මුල්ලේරියාව ප්‍රදේශයේ කාන්තාවක් දෙදෙනෙක් පසු ගියදා මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණියේ කෙහෙවලු පටලවාගෙන රණ්ඩු සරුවල් වී ඉරුණු ඇඳුම් පිටින්මය. දෙදෙනා විසින් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හමුවේ එකිනෙකාට චෝදනා කර ගනිමින් පැමිණිලි ඉදිරිපත් කළේ මහ හඬින් කෑකෝ ගසමිනි.
මෙම කාන්තාවන් දෙදෙනා යාබද නිවෙස් දෙකක පදිංචිකාරියන් වන අතර කාලයක පටන් කලකෝලාහල කර ගැනීම පුරුද්දක් කර ගෙන ඇති බව ස්ථානාධිපතිවරයාට තේරුම් ගියේය.
බේරුම් කිරීමට නොහැකි වූ තැන දෙදෙනාම පොලිස් සිරමැදිරියට දැමීමට සිදුවිය. දෙදෙනාම දමා සිටියේ එකම කූඩුවකය.
පැය කිහිපයක් ගතවන විට ඔවුන් දෙදෙනා ඉතා සුහදව කතාබහ කරමින් දෙදෙනා එකිනෙකාට උදව් කර ගනිමින් සිටින ආකාරය පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි විය.
‘‘සර්.. අපි හිතුවේ නැහැ මේ විදියට කුඩුවේ දායි කියලා. අපිව ගෙදර යවන්න. ආයි අපි දෙන්නා රණ්ඩු දබර කර ගන්නේ නෑ. දැන් අපි යාළුයි’’ යැයි කතුන් දෙදෙනා බැගෑපත් ලෙස ඉල්ලා සිටියාය.
ඒ අනුව දෙදෙනාගේම ඥාතීන් දෙදෙනෙකුද ඇප ලබාදීමට පැමිණ සිටියහ.
“සර්.. මේක නම් හොඳම වැඩක්. හැමදාම මේ දෙන්නගේ වැඩේ ගහ මරා ගන්න එක. අහල පහල ඉන්න මිනිස්සුන්ටත් පුදුම කරදරයක්’’ කුඩුවේ සිටින දෙන්නා දෙස බලමින් ඥාතීහු පවසා සිටියහ.
පැමිණිලි ඉල්ලා අස්කර ගනිමින් දෙදෙනාම එකට පොලිසියෙන් පිටව ගියේ සතුටිනි.
උපුටාගැනීම අරුණ පත්තරෙන්












