දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් ගැටී සිදු වූ අනතුරකින් සිව්දෙනකු බරපතල තුවාල ලබා තිබෙනවා.
නවතා තිබූ කන්ටේනර් රථයක් පසුපස සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසර් ටැංකියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අද (06) අලුයම 5:30ට පමණ වූ මෙම අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කන්ටේනර් රථය ටයර් නිෂ්පාදනය කිරීමට ගන්නා අමුද්‍රව්‍ය තොගයක් පටවාගෙන කොළඹ සිට මිදිගම දක්වා ධාවනය කරන අතරතුර එහි පිටුපස ටයරයක හුළං බැස තිබෙනවා.
ඒ හේතුවෙන් ටයරය මාරු කිරීම සඳහා රථය නවතා රියැදුරු ටයරය ගලවමින් සිටියදී මාතර දෙසටට ධාවනය වෙමින් තිබූ සිමෙන්ති කුඩු මිශ්‍රණ යන්ත්‍රය කන්ටේනර් රථයේ පිටුපසින් ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවේදී එම මිශ්‍රණ යන්ත්‍රයේ රියැදුරු ඇතුලු තිදෙනකු ඉදිරිපස ගමන් කර ඇති අතර අනතුරත් සමග ඔවුන් තිදෙනාම කන්ටේනර් රථය සහ ඔවුන් පැමිණි රථය තුළ සිරවී තිබුණා.
එම අවස්ථාවේදී එතැනින් යමින් සිටි කඹුරුපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන වෛද්‍ය කිත්මා ගුණරත්න හා ඇයගේ සැමියා වන දෙනියාය දෑරංගල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය වෛද්‍ය විද්ව කළුතොට අනතුර සිදුවූූ ස්ථානයට පැමිණ පැය දෙකකට අධික කාලයක් රැඳී සිට ජීවිත ගලවා ගැනීමේ කටයුතුවලට දායක වුණා.
අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග එක්ව අනතුරින් තුවාල ලද පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කළා.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එම රථය තුළ සිරවී සිටි පුද්ගලයන්ට වෛද්‍ය යුවළගේ උපදෙස් මත ඔක්සිජන් ලබාදීමෙන් පසුව තහඩු කපා තුවාලකරුවන් දෙදෙනෙකු කඩිනමින් ඉවත් කරගත්තද එහි රියැදුරු ඉවත් කර ගැනීමට පැය තුනකට ආසන්න කාලයක් ගත වූ බව පොලිසිය පැවසුවා.
මේ හේතුවෙන් එක් මං තීරුවක් පැය 02 කට ආසන්න කාලයක් වසා දැමීමට සිදුවූ අතර අනතුරත් සමග මාතර දෙසට ධාවනය වන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.











