“උදේ අටට විතර යාළුවෙකුගේ බයිසිකලයක් ඉල්ලගෙන ඔය ගමන යන්න ලෑස්ති වෙනකොට මම එපා කියලත් කිව්වා. පුතා ටිකක් හිතුවක්කාරයි. මං කියන දේ නාහා එයාලගේ ගමන යන්න ගියා.
මට දවල් 1.00 විතර තමයි මේ ගැන දැනගන්න ලැබුණේ. පොලිසියෙන් කතා කරලා කිව්වේ. මේ ගෙවල් දොරවල් සේරම පුතාටයි මං හම්බ කළේ. ඒත් දැන් ඉතින් ඒවායින් ඇති වැඩේ මොකක්ද. දෙන්නම අපිව දාලා එකටම යන්න ගියා” යැයි හොරණ පාදුක්ක ප්‍රධාන මාර්ගයේ කනන්විල ප්‍රදේශයේ දී ඉකුත් (04) වැනිදා ලොරි රථයක යතුරුපැදිය ගැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පූර්ණ දිනුෂ්ක විදුමාල්ගේ (24) පියා හැඬූ කඳුලින් පැවසුවා.
තම එකම පුතු වූ දිනුෂ්ක විදුමාල්ගේ සහ ලේලියගේ අකල් වියෝව පිළිබඳව දරාගත නොහැකි වේදනාව සඟවා ගැනීමට අසීරු උත්සාහයක යෙදෙමින් සරත් ආරියදාස (64) මෙසේ ද පැවසුවේ හැඬූ කඳුලින්.
“මට ඉන්නෙ දරුවෝ දෙන්නයි. ඔය පුතා තමයි බාලයා. මං පෙදරේරු වැඩ කරලා බොහොම දුක් මහන්සියෙන් තමයි දුවයි පුතයි දෙන්නා හදාගත්තේ. මං පුළුවන් තරම් උත්සාහ කළා එයාලට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. පුතා අවුරුදු දෙකකට විතර කළින් විවාහ වුණා. ගෑණු දරුවගෙ ගෙවලුත් මේ ගමේම ටිකක් එහාට වෙන්නයි තියෙන්නෙ. දෙන්නත් එක්ක හරිම ආදරෙන් හිටියා. දෙන්නම එකට කහතුඩුවෙ ගාර්මන්ට් එකක වැඩට ගියා. එයාලට ආයතනයෙන් ට්‍රාන්ස් පෝර්ට් තිබුණා. අද හෙට අනිද්දා දවස් තුන දෙන්නගෙම නිවාඩු දවස්. උදේ අටට විතර යාළුවෙකුගේ බයිසිකලයක් ඉල්ලගෙන ඔය ගමන යන්න ලෑස්ති වෙනකොට මම එපා කියලත් කිව්වා. පුතා ටිකක් හිතුවක්කාරයි. මං කියන දේ නාහා එයාලගේ ගමන යන්න ගියා. මට දවල් 1.00 විතර තමයි මේ ගැන දැනගන්න ලැබුණේ. පොලිසියෙන් කතා කරලා කිව්වේ. මේ ගෙවල් දොරවල් සේරම පුතාටයි මං හම්බ කළේ. ඒත් දැන් ඉතින් ඒවායින් ඇති වැඩේ මොකක්ද. දෙන්නම අපිව දාලා එකටම යන්න ගියා.”
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව, බෙරුකැටිය, හොරගලවත්ත, 1/62/7 ලිපිනයේ පදිංචි එච්. පූර්ණ දිනුෂ්ක විදුමාල් (24) හා එරංගි චතුරිකා පෙරේරා (21) නමැති අඹුසැමි යුවළක්.
හොරණ පාදුක්ක ප්‍රධාන මාර්ගයේ කනන්විල ප්‍රදේශයේ දී ඉකුත් (04) වැනිදා ලොරි රථයක යතුරුපැදිය ගැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය පූර්ණ දිනුෂ්ක විදුමාල්ගේ මරණය සම්බන්ධයෙන් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ නීති නිලධාරී එන්. එල්. කේ. ලක්ෂාන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලදී.
