පැයකට හෝ ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය වී රාජ්‍ය උත්සවයක ප්‍රධාන ආරාධිතයා වන්නටත්, අගමැති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ උත්තමාචාර ලබන්නටත් අවස්ථාවක් ලැබුණොත් එය කෙතරම් අසිරිමත්ද?
සැබෑ ජීවිතයේ මේ අදහාගත නොහැකි අවස්ථාවට මුහුණ දුන් ඇය නමින් තනූජා ප්‍රියදර්ශනී විතානගේය.
අත්තනගල්ල, ඌරාපොළ ගමේ උපන් තනූජා, පාසල් යන කාලයේ පටන්ම දක්ෂ ක්‍රීඩිකාවකි.
ඇය ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම පවා නියෝජනය කළාය.
උසස් පෙළ අවසන් වූ සැණින් ඇය පොලිස් සේවයට එක්වන්නේ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ සමීපතම ආරක්ෂක වළල්ලට (Ring Round) කාන්තාවකගේ අවශ්‍යතාවය මතු වූ නිසාය.
ශ්‍රී ලංකා ප්‍රභූ ආරක්ෂක ඉතිහාසයේ එම වළල්ලට එක්වූ ප්‍රථම කාන්තාව වන්නේද ඇයයි.
එළියට ඉතා සුන්දරව සාරියෙන් සැරසී ජනාධිපතිනිය අසල සිටියත්, තනූජා යනු “මාරක” තරුණියකි.
තත්පර 3ක් ඇතුළත උණ්ඩ 3ක් ඉලක්කයට මුදාහැරීමට තරම් ඇය වෙඩි තැබීමට දක්ෂය. ඇයගේ සාරියට යටින් ඉණෙහි නිරන්තරයෙන්ම සන්නද්ධ ගිනි අවියක් (Pistol) රැඳී තිබුණත් එය කිසිවකුට පෙනුණේ නැත.
එදා නිදහස් චතුරස්‍රයේ සිදුවූ දේ…
2003 වසරේ පෙබරවාරි 3 වැනිදා නිදහස් උළෙලේ අවසන් පෙරහුරුව පැවැත්විණි.
නියමිත වේලාවට ජනාධිපතිනිය පැමිණිය නොහැකි වූ නිසා ආරක්ෂක අංශ තීරණය කළේ ජනාධිපතිනියගේ භූමිකාව සඳහා තනූජාව යොදා ගැනීමටයි.
“කෝ තනූජා, ඉක්මනට වෙහිකල් එකට නගින්න… මැඩම් ඉන්නවා වගේ ඉන්න විතරයි තියෙන්නේ” යැයි නියෝග ලැබිණි.
ජනාධිපති නිල රථයෙන් රතු පලස මතට තනූජා බසිද්දී, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාත් සීරුවෙන් සිට ඇයට උත්තමාචාර කළහ.
23 හැවිරිදි මෙම තරුණිය එදා ජනාධිපතිනිය ලෙස ජාතික ධජය එසවූවාය, ජාතික ගීය ගැයුවාය, පමණක් නොව පෝඩියම් එක මත සිට ජාතිය ඇමතීමේ පෙරහුරුවටද සහභාගී වූවාය.
2005 වසරේදී පොලිස් සේවයෙන් ඉවත් වූ තනූජා, අද සාර්ථක ව්‍යාපාරික කාන්තාවකි. ඇය “බ්‍රයිට්” නමින් පෙර පාසලක් පවත්වාගෙන යන අතර මනෝ වෛද්‍ය උපදේශිකාවක ලෙසද කටයුතු කරයි.
එමෙන්ම ඇය රජයේ ලියාපදිංචි අධීක්ෂණ නිලධාරීවරියක් ලෙස කටයුතු කරන අතර පෙර පාසල් ගුරුවරුන් සදහා ආරාධිත කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරනවා.
ජීවිතය කෙතරම් පුදුමාකාරද යන්නට තනූජා ප්‍රියදර්ශනී හොඳම උදාහරණයකි.
සාමාන්‍ය ගැමියෙකුට සිහිනයකින්වත් නොපෙනෙන රාජ්‍ය ගෞරවයක් ඇය එදා අත්කර ගත්තේ තම වෘත්තීය දක්ෂතාවය නිසාමය.








