හොරණ, බුලත්සිංහල මාර්ගයේ ගෝවින්න ප්‍රදේශයම මේ දිනවල පවතින්නේ මහා මළගෙයක සිරියක් මෙන් නිහඬ කඳුළින් පිරුණු වාතාවරණයකය. පවුලේ එකම දරුවා වූ 25 හැවිරිදි රෙෂිකා ගිම්හානිගේ අවාසනාවන්ත මරණය ගමේ සෑම හදවතක්ම කම්පාවට පත් කර තිබේ. පියාගේ අභාවයෙන් පසු මව සහ ඇගේ මිත්තණිය වන “සුදු අම්මා”ගේ සෙනෙහස මැද හැදී වැඩුණු රෙෂිකා, මාසයකට පෙර සුදු අම්මා මෙලොව හැර යාමෙන් පසු දැඩි මානසික වේදනාවකින් ජීවත් වූවාය. වැඩ ඇරී නිවසට පැමිණෙන සෑම මොහොතකම ඇය කළේ සුදු අම්මාගේ ඡායාරූපය තුරුල් කරගෙන නිහඬව වැළපීමයි.
කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළ රෙෂිකා එහිම සේවය කළ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබුණා. එම තරුණයා විවාහ වී දික්කසාද වූ අයෙකු වුවත්, ඒ සම්බන්ධයෙන් රෙෂිකාගේ පාර්ශ්වයෙන් අකමැත්තක් තිබුණේ නැහැ. නමුත් සුදු අම්මාගේ වියෝවෙන් පසු ඇය දුරකථනයෙන් ඔහු සමඟ කතා කිරීම සීමා කළේ තම සිතේ තිබූ දැඩි ශෝකය නිසයි. “අපි වැඩපළේ පැය 8ක් එකට ඉන්නවනේ… ගෙදර ඉන්න ටිකේ මට සුදු අම්මා ගැන හිතන්න දෙන්න” යැයි ඇය ඉල්ලා සිටියත්, එම තරුණයා එය වටහාගෙන තිබුණේ ඇය තමන් මග හරින බවට වූ සැකයක් ලෙසයි.
පසුගිය 04 වැනිදා උදෑසන සුපුරුදු පරිදි සේවයට පැමිණි රෙෂිකා ආයතනයට ඇතුළු වූ මොහොතේම සැඟවී සිටි පෙම්වතා විසින් අමානුෂික ලෙස ඇගේ ගෙල කපා පලා ගොස් තිබුණා. කණ්ඩායම් නායිකාවක ලෙස උසස් වීමක් පවා ලැබීමට නියමිතව සිටි මේ අහිංසක යුවතිය, සැක සහ ආදරයේ විරෝධාභාසය මැද එතැනම අවසන් හුස්ම හෙළුවා. බදුල්ල, කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සැකකරු පලා ගොස් ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දහසක් ඥාති මිත්‍රාදීන්ගේ දෙනෙත් කඳුළින් තෙත් කරමින් රෙෂිකා පසුගිය 06 වැනිදා වෙදගෙවත්ත පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියාය.












