Home ජීවිතයට යමක් කාර්යාලයේ, ගෙදර, ඔබත් AC භාවිතා කරනවනම් මේ රෝග සියල්ලටම ඔබ ගොදුරු වෙනවා...

කාර්යාලයේ, ගෙදර, ඔබත් AC භාවිතා කරනවනම් මේ රෝග සියල්ලටම ඔබ ගොදුරු වෙනවා කියලා දන්නවාද..?

0
2251

නුවරඑළිය වගේ සීතල ප්‍රදේශ වල ජීවත් වන අය හැරෙන්න, බොහෝ දෙනාට AC කාමරයක සුවපහසු ලෙස සිටීම ගැන ඉතා ආසාවක් තිබෙනවා. විශේෂයෙන් මේ දවස්වල ඇතිවෙලා තියෙන ගිනි රස්නෙත් එක්ක බලද්දී AC එකක් කියන්නේ බොහෝ දෙනාට අත්‍යවශ්‍ය දෙයක් වගේමයි. ලංකාවේ බොහෝමයක් පුද්ගලයන්ට AC භාවිතා කරමින් සීතල පරිසරයක සිටීමට කැමැත්තක් තියෙනවා. නමුත් AC භාවිතය සම්බන්ධයෙන් කතා කරන විට එය ලබා දෙන සුවපහසුතාවය පමණක් නොව, ඒ නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

සාමාන්‍යයෙන් මිනිසාට වැඩ කිරීම සඳහා සුදුසුම උෂ්ණත්වය ලෙස සැලකෙන්නේ වැඩි සීතලත් නොවන, වැඩි උණුසුමත් නොවන සෙල්සියස් අංශක 26ත් 27ත් අතර උෂ්ණත්වයක්. නමුත් AC භාවිතා කරන කාමරවල බොහෝ විට වාතය පිටතට හෝ ඇතුළට හුවමාරු වීම අඩු වන නිසා එවැනි ස්ථානවල බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩි වෙයි. එයට අමතරව, උගුරේ ස්වභාවිකව පවතින බැක්ටීරියා සීතල පරිසර තත්වයන් යටතේ ඉක්මනින් වර්ධනය විය හැකි බැවින්, උගුරේ අසාත්මිකතා සහ ගලගල වීම වැනි ගැටළු ඇතිවීමත් බහුල වේ. එමෙන්ම AC වල අධික සීතල නිසා විශේෂයෙන්ම ශ්වසන පද්ධතියට සම්බන්ධ රෝග තත්ත්ව දක්නට ලැබීමත් සාමාන්‍ය දෙයක්.

AC පද්ධතිය තුළ ඇති විවිධ කොටස්වල කාලයත් සමඟ ක්ෂුද්‍ර ජීවින් සහ පුස් වර්ධනය වීමටද ඉඩ තිබෙනවා. පද්ධතිය නිසි ලෙස පිරිසිදු නොකළහොත් එම ජීවින් කාමරය තුළ වාතය සමඟ සංසරණය වෙමින් අප හුස්ම ගන්නා විට සිරුරට ඇතුළු විය හැකිය. එය ශ්වසන පද්ධතිය ආශ්‍රිත අසාත්මිකතා, ඇස් හා උගුරේ කසකසීම, හුස්ම ගැනීමේ අපහසුතා වැනි ගැටළු ඇති කිරීමට හේතු විය හැක. ඒ නිසා AC පද්ධති නිසි ලෙස නිතර පිරිසිදු කර නඩත්තු කිරීම ඉතාමත් වැදගත් වේ.

අධික උෂ්ණත්වය ඇති අවස්ථාවල පමණක් නොව, අධික සීතල පරිසරයකදීද ශරීරයෙන් ජලය වාෂ්ප වීම සිදු වේ. එම නිසා දිගු කාලයක් AC කාමරවල ගත කරන පුද්ගලයන්ට සම වියළීම, සමේ රළු බව වැඩිවීම වැනි තත්ත්වයන් ද ඇතිවිය හැක. විශේෂයෙන් Office වැනි ස්ථානවල දිගු කාලයක් AC පරිසරයක සිටින පුද්ගලයන්ට මෙම ගැටළු වැඩි වශයෙන් දක්නට ලැබේ.

ඔබ වැඩ කරන ස්ථානයට දිනපතා බොහෝ දෙනෙක් පැමිණෙනවා විය හැකිය. ඔවුන් සමඟ විවිධ වෛරස් හා බැක්ටීරියා වැනි විෂබීජ ද එම පරිසරයට පැමිණීමට හැකියාව ඇත. AC පද්ධතිය භාවිතා කරන කාමරවල වාතය එකම ස්ථානයේ සංසරණය වීම නිසා, එම විෂබීජ අප හුස්ම ගැනීමේදී සිරුරට ඇතුළු වීමේ අවදානම වැඩි වේ. එම නිසාම, සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයන්ට පවා සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා වැනි ශ්වසන පද්ධතියට සම්බන්ධ රෝග ඇතිවීමේ හැකියාව තිබෙනවා.

මෙයට අමතරව AC කාමරවල දිගු කාලයක් ගත කරන පුද්ගලයන් අතර “සික් බිල්ඩින් සින්ඩ්‍රෝම්” (Sick Building Syndrome) ලෙස හඳුන්වන තත්ත්වයද දක්නට ලැබේ. මෙය විශේෂයෙන් Office වැනි වායු සමනය කරන ලද ගොඩනැගිලිවල වැඩ කරන පුද්ගලයන් අතර බහුලව දැකිය හැකි තත්ත්වයක් වන අතර, නිතරම හිසරදය, උගුරේ කැක්කුම, හුස්ම ගැනීමේ අපහසුතා, ඇස් කැසීම වැනි ලක්ෂණ ඇතිවීම එයට අයත් වේ. ඒ නිසා AC භාවිතය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය නොවූවත්, එය නිසි ලෙස භාවිතා කිරීම, කාමරයට නිතර නැවුම් වාතය ඇතුළු වීමට ඉඩ සලසා ගැනීම සහ පද්ධතිය නිතර පිරිසිදු කිරීම වැනි පුරුදු අනුගමනය කිරීම සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වේ.

Previous articleඋදේට නැගිටිනකොට යටි පතුල් රිදෙනවද? වේදනාකාරීද? එහෙනම් මෙන්න හේතු..
Next article“කිමද නොකියාම නික්ම යන්නට කාරණා, සුරලොව සිට බලා සදා හිනැහෙන් හාමිනා” සතෙකු වෙනුවෙන් පීඨයක්ම නිහඬ වූ පැය..
error: Content is protected !!
Verified by MonsterInsights