එසේම, මරණයට පත්වූ එරංගි චතුරිකා පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණී කේ. ආර්. එච්. ලියනගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළා.
ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා අනුව මෙම දෙදෙනාගේම මරණවලට හේතුව යතුරුපැදිය ලොරි රථයේ වැදී අනතුරට ලක් වීමෙන් හිසට සහ පපු ප්‍රදේශවලට සිදුවූ තුවාලවලින් රුධිරය වහනය වීම නිසා ඇති වූ කම්පන තත්ව මත සිදුවූ මරණ බවට හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන නිගමනය කළා.
“එද උදේ11.15 ට විතර මං කඩේ ඉන්නකොට බයිසිකලයක රෝදයක් හිරවෙලා කැරකෙනවා වගේ ක්‍රීස් ගාලා සද්දයක් ඇහුණා. බලනකොට පාරෙ ඇක්සිඩන්ට් එකක් වෙලා. ලොරියක් නතර කරලා තිබුණා. එතැන වැටිලා හිටිය කෙනෙක් අතක් වැණුවා. අත වැණුවෙ මටයි කියල හිතල මං දුවල ගිහින් බලන කොට අනේ කිරිම කිරි සුදු, හරිම ලස්සන ගෑණු ළමයෙක් තමයි හිටියේ. මට දැක්කම මොනවා වුණාද කියලා හිතාගන්න බැරි වුණා’ යැයි හොරණ පාදුක්ක ප්‍රධාන මාර්ගයේ කනන්විල, කහටපිටිය කන්දේ විහාරස්ථානය අසල මාර්ගයේ ලොරි රථයක ගැටීමෙන් මිය ගිය මෙම අඹුසැමි යුවළගේ සිද්ධිය පිළිබඳව එම ස්ථානයේ කුඩා වෙළඳසැලක් පවත්වාගෙන යන කාන්තාවක් වන තිලිනා කුමුදුනී (39) පැවසුවා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කුමුදුනී මෙසේ ද පැවසුවා.
“බයිසිකල් එක තිබුණෙ ලොරිය යට ඉස්සරහ රෝදේ හරියට වෙන්නයි. ගෑණු ළමයා අත හෙලෙව්වා. පිරිමි පිරිමියත් එතන හිටියා. දෙන්නගෙම කඳ බයිසිකලේ උඩ හිරවෙලා තිබුණා. මං ලතෝනි තියල කෑගැහුවා. කිසිම වාහනයක් නතර කරගන්න බැරි වුණා. එක වාහනයක් ගියා. ඒකේ හිටපු ගෑණු කෙනා යං යං ඉක්මනට කියලා කිව්වා. වැටිලා හිටිය ගෑණු ළමයා බෙල්ලත් හෙලෙව්වා. පිරිමි ළමයගේ ඇස් දෙක ඇරිලයි තිබුණේ. මම කොහොම හරි පාරේ ගිය ත්‍රීවිල් එකක් නතර කරලා ගෑනු ළමයාව ඒකට පටවලා හොරණ ඉස්පිරිතාලෙට යැව්වා. ඊට පස්සේ පාරේ බයිසිකල් එකක ආව ගෑණු ළමයෙක් නතර කරල උදව්වට ආවා. ඊට පස්සේ ලොරියක් නතර කර ගෙන අපි දෙන්නත් එක්ක එකතු වෙලා පිරිමි ළමයව ඒකෙන් හොරණට යැව්වා. ඊට පස්සේ තමයි කට්ටිය පිරුණෙ. ඒ ළමයි ඇඳුම් වගයක් ගේන්නයි ගිහිල්ලා තිබුණෙ. ඇඳුම් බෑග් එකත් එතන තිබුණා.
මෙතන වංගුව හරි භයානකයි. නිතරම ඇක්සිඩන්ට් වෙනවා. කීප දෙනෙක්ම නැති වෙලත් තියෙනවා”
ඇය එසේ පැවසුවේ එම සංවේදී දසුන දැකීමෙන් ඇති වූ ශෝකය දරාගත නොහැකිවයි.
