මීට ටික දවසකට කළින් 16දෙනෙකුට මරු කැඳවූ අනතුර ගැනයි මේ කියන්න යන්නේ..
පිටුපස රෝදයේ තිරිංග පද්ධතියේ ග්‍රීස් කාන්දුවක් තිබූ බවත් බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බවටත් අනාවරණය වී ඇතැයි ඇල්ල වැල්ලවාය බස් රථ අනතුරේ මූලික නිරික්ෂණ වාර්තාවෙන් හෙළිව තිබෙනවා.
එමෙන්ම මෙම බස් රථයේ තිරිංග පද්ධතියේ ද දෝෂ පැවති බවත්, තිරිංග ඩ්‍රම්ස් ගලවා පරික්ෂා කිරීමේදී ඉදිරි දෙපස සහ පසුපස ඩ්‍රම්ස්වල පැහැය වෙනස්වී තිබීමෙන් ඒවා අධික ලෙස රත්ව තිබූ බවත් අනතුරට මූලික නිරික්ෂණය ලෙස වාර්තාවේ සඳහන්.
අධික බෑවුම් සහ වංගු සහිත අවදානම්කාරී මාර්ගයක, මාර්ගය හුරු නැති රියැදුරෙකු ලෙස පිරිසක් රැගෙන බසය ධාවනය කිරීම අනතුරට හේතුව ලෙසත් එම වාර්තාවේ දැක්වෙනවා.
පුද්ගලයින් 16 දෙනකුගේ දිවි අහිමි කළ ඇල්ල වැල්ලවාය බිහිසුනු බස් අනතුර සම්බන්ධයෙන් වූ මෙම සම්පූර්ණ වාර්තාව ඊයේ (22) අමාත්‍ය බිමල් රත්නායකට භාරදී තිබෙනවා.
ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදීයි.
මෙම බිහිසුණු බස් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු ඇතුළු නිලධාරින් 05 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ තිබුණා. එම කමිටුවේ නිර්දේශ ඇතුළත් මෙම වාර්තාව පිටු 52කින් යුක්ත වුණා.
අමාත්‍යවරයාට ඉදිරිපත් කළ අදාළ කමිටු වාර්තාවට අනුව අනතුරට පත්වූ NB- 1673 දරන බස් රථය නිසි ලෙස නඩත්තු කර නොමැති බවට අනාවරණය වී ඇති අතර තිරිංග පද්ධතියේ දෝෂ පැවති බවට එහිදී හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම එම බස්රථයේ අනන්‍යතාවය පිළිඳව ද සැක සහිත බවත් එම බස් රථයේ රියැදුරු වූ චිරාත් දිමන්ක යන තරුණයා එම බස්රථය පදවා ඇත්තේ ප්‍රථම වතාවට බවත් අදාළ වාර්තාවේ දක්වා තිබෙනවා.
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව අසලදී තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිරිසක් විනෝද චාරිකාවක යමින් සිටියදී ඉකුත් 04 වැනිදා මෙම බස් රථය බිහිසුනු අනතුරට ලක්විණි. එහිදී පුද්ගයින් 16 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, 18 දෙනකු තුවාල ලැබුවා.