Home දේශිය පුවත් අදටත් මයේ ජිවිතේ මුරගල් දෙක මේං මේ ගෑනු දෙන්නා..” මෙතෙක් කල් ශක්තියක්...

අදටත් මයේ ජිවිතේ මුරගල් දෙක මේං මේ ගෑනු දෙන්නා..” මෙතෙක් කල් ශක්තියක් වුණ ඇය ගැනත්, තනි නොතනියට ළඟ සිටි ඇය ගැනත් කසුන්ගෙන් සටහනක්..

0
101

 

ජීවිතේ සමහර මතක හරි සුන්දරයි… හරියට ඇගේ ආදරේ වගේ…

මේ කියන්නේ කවුරු ගැනද..? කසුන් මහේන්ද්‍ර හීනටිගල..

අද රටම දන්නා මේ පුද්ගලයා එදා ඒ ආව ගමන් මග ඒ තරම් සුන්දර එකක් නෙවෙයි..

දහසකුත් කරදර බාධා මැද ඔහුගේ මේ ගමනට ශක්තියක් වෙන්නේ කසුන්ගේ ආදරණීය අම්මා… අදත් ඇය එදා වගේමයි..

කෛලාස් පුතුට ඇගේ සෙනෙහස ලබා දෙනවා.. ඒ විතරක් නෙවෙයි කසුන්ගේ බිරිඳටත් මේ අම්මා දක්වන ආදරේ එක විදිහමයි.. මේ කසුන් ඇගේ නොවෙනස් ආදරය ගැන ලියූ තවත් එක් ආදරණීය සටහනක්..

“අම්මට මතකද දන් නෑ,
දවසක් පිළියන්දල කනිෂ්ටෙ ඉස්කෝලෙ පොත් ප්‍රදර්ශනයක් වෙලාවක ‘මනමෙ පොත’ ඉල්ල ඉල්ල අම්මගෙ අතපය වික විකා මං සතෙක් වගේ හැසිරුණා. නැති බැරිකමට වඩා දස දාස් ගුණේකින් ආදරේ දෝත දරං උන්නු අම්මා මං දුන්නු සකල ලැජ්ජා නින්දා දරාගෙන පුංචි මයෙ විසාල කරදරේ මරියතුමී වාගෙ ඉවසං උන්නා. අම්මා ලොකූ ණයක් වෙලා මට ඒ පොත අරං දුන්නා. ‘මොන පොත්ද මෙන්න මෙහෙ ගෙදර යමං’ කියලා පොඩි එකා වෙච්චි මාව කනෙන් ඇදන් එදා ගෙදර ඇරං ගියා නං අම්මපා අද මේ හෑල්ල කවුරුත් කියවං නෑ. මං මේං මේම ලියන්නෙක් වුණේ මයෙ අම්මා හන්දා.
සමහරවිට ඒ ගැන අම්මට මීටත් වඩා මතක ඇති.
අම්මට මතකද දන් නෑ,
දවසක් බස්සෙකේ යන්ට සතපහක් නැතුව කොස්පැලෑන වත්තෙ ඉඳන් පිළියන්දලට පයින්ම එනකොට අපි දෙන්නව සුවාරපොළ හරියෙදි හීන් වැස්සකට අහුවුණා. වැස්ස පායනකල් බලං නොඉඳ අම්මා මාවත් වත්තං කරං පයින්ම ගමනෙ යෙදුණා. හීන් වැස්ස මහත් වෙන්ට විනාඩි පහ හයයි ගියෙ. සට සට ගා වැහි ගෙඩි අපේ ඔළු උඩ බල්ටි ගහන්ට ගත්තා. මේ වෙද්දි අපිව පහුකරන එක බස්සෙකක්, එක වාහනයක්, ඒ මුකුත් නිකංවත් නැවැත්තුවෙ නෑ. එක මනුස්සයෙක් නෑයෙක් බෑයෙක් කිසිකෙනෙක් අපිට නන කැඩිච්චි කුඩ කබලක්වත් දුන් නෑ. හෙවන කඩවල් යට, එකල රූස්ස ගස් යට වැඩි වෙලාවක් නැවතිලා වැස්ස පායනකල් අපිට බලා ඉන්ඩවත් ඉඩක් තිබුණෙ නෑ, අපි මේ යමින් උන්නෙ මයෙ අක්කා ස්පෝර්ට්ස් මීට්ටෙකේ ඩ්‍රිල් ප්‍රැක්ටිස් ඉවර වෙන කළුවරේ එයැයිව එක්කං එන්ට. එකල ජංගම දුරකතන නෑ. වෙදර් රිපෝට්ස් බලන්ට දන් නෑ. ගූගලීය මැප්ස් නෑ. ගෙයින් එළි බැස්සොත් බැස්සම තමා. ඩෝන්ට් වොරි සෝ සොරි. අපිව වැස්සට අහුවුණේ ඔන්නොහොම වෙලාවක. ඒ අස්සෙ කොරේ පිටට මරේ වගේ අම්මයෙ සෙරෙප්පුවකුත් කැඩුණා කියන්ටකො. සෙරෙප්පුත් නැතුව, තට්ට තනියෙං පයිං, පුංචි වධකාරයවත් ඇන්නගෙන, අක්කවත් ‘වෙලාවට’ ඉස්කෝලෙන් අරං අම්මා ‘ට්‍රෝජන් කාන්තාවක්’ වගේ එදා රෑ ගෙට අඩිය තිබ්බෙ. දියපට්ට දාන්ට තරං කෙළවෙච්චි සෙරෙප්පු නැති දෙපතුලෙන්. ඔයා ආං එහෙමයි අම්මෙ අක්කව රැක්කෙ. නොසෑහෙන වැහි කුණාටු මැද්දෙ නොසැලුණ තනි ඇතින්නි වාගෙයි ඕයි අක්කෙ අපේ කෙට්ටු අම්මා අපිව පරිස්සං කළේ.
සමහරවිට ඒ ගැන අම්මට මීටත් වඩා මතක ඇති.
අම්මට මතකද දන් නෑ,
ශිෂ්‍යත්වෙ පාස්වෙච්චි පොඩි පහේ වීරක්‍රියාව හන්දා ලොකු අම්මා , ඒ කියන්නෙ අම්මයෙ අක්කණ්ඩි මට තෑග්ගක් දුන්නා ටෝස්ටරයක්. ඒ කාලෙ ඇඹිටිලි කසුන් ටෝස්ට් පාන් මාරයා. පාන් ඇතුළට සැමන් දාල , සොසේජස් දාලා විතරක් නෙමෙයි පරිප්පුත් දාලා කෑම තමා උගේ එකම සතුට. අපේ ගෙයි ඒ තාක් කිසිදාක ටෝස්ටරයක් තිබුන් නෑ. ගෘහ භාණ්ඩ ඉතාම අවම ගේක තමයි මේ පුංචි මං උස්මහත් වුණේ. ඉතිං ශිෂ්‍යත්වෙ පාස් වීරක්‍රියාවටයි ලොකු අම්මගෙන් මං ඒ ඉන්ද්‍රජාල ටෝස්ටරය තෑගි ලද්දෙ. කාලා කාලා කාලා කාලා ඇතිවුණාට පස්සෙ ටෝස්ට් පාන් තව දුරටත් මැජික් වෙන්නෙ නෑනෙ. මැජික්කෙක මේං මේක. ටෝස්ටරයක් නැති කාලෙ අම්මා මාර දෙයක් කළා. එයා එයාගෙ රෙසිපියකින් වගේ දේකින් සීමිත අඩුමකුඩුම එක්කාසු කොරං එයාගෙ ආරෙට බිත්තර සාරු පිඟානක පාන්පෙති පොඟෝලා ලී කුඩු ලිපේ තාච්චිය තියාලා මට ‘දේශීය ටෝස්ට් පාන්’ හදලා දුන්නා. අදටත් මොන තරුපහේ හෝටලේ මොන බුෆේ එකේ මොන මොන මොක කෑවත් මයෙ අම්මගෙ ඒ ‘බිත්තර රස මුසු පාන් පෙත්තට’ ගහන්ට රහක් මයෙ දිවට හම්බෙලා නෑ. පබිලිස් උන්නැහේ විතරක් නෙමෙයි වයිල්ඩ් කුක් බුක් මලයත් කැලේ බොලේ ඒ හැදිල්ලට. “හැම අම්මටම ඕං ඔහොම ඒ අම්මට විශේෂ අම්මටසිරි හැදිල්ලක් ඉවිල්ලක් තියෙනවා” ආයුබෝවංඩ. මයෙ අම්මගෙ මේක. ඒක අජරාමර රහක්.
