ඇලෙක්සැන්ඩර් රජු සහ කතරගම දෙවියන් අතර සැඟවුණු ඉතිහාසය: පුරාවෘත්තයක පුනරාගමනය
කතරගම පුදබිම සහ වැඩිහිටිකන්ද ආශ්‍රිතව පවතින ජනප්‍රවාද අතරින් වඩාත් කුතුහලය දනවන සහ ආන්දෝලනාත්මක කතා පුවතක් වන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ලංකාගමනයයි. ක්‍රිස්තු පූර්ව 356 සිට 323 දක්වා රජකම් කළ මැසිඩෝනියානු අධිරාජ්‍යයා ලෙස සැලකෙන ඇලෙක්සැන්ඩර් රජු සැබවින්ම බැබිලෝනියාවේදී මිය නොගිය බවත්, ඔහු අමරණීයත්වය සොයා නැගෙනහිරට පැමිණ ශ්‍රී ලංකාවේ වාසය කළ බවත් ඉතිහාසයේ ඇතැම් අහුමුලුවල සැඟව ගිය මූලාශ්‍ර සාක්ෂි දරයි. විශේෂයෙන් 15 වන සියවසේ ලියැවුණු “සෆර් නාම ස්කෙන්ඩර්” (Zaffer Bamah Skendari) වැනි ග්‍රන්ථවලට අනුව, ඇලෙක්සැන්ඩර් රජු මිය ගියේ නැත. ඔහු තමා වැනිම රූපයක් තිබූ “බොලිනස්” නම් මායාකරුට වස දී ඇලෙක්සැන්ඩර් ලෙස ලොවට පෙන්වා මරා දමා, සැබෑ රජු රහසිගතව යෝගී දිවියක් ගත කිරීමට ලංකාවට පැමිණ තිබේ.
මෙම පුරාවෘත්තයට අනුව ඇලෙක්සැන්ඩර් රජු ලංකාවට පැමිණ කතරගම ප්‍රදේශයේ වාසය කරමින් දේශීය කාන්තාවක් වූ වල්ලි මාතාව සමඟ විවාහ වී තිබේ. “ඇලෙක්සැන්ඩර්” යන නාමය පෙරදිග වැසියන් විසින් “ඉස්කන්දර්” ලෙසත් පසුව “ස්කන්ද” ලෙසත් ව්‍යවහාර කර ඇති අතර, කතරගම දෙවියන් ලෙස හඳුන්වන “ස්කන්ද කුමාර” යනු මේ මැසිඩෝනියානු වීරයාම බව මෙම මතයෙන් කියැවේ. ඔහු බුදු දහම සහ යෝග ශාස්ත්‍රය ගැඹුරින් හදාරා මහා බලසම්පන්න යෝගියෙකු ලෙස කතරගම කඳු මුදුනේ වැඩ සිටි බැවින් එම ස්ථානය “වැඩිහිටිකන්ද” ලෙස නම් වූ බවත් පැවසේ. දීර්ඝ කාලයක් තිස්සේ යෝගී වෘත සමාදන් වෙමින් සිටි නිසා සාමාන්‍ය මිනිස් ආයු කාලය ඉක්මවා ජීවත් වීමේ හැකියාව ඔහු සතු විය.
මෙම කතා පුවතේ වඩාත් වැදගත්ම සන්ධිස්ථානය සනිටුහන් වන්නේ දුටුගැමුණු රජුගේ යුගයේදීය. ඓතිහාසික කාල වකවානු අනුව ඇලෙක්සැන්ඩර් රජුගේ කාලය සහ දුටුගැමුණු රජුගේ කාලය (ක්‍රි.පූ. 161-137) අතර වසර 219ක පමණ පරතරයක් පැවතුණද, යෝගී බලයෙන් දීර්ඝායුෂ ලැබූ ඇලෙක්සැන්ඩර් හෙවත් ස්කන්ද කුමාර තවුසා හමුවීමට ගැමුණු රජු පැමිණ තිබේ. ඔවුන් දෙදෙනා හමුවූ ස්ථානය අදටත් “සිංහාසනගල” ලෙස හැඳින්වේ. එළාර රජු පරාජය කිරීම සඳහා අවශ්‍ය යුද උපක්‍රම සහ අවි ආයුධ තාක්ෂණය ගැමුණු රජුට ලබා දී ඇත්තේ මේ ස්කන්ද කුමාර විසිනි. විශේෂයෙන්ම ග්‍රීක සහ පර්සියානු යුද ශිල්ප ක්‍රම, හෙල්ලය භාවිතය හෙවත් වේලා යුදය සහ අශ්වාරෝහක සටන් ක්‍රම මෙහිදී ප්‍රධාන විය. දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් අතර සිටි “වේලුසුමන” යනු හුදෙක් නමක් නොව පර්සියානු අශ්වාරෝහක පුහුණුව ලැබූ පරම්පරාවක නියෝජනයක් බවත් කියැවේ.
යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු ඇලෙක්සැන්ඩර් හෙවත් ස්කන්ද කුමාර දෙවියන් සිහිවීම පිණිස දේවාලයක් ඉදි කිරීමට දුටුගැමුණු රජු තීරණය කළේය. ඒ සඳහා සුදුසුම ස්ථානය තෝරා ගැනීම පිණිස රජු විසින් වැඩිහිටිකන්දේ සිට ඊතලයක් විදින ලද අතර, එම ඊතලය වැටුණු ස්ථානය අද කතරගම දේවාලය පිහිටි භූමිය බව ජනප්‍රවාදයේ සඳහන් වේ. පසුකාලීනව බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් වැනි මහා යතිවරුන් පවා කතරගම දෙවියන් යෝගී වෙස් ගත් තාපසයෙකු ලෙස දැක තිබීම මෙම මතය තවදුරටත් තහවුරු කරයි. එසේම කතරගම පුදබිම තුළ යක්ෂ ගෝත්‍රික අක්ෂර සහිත යන්ත්‍ර 108ක් වළදමා ඇති බවත්, එම රහස් පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා වී 1815 කැරැල්ලේදී කිවුලේගෙදර මොහොට්ටාල වැනි වීරයන්ට පවා එම ශක්තියේ රැකවරණය ලැබුණු බවත් කියැවේ. දුටුගැමුණු රජුගේ අසහාය විජයග්‍රහණයට දේශීය වීරත්වයට අමතරව මෙම ග්‍රීක හා පර්සියානු යුද තාක්ෂණයේ සංකලනයද ප්‍රබල හේතුවක් වූ බව පුරාවිද්‍යාත්මක ඇසකින් බලන විට තර්කානුකූලව ගළපා ගත හැක.
