”මේ කතාව ටිකක් දිගයි තමයි.
හික්මීමක් තියෙනව නම් කියවන්න.
මනුස්සයෙක් පොතක් ලියන්නෙ තමන්ගෙ ජීවිත කාලෙම අත්දැකීම් ,සොයාගැනීම් ,අත්විදීම් එකතු කරලා..ඒ නිසා වටින එක පොතක් කියවනව කියන්නෙ ඒ ලියපු මනුස්සයගෙ ජීවිත කාලයේම සාරය අපේ මනසට පොවා ගැනීමක්.
නිකමට හිතන්න එහෙම ලියපු වටින පොත් 970000ක් එක රැයකින් අලු වුණාම දැණෙන වේදනාව.
යාපනය පුස්තකාලය අග්නිදිග ආසියාවේ විශාලම පුස්තකාලය බවට පත් වුණේ අහිංසක සුන්දර මනුස්සයෙක් වුණු කේ.එම් සෙල්ලප්පා ගෙ හීනයක් නිසා..
එක පොතින් පොත සෙල්ලප්පා පුංචි කාමරයකට එකතු කරනවලු. මිනිස්සු ඇවිත් මේ පොත් කියවනවලු.
ඒ පෑන් ඉරකින්වත් පිටුවකට හානි නොවෙන විදියටලු. 1934 දි කලාවට,පොත පතට ආදරේ මිනිස්සු රෑනක් එකතු වෙලා රු 1184 ශත 22ක් ගෙයින් ගෙට ගිහිල්ල එකතු කරගෙන සෙල්ලප්පගෙ පොත් ටිකත් එක්ක එකතු කරල පුංචි පුස්තකාලයක් පටන් ගත්තලු.
සෙල්ලප්පගෙ හීනය හැබෑ වුණාලු. සාමාජික ගාස්තුව විදියට රුපියල් 3ක් වගේ මුදලක් අය කරල විශ්වවිද්‍යාල සිසුන්ට,සංගීතකරුවන්ට මේ පොත් නිදහසේ කියවන්න මේ නිදහස් අවකාශයේ ඉඩ ලැබුනලු.
ටිකින් ටික පොත් ප්‍රමාණය වැඩි වෙලා 1959 ඔක්තෝම්බර් 11 වෙනිදා නරසිම්මන් කියන ගෘහ නිර්මාණ ශිල්පියා අතින් සරස්වතිය මැදි කරගෙන විරාජමනව සුදු පාටින් හිණැහෙන යාපනය පුස්තකාලය හැදුනලු.
ඒ කියන්නෙ යාපනය විශ්ව විද්‍යාලය කියන්නෙ රජයකින් හදපු පොදු දේපලක් නෙමෙයි.මිනිස්සු ,මිනිස්සු වෙනුවෙන් හදපු පොදු දේපලක්.
මහාරාජපුරම් සන්තානම්, දකුණු ඉන්දියාවේ විසූ, අති විශිෂ්ට කර්ණාටක ශෛලියේ ශ්‍රාස්ත්‍රීය ගායකයෙක්. ඔහු ඉන්දියානු රජය විසින් පිරිනමන, පද්මශ්‍රී සම්මානයෙන් පුදලද, පූර්ණත්වය පත්වූ සංගීතඥයෙක්.
ඔහු මෙහෙම කියනවා..
1962 දී මට පත්වීමක් ලැබුනා ලංකාවේ, යාපනයේ, රාමනාදන් සංගීත විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙසට සේවය කරන්න.
මම ගොඩබැස්ස මුල් කාලයේ එතරම් යාළු මිත්‍රයෝ ගොන්නක් නොසිටි නිසා, හැම හවසකම වාගේ යාපනය පුස්තකාලයට ගොඩවෙන්නට පුරුදු වුනා.
ඒ පුස්තකාලයේ පොත් දස දහස් ගනනක් තිබුනා. ඒවා ලෝකේ කොහේවත් හොයාගන්නට අපහසු මහානර්ඝ ග්‍රන්ථ.
ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ පෞද්ගලික ග්‍රන්ථ එකතුව පරිත්‍යාග කොට තිබුනේ මේ පුස්තකාලයට. භගවත් ගීතාව ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කළ ඉතාලියානු ජාතික, දේවධර්ම ආචාර්ය, ජුවාන් මස්කාරෝගේ පෞද්ගලික ග්‍රන්ථ එකතුව පරිත්‍යාග කොට තිබුනේත් මේ පුස්තකාලයට.
මේ සුවිසාල පුස්තකාලයේ පොත් අතර තිබී මට හමුවුනා හීනි අකුරින් ලියාපු අත්පිටපත් ගොන්නක්. ඒවායේ සටහන් වී තිබුනේ ශාස්ත්‍රීය කර්ණාටක සංගීත තනු සහ ඒවාට අදාල ස්වර ප්‍රස්ථාර.”
“මං හැමදාම හැන්දෑවට පුස්තකාලයට ගිහිං මේ දුර්ලභ සංගීත රචනා පිටපත් කරගත්තා. නවාතැනට ඇවිත් ඒවා අභ්‍යාස කළා.
ඊළග නිවාඩුවට මදුරාසියට ගිහිං, මගේ ගුරුවරු ඉදිරියේ මේ ගීත ගායනා කළාම, ඒ අතිශය දුර්ලභ සංගීත තනු ගැන ඒ අය මවිතයට පත්වුනා.
මම සංගීත සමාජ විද්‍යාව පිළිබඳව ආචාර්ය මහාචාර්ය වරුන් මුණගැසී මේ පිළිබඳව විමසුවත් ඔවුන් කිසිවෙකු මේ අත්පිටපත් වල මූලාශ්‍ර පිළිබඳව දැන සිටියේ නැහැ.
මගේ අව්රුදු දෙකක සේවා කාලය තවත් අව්රුදු දෙකකට දීර්ඝ කරගත්තා මේ අත්පිටපත් අධ්‍යයනය හමාර කරගන්නා අදහසින්.
අව්රුදු හතරක් පරිශීලනය කරලත් මට බැරි වුනා මේ අත්පිටපත් ගොන්න කියවා අහවර කරන්න.
මං තවත් අව්රුදු දෙකක සේවා දිගුවක් අයදුම් කරලා 1968 වෙනකල් අව්රුදු හයක්ම යාපනයේ ජීවත් වුනා.”
“මම නැවත මදුරාසියට ඇවිත් මේ තනු ගායනා කළ සෑම අවස්ථාවකම, සංගීත ඥානය සහිත ප්‍රෙක්ෂකයින් මා හමුවී මගෙන් ප්‍රශ්න කළා, කවමදාකවත් අසා නොතිබුනු මේ තනු කොහෙන් හොයා ගත්තද කියලා.
ඒ මහානර්ඝ අත්පිටපත් මගේ සංගීත ජීවිතය ඔප මට්ටම් කළා. මේ සුවිශාල කර්ණාටක සංගීත අවකාශයේ බැබලෙන්නට පටන් ගත්තේ මම යාපනයේ ගතකළ අව්රුදු හයට පින් සිද්ධ වෙන්නට.”
“යාපනය පුස්තකාලය ගිණිබත් කළා කියන ආරංචිය ලැබෙන කොට මං හිටියේ මදුරාසියේ මවුන්ට් පාරේ, ‘රාජා අන්නාමලෙයි’ රංග ශාලාවේ ප්‍රසංගයකට සහභාගී වෙන්න ඔන්න මෙන්න කියලා.
එ වේලේ මට දැනුනු කණගාටුව මේ යැයි වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ ආරංචියෙන් මං කම්පාවට පත්වුනා. මං තීරණය කළා, එදා ප්‍රසංගයේදී, යාපන අත්පිටපත් පරිශීලනයෙන් මා දැන උගත් ගීත පමණක් ගායනා කරනවා කියලා.
දෙවැනි ගීතය ගායනා කරන කොට මගේ හෘදය වස්තුව උණු වෙන්න ගත්තා.