සමහරවිට ඒ ගැන අම්මට මීටත් වඩා මතක ඇති.
අම්මට මතකද දන් නෑ,
මාධවී මයෙ පෙම්වතී කියලා බෝම උජාරුවෙන් මං අපේ මහගෙට ඈව මුලීන්ම එක්ක ආවම, ‘අනේ පුතේ අපි දුප්පත් මිනිස්සු’ කියලා අම්මා ඈව බෝමාදරෙන් පිළිගත්තු හැටි. ‘ඔයාගෙ පුතා තමයි අම්මෙ මට මුණගැහිච්ච පෝසත්ම මනුස්සයා. පෝසත්කං කියන්නෙ සල්ලි නෙමේ’ කියලා එවෙලෙ මාධවී අම්මව වැළඳගත්තා. අදටත් මයෙ ජීවිතේ මුරගල් දෙක මේං මේ ගෑනු දෙන්නා. තමන්ගෙ එකම ලේලි විදිහට නෙමෙයි, දුවෙක් හා සමානවයි අම්මා මයෙ බිරින්දෑට සලකන්නෙ. එයැයි ගැන හොයා බලන්නෙ. අපේ චුට්ටි රණ්ඩුවකදි පවා කොන්දේසි විරහිතව මෙයැයි ගන්නෙ එයැයිගෙ පැත්ත. ආං එහෙමයි අම්මා තමුන්ගෙ කරුණා සාගරේ ආදරේ පාන්නෙ. මං මෙතෙක් දැකපු චිල්’මැ නැන්දම්මයි – ලේලියි මේං මුං දෙන්නා. හෙනම අන්ඩස්ටෑන්ඩින්.
සමහරවිට ඒ ගැන අම්මට මීටත් වඩා මතක ඇති.
අම්මට මතකද දන් නෑ,
තාත්තගෙ භූමදානෙ වෙලාවෙ ඒ අන්තිම විනාඩි කීපෙ ඇතුළෙ මුළු ජීවිතේටම ඇතිවෙන්ට මං හඬා වැළපුණා. පිරිමි වැලහින්නක් වගේ නාහෙන් කටෙන් වටෙන් පිටෙන් හොටු පෙරාන ඒක අනේ හීනයක් වගේ. ‘චූටි පුතා…චූටි පුතා…’ කිය කියා එවෙලෙ අම්මා මාව අල්ලාන හිටියෙ විහාර මහා දේවි වගේ. එහෙව් එඩිතර ගතියක් මං ජීවිතේට අම්මයෙන් දැකලා නෑ, අම්මපා. අම්මයෙ මුළුමහත් ජීවිතේම තාත්තයි අපියි විතරක්ම වෙච්චි. ඒං ඒ චුට්ටං ලෝකේ අම්මට මේ මුළු විශ්වෙටම වඩා විශාලයි කියලා මං දැනගත්තෙ තාත්තගෙ මරණෙන් ටික ටික කාලෙ ගෙවෙද්දි. ‘තාත්තා ආස කෑමක් දැක්කත්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් දැක්කත්, එයැයිගෙ මිත්‍රයෙක් දෙන්නෙක් දැක්කත්, එයැයි ආස ජෝතිපාලමය ගීයක් ඇහුණත්, එයැයි වගේ රූපකායක් දැක්කත්, එයැයි ගැන වචනයක් හරි ඇහුණත් අම්මට ඇඬෙනවා. අම්මගෙ හීනි ඇහි විල් මත්තෙ කඳුළු පැන් මාත්‍රා වාං දානවා. අම්මා තාමත් තාත්තා වෙනුවෙන් අනේ තනියෙන් පෙම් පාරමී දම් පානවා.
සමහරවිට ඒ ගැන අම්මට මීටත් වඩා මතක ඇති.
අම්මට මතකද දන් නෑ,
කෛලාෂ් පුතාව දකින හැම මොහොතෙම මට මයෙ පුංචි කාලෙ සමහර මතක මතකෙට එනවා. හොඳ නරක දෙකම. අපි නොවිඳිනා දුක් දරාගත්තා ඉහිලුවා මදෑ නේද මයෙ අම්මෙ. මයෙ කොලු පැටියගෙන් කුඩා අසරණ මං වෙනුවට ජෙන්ට්ල්මන් පන්නයේ කඩවසං ජීවිතයක් හිමි පොෂ් පැටියෙකු මං දකිනවා. එකම ජීවිතයක් ඇතුළෙ ආකාර දෙහෙකින් මට මාවම හම්බුණා අම්මෙ. අම්මා අම්මගෙ පුතාට වඩා පුතාගෙ පුතාට ආදරේ කරන විදිහ මට පේනවා. මෙහෙව් ආච්චම්මෙක් ලබන්ට මයෙ කෛලාෂ් මොන තරං පිංකාරයිද, ලක්කාරයිද කියලා මට ඊරිසියා හිතෙනවා. හැබැයි අම්මෙ ඇත්තම කතාව ඊටවඩා ආදරේ හිතෙනවා.
සමහරවිට ඒ ගැන අම්මට මීටත් වඩා මතක ඇති.
තව ලියන්ට පුළුහං. ඇඬෙනවා අනේ ෆෝන් ස්ක්‍රීන්නෙක පුරාවට කඳුළු. තව ඩිංගෙන් මයෙ පපු තොටිල්ලෙ හේත්තු වෙලා සුව නින්දෙ ඉන්න කෛලාෂ් පුතාගෙ මූණට කඳුළු වැටෙනවා. ෂ් ෂ්….පුතණ්ඩියා දොයි.
මං මේ සද්දෙ නෑහෙන්ට කඳුළු බිඳ බිඳ පිහගන්ට ගමං ඉන්නෙ.
සුබ උපන් දවසක් මයෙ අම්මේ ! සුඛී දීඝායුකෝ භව !!!”

 

Previous articleමේ ලක්ෂණ 7 ඇත්නම් ඔබටත් අවදානම්..! ඔබේ ශරීරය ගැන ඔබටම වටහාගන්න පුලුවන් ඉගියක් මෙන්න
Next articleඔයාටත් එක පිට එක ලෙඩ හැදෙනවාද ? බලාගෙනයි! මේ නිසා වෙන්න පුලුවන් !
error: Content is protected !!
Verified by MonsterInsights