පවුලේ දෙවන දරුවා වන දිනුෂ්ක ගේ පියා එච්. කේ. සරත් ආරියදාස (64) යි. ඔහු වෘත්තියෙන් පෙදෙරේරුවෙකි. ගෘහණියක ලෙස කටයුතු කරන කේ. ඒ . තිලකා ඉන්ද්‍රාණී ( 63) මහත්මිය ඔහුගේ ආදරණීය මවයි. දිනුෂ්කට සිටියේ එකම සහෝදරියකි. ඇය පුර්ණිමා නිමන්ති (35). විවාහ වී පිළියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටියත් පූර්ණිමා නිතරම තම සහෝදරයා පිළිබඳ සොයා බැලීමට අමතක කළේ නැත.
මොරගහහේන මහා විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ දිනුෂ්ක වැඩිදුර අධ්‍යාපනයට යොමු නොවී රැකියාවක් සොයා ගැනීමට කටයුතු කළා.
බෙරුකැටිය ප්‍රදේශයේම පදිංචි එරංගි ඉගෙනුම ලැබුවේද මොරගහේන මහා විද්‍යාලයේමයි. මව පියා හා බාල සහෝදරයින් දෙදෙනකු සමඟ හැදී වැඩුණු ඇය ද අතරමගදී ඉගෙනීමේ කටයුතු අවසන් කර රැකියාවකට යොමු වූයේ පවුලේ වැඩිමහල් දරුවා ලෙස මල්ලිලා දෙදෙනාගේ අනාගතයට අත්වැලක් සැපයීමට විය යුතුයි.
පාසලේදී හා ගමේදී දැන හඳුනාගත් ඔවුන් අතර පාසල් අධ්‍යාපනයෙන් පසුව සබඳතාවයක් ඇති වූයේ ඉබේටමයි. ඉතා රූමත් තරුණියක් වන එරංගිගේ සිත සොරා ගැනීමට දිනුෂ්ක පින් කර තිබුණා විය යුතුයි. ඔවුන් දෙදෙනා පවුල් දෙකේ නෑදෑයින්ගේ ආශිර්වාද මැද විවාහ වූයේ මීට වසර දෙකකට පමණ පෙරයි. දිනුෂ්කගේ නිවෙසට ඇය ආ පසුව එම නිවෙස ආලෝකමත් වූයේ ගැහැණු දරුවකු නොමැති අඩුවද සපුරාලමිණ්.
එරංගි කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රැකියාවක් සොයා ගැනීමට කටයුතු කළේ මීට මාස හතරකට පමණ පෙරයි. දිනුෂ්කට ද එම ආයතනයේම රැකියාව කිරීමට අවස්ථාව ලැබුණේ මීට සතියකට පමණ පෙර සිටයි. ඔවුන් රැකියාවට ආව ගියේ ආයතනයෙන් සපයන ලද ප්‍රවාහන පහසුකම් යටතේයි. එක දිගට රැකියාව කළ ඔවුන්ට මෙම සෙනසුරාදා (04), ඉරිදා( 05) සහ සඳුදා (06) දිනතුන නිවාඩු දින බවට පත් වී තිබුණේ
.
බොහෝ නිදහසක් අත්කර දෙමිනි. ඉතාම ආදරයෙන් දවස ගත කරන මෙම දෙපළ සිකුරාදා සේවය නිමවා නිවෙසට ආවේ පසුදිනට කළ යුතු වැඩ කටයුතු රාශියක් සිත තබාගෙන වන්නට ඇත.
සිකුරාදා රාත්‍රිය සුව නින්දකින් ගෙවා දැමූ මෙම යුවළ අලුයම අවදි වූයේ අලුත් දිනයක අලුත් බලාපොරොත්තු පොදියක්ද තුරුළු කරගෙනයි. උදෑසනින්ම මිතුරකුගෙන් යතුරුපැදියක් ඉල්ලා ගෙන පැමිණි දිනුෂ්ක, එරංගි සමඟ නිවෙසින් පිටත් වෙන විට පියා මෙම ගමනට හරස් වී නොයන ලෙස ඔවුන්ට පැවසුවේ එදින උදෑසන සිටම තද වැසි වැටෙන බවට අහස කළුකර තිබූ බැවින්.
