අද ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් පීඩා විඳින රෝග තත්වයක් ලෙස Plantar Fasciitis හඳුන්වා දිය හැක. බටහිර වෛද්‍ය විද්‍යාවේ plantar fasciitis ලෙස හඳුන්වන මෙම රෝගය සාමාන්‍ය භාවිතයේදී බොහෝවිට “වාත රෝගයක්” ලෙසද කියා සිටී. මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ කකුලේ යටිපතුල හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන දැඩි වේදනාවයි. විශේෂයෙන් උදෑසන අවදි වී පළමු පියවර තබන විට හදිසිව ඇතිවන වේදනාව නිසා කොර ගසමින් ඇවිදීමට සිදුවීම මෙම රෝගයේ පොදු ලක්ෂණයකි. එමෙන්ම ටික වේලාවක් ඉඳගෙන සිට නැගිටීමේදීද අධික වේදනාවක් දැනීම රෝගීන් බොහෝවිට සඳහන් කරන තවත් ලක්ෂණයකි.
Plantar fasciitis යනු කකුලේ යටිපතුලේ පිහිටා ඇති plantar fascia නම් කණ්ඩරාව ප්‍රධාහයට පත්වීමෙන් ඇතිවන රෝග තත්වයකි. මෙම plantar fascia යනු යටි පතුලේ වක්‍රතාවය පවත්වාගෙන යාමට සහ ඇවිදීමේදී කකුලට සහය දක්වන වැදගත් පටකයකි. එය පතුලේ ඇඟිලිවල සිට විලුඹ අස්ථිය දක්වා දිවෙන ඝන පටල කිහිපයකින් සමන්විත වන අතර පොළවෙන් එන පීඩනය දරා ගැනීමටද එය උපකාරී වේ. මෙම කණ්ඩරාව මත අධික පීඩනයක් ඇතිවීම හේතුවෙන් එය ප්‍රධාහයට පත්වෙයි. කාලයත් සමඟ මෙම ප්‍රධාහය කණ්ඩරාව පුරා පැතිර යා හැකි අතර, ප්‍රධාහිත ස්ථානවල කැල්සියම් තැන්පත් වීම නිසා කණ්ඩරාව තද වීමත්, වේදනාව වැඩි වීමත් සිදුවේ.
මෙම රෝග තත්වය ඇතිවීමට හේතු කිහිපයක් බලපාන බව සඳහන් කළ හැක. ස්ථුලතාවය, නිවැරදි නොවන පාවහන් භාවිතය, යටිපතුලේ වක්‍රතාවය අඩුවීම, පාදයට සිදුවූ අනතුරු, දිගු කාලයක් සිටගෙන සිටීම, පාදයේ කෙණ්ඩා කොටස තදවීම, දිවීම සහ පැනීම වැනි ක්‍රීඩා නිතර කිරීම, කෙටි කාලයකින් බර වැඩිවීම වැනි කරුණු එයට ප්‍රධාන හේතු වේ.
බොහෝ රෝගීන් කෙටි කාලයක් තුළ වේදනාව අඩුකර ගැනීම සඳහා වේදනා නාශක injection ලබා ගැනීමට පෙළඹෙති. නමුත් එම injection මගින් තාවකාලිකව වේදනාව අඩු වුවද, දිගු කාලීනව කණ්ඩරාවේ තන්තුමය බව (fibrosis) වැඩිවීමට සහ කණ්ඩරාව දිරාපත් වීමේ වේගය (degeneration) ඉහළ යාමට හේතුවිය හැකි බැවින් එවැනි injection ලබා ගැනීමෙන් වළකින්නැයි වෛද්‍ය උපදෙස් දක්වයි. එබැවින් සන්ධි වේදනාවක් ඇති සෑම අවස්ථාවකදීම injection ