ලෝක සිනමාවේ සරාගී සලකුණ මෙන්ම ආන්දෝලනාත්මක රංගන ශිල්පිනියක වූ බ්‍රිජිට් බාඩෝ (Brigitte Bardot) වයස අවුරුදු 91 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පදනම විසින් අද නිවේදනය කරනු ලැබුවා.
ප්‍රංශය පමණක් නොව මුළු ලෝකයම ඇයව හැඳින්වූයේ “B.B.” යන කෙටි නාමයෙන්.
1934 පැරිස් නුවර උපත ලැබූ ඇය, වයස අවුරුදු 15 දී ‘Elle’ සඟරාවේ කවරයට පෙනී සිටිමින් කලාවට අවතීර්ණ වුණා. 1956 වසරේ තිරගත වූ “And God Created Woman” චිත්‍රපටය ඇයව ලෝකප්‍රකට තරුවක් බවට පත් කළා. ඇයගේ එවකට ස්වාමිපුරුෂයා වූ රොජර් වඩීම් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටයේ ඇය පෑ නිර්භීත රංගනය, එතෙක් සිනමාවේ සිටි “ලැජ්ජාශීලී වීරවරියන්ගේ” ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කළ බවයි විචාරකයින් පවසන්නේ.
ඇය සිනමාවෙන් සමුගැනීමෙන් පසු වඩාත් ප්‍රසිද්ධ වූයේ සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දැඩි ක්‍රියාකාරිනියක ලෙසයි. එසේම ඇයගේ දේශපාලනික මතවාදයන් ද පසුකාලීනව දැඩි කතාබහට හා ආන්දෝලනයට ලක්වුණා.
ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ලෝක සිනමාවේ එක් යුගයක් ඇයගේ නික්මයාමත් සමඟ නිමා වන බව රසිකයින් පවසනවා.