එහෙත් පියාගේ වචන ගණනකට නොගත් ඔවුන්, ඔවුන්ගේ ගමන පිටත් වූයේ මෙවන් විපතක් සිදුවේයැයි කිසි දිනක නොසිතා වන්නට ඇත. ආගිය කාර්යන් ඉක්මනින් ඉටු කරගත් ඔවුන් දෙපළ නැවතත් ආපසු නිවෙස බලා යාමට පිටත් වූයේ මිලදී ගත් ඇඳුම් කීපයක්ද අත දරාගෙනය.
හොරණ නගරයේ සිට පානදුර දෙසට ප්‍රධාන මාර්ගයේ පැමිණ හොරණ රජමහා විහාරස්ථානය අසළින් පාදුක්ක පාරට පිවිස කිලෝ මීටර් පහ හයකට වැඩිදුරක් ඔවුන්ට ගමන් කිරීමට ඉඩ ලැබුණේ නැත. හොරණ කනන්විල කන්දෙ විහාරස්ථානය අසල ප්‍රදේශය මාරක වගුවක් සහිත ස්ථානයක් බව කවුරුත් පවසන්නේ කාලයක සිටමයි. එම අවස්ථාවේ මොරගහහේන දෙස සිට හොරණ දෙසට පැමිණියේ වීදුරු බෝතල් ප්‍රවාහනය කරන ලොරි රථයකි. පිලිමතලාව ප්‍රදේශයේ සිට හොරණ, වගවත්ත ප්‍රදේශයේ වීදුරු කර්මාන්ත ශාලාවකට වීදුරු කටුකුඩු කිරීම සදහා අලෙවි කරන ව්‍යාපාරිකයෙකු ලොරි රථයෙන් ඔහුගේ මං තීරුවේ ඉදිරියට පැමිණි අතර යතුරුපැදිය ඉදිරියට ගමන් කළේ ඔහුගේ මංතීරුවේ වුවත් වංගුව ගැනීමේදී එය පාලනය කර ගැනීමට අසීරුවීමෙන් ලිස්සා ඇදී ගියේ ලොරි රථය දෙසටය.
ඇසිපිය හෙලන මොහොතින් සිදුවූයේ කිසිවකුටත් සිතාගැනීමට නොහැකි භයානක අනතුරක්. විශාල හඬක් නංවමින් ප්‍රදේශයම කම්පාවට පත් කළේ යතුරුපැදිය ලොරි රථයේ ගැටී නතර වීමෙන් පසුවයි.
ඔවුන් දෙදෙනා පෙර සසරේ සිට පතාගෙන ආවේ එකටම අවසන් ගමන් යන්නට විය යුතු යැයි කෙනකුට සිතෙන්නට පුළුවන්. එහෙත්, එය එලෙස නොවන ලෙස නිවැරදි කර ගැනීමට හැකියාව තිබෙන බව මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකුගේ මතය වී තිබුණා. එනම් මෙම අනතුරුදායක වංගු සහිත ස්ථානය පිළිබඳව වගකිවයුතු නිලධාරීන් මීට වඩා විමසිලිමත්ව කටයුතු කළයුතුයි යන්නයි. එම ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක් අසල ඇති මෙම මාරක වංගුව ප්‍රදේශයේ මීට පෙරද විශාල අනතුරු ප්‍රමාණයක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.
කුඩා දරුවන් නිතර පාර මාරු වෙන මෙම ස්ථානය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස මෙම සිද්ධිය අහන දකින කාගේත් ඉල්ලීම වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
බලාගත් අත් බලා ගෙන හූල්ලන ඒ දෙමව්පියන්ගේ වේදනාවට පිලියම් යෙදීමට කිසිවකුටත් නොහැකි බව සැබෑය. ඔවුන් දෙදෙනා නැවතත් නොඑන බවත් සැබෑය.
ජීවිතය ඇරඹූ විගසම සියල්ල අතැරදා ගිය දිනුෂ්ක ගේත් එරංගිගේත් දේහයන් නිසොල්මන්ව හෙට දින මිහිදන් වනු ඇත.