් ඔයාගෙ තරු ඇස් දිල්සි දිල්සි තියෙද්දියි, ඔයා ඒ ඇස් චුට්ටි කරලා හිනාවෙද්දියි මට පෙනුණෙ පුතේ දෙයියො එයාගෙ රූපෙන් ඔයාව අපේ තුරුළට එවලා කියලා.
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ හිත රිදෙන තැන්, කඩා වැටෙන තැන්, වේදනාව දැනෙන තැන් ජීවිතේ හුඟක් තියෙනවයි කියලා. ඒත් ඔයා ඇවිදින් මයෙ තුරුළෙ සැනහෙද්දියි මට හිතුණෙ පුතේ ඔයා ඉද්දි කාටවත්ම මාව රිද්දන්ට, වට්ටන්ට තියා හිතන්ටවත් බැහැයි කියලා. ඔයා තරම් මාව නිවන පන්සලක් මෙතුන් ලෝකෙම වෙන නැතෙයි කියලා.
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ අම්මයි, මායි ආදරේ උපරිමේට වින්දෙ යාළුවෙලා ඉද්දියි කියලා. ඉන්පස්සෙ හිතුණා දෙන්නා කසාද බැඳලා එක වහලක් යට ජීවිතේ බෙදාගනිද්දියි කියලා. ඒත් ඔයා ආවට පස්සෙයි මට හැබෑවටම දැනුණෙ පුතේ ආදරේ උපරිමය අනේ අපි විඳගන්නෙ මේ දැනුයි කියලා.
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ ඕනිම දෙයක් ඕනිම වෙලාවක අත් ඇරගන්ට පුළුවන් කියලා. ජීවිතේ පවා. ඒත් සත්තයි ඔයා ආවට පස්සෙයි දැනුණෙ පුතේ බුදුවෙන්ටවත් ඔයාව අත් ඇරගන්ට මට නං බැහැයි කියලා. මං මේ ලෝකෙ ආසම , ලෝබම ඔයාටයි කියලා.
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ ලෝකෙ හොඳම අම්මා මයෙ අම්මා කියලා. ඒත් ඔයා වෙනුවෙන් කිරි ශිරා විතරක් නෙමෙයි ජීවිතේම දීගෙන ඔයා මත්තෙම නැහෙන ඔයාගෙ අම්මව දිනපතා ඇස් දෙකට දකිද්දියි මට වැටහුණේ පුතේ ඒ තමයි මේ ලෝකෙ හොඳම අම්මා කියලා.
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ සමාජෙ කියන්නෙ දරුණු රාක්ෂයො පිරුණ විමානයක් කියලා. ඒත් ඔයා ඇවිදින් නේක සෙල්ලං පාද්දියි මට තේරුණේ පුතේ බයිබලේ තියෙන ‘කොරින්ති දහතුන’ ඇත්තමයි කියලා. මේ මුළු ජීවිතේම ප්‍රේම පාරමිතාවක් නේද කියලා.
ඔයා උපදින්ට කලින් මං හිතන් උන්නෙ ලෝකෙ ලස්සනම කවිය ලීවෙ ඛලීල් ජිබ්‍රාන් කියලා. එහෙමත් නැත්තං මහගම සේකර මහත්තැන් කියලා. එහෙමත් නැත්තං රබීන්ද්‍රනාත් තාගෝර්ය කියලා. ඒත් ඔයා ඇවිදින් මේ දවස්වල අපිට ඔප්පු කරමින් ඉන්නවා පුතේ, ලෝකෙ ලස්සනම කවිය ලීවෙ මායි අම්මයි එක්කහු වෙලා කියලා. ඒ රමණීය කවිය ඔයා කියලා.
ඔය ලීවෙ මගේ කතාව විතරක් නෙමෙයි. මයෙ කෛලාෂ්ගෙ වගේම මේක කියෝන ඔයාගෙ පුතාගෙ, දූ ගෙ, සුගන්ධ මල් වැනි හැම දරුවෙක්ගෙම කතාව. පින්තූරෙ විතරමයි අපේ !