මගේ පපුව හිරවුනා. මගේ ඇස් වලට කඳුළු උනන්න ගත්තා.
මට ප්‍රසංගය මැද්දේ මහා හයියෙන් ඇඬුනා.
මං පොඩි ළමයෙක් වාගේ ඇඬුවා.
නොනවත්වාම ඇඬුවා.
මගේ කනගාටුවට හේතුව සංනිවේදනය කළාම ප්‍රෙක්ෂකාගාරය නිශ්ෂබ්ද වුනා.
ඒක අප්‍රමාණ ශෝකයෙන් පිරුණු නිහඬතාවක්. සංවිධායකයින් මගෙන් ඉල්ලා සිටියා මේ සිදුවීමට ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙස, අපි ප්‍රසංගය නතර කරමු කියලා. ප්‍රේක්ෂකයින් ඒ තීරණයට එකඟ වුනා.
මේ තවත් හිත හඩවන කතාවක්.
1981 මැයි 31 රාත්‍රියේදී, ගරු සින්ගාරයාර් ඩේවිඩ් පියතුමා යාපනය මහජන පුස්තකාලය ගින්නෙන් දැවෙමින් සිටින දසුන සියැසින් දුටුවා.
එතුමාගේ මෘත දේහය පසුදා එතුමා වැඩ විසූ නිවසින් සොයා ගත්තා..
ඒ ගිනි ගත්තෙ දෙමළ, සිංහල අපි හැමෝගෙම අතීතය.අපි හැමෝගෙම වටිනකම්..
මට නිකමට හිතෙනවා එදා රෑ ගිනි ගත්ත ඒ පොත් වල විලාපය නැතිවුණා නම් අවුරුදු ගාණක් පුරාවට ජීවිත වලින් වන්දි ගෙවපු සිංහල ,දෙමළ මිනිස්සුන්ගෙ විලාපය නැති වෙන්න හෝ අඩු වෙන්න තිබුණාකියලා.
මොකද බුද්ධිමතුන්ට විතරයි පුළුවන් යුද්ධයක් වැළදගැනීමකින් අවසන් කරන්න…
දකුණෙන් උතුරට අරගෙන ගිය සාමෙයේ ගඩොලින් ආයෙ පුස්තකාලය හැදුනා.
දැන් යාපනය පුස්තකාලය ආයෙමත් හිණාවෙනවා.
ඒත් ආඩම්බරෙන් හිස ඔසවාගෙන හිටපු නිහඩ පොත් වල පිටු එක රැයකින් ගිනිබත් කරපු මිනිස්සු මේ බිමේ හිටියා කියලා හිතෙනකොට මගේ හිස ලැජ්ජාවෙන් බිමට නැමෙනවා.
මොකද ඒක භෞතික ගිනි තැබීමකට එහා ගිය සංස්කෘතික ගිනි තැබීමක්!
“අභී” ප්‍රසංගය පවත්වන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයට අල්ලපු ගොඩනැගිල්ල තමයි යාපනය පුස්තකාලය.
ඉතින් සැප්තැම්බර් 6 වෙනිදා යාපනේ ආවොත් ඒ පැත්තට හැරිලා හිස නමා ආචාර කරන්න දෙපාරක් හිතන්න එපා…
ගිනි ගත්ත පොත් වලින් නොවැටුණු කදුළු බිංදු ,
තාමත් ….
සරස්වතියගේ ඇස් වලින් වැටෙනවා!!!!
අභී!
සටහන ලියුවේ අහපු දැකපු කියවපු දේවල් එකතු කරල.සදොස් තැන් ඇත්නම් නිදොස් කරන්න..
Sources –
-Yalpana Vaipava Malai (the early history of Jaffna)
“A Splendor of Letters: The Permanence of Books in an Impermanent World”
– Nicholas A. Basbanes (2003)
-Articles written by journalist Janapriya Paranavithana
“Parts of this article are inspired by insights from Maharajapuram Santhanam, guru of the musician Vishnu Vasu.”
උපුටාගැනීම : Abhisheka Wimalaweera ෆේස්බුක් පිටුවෙන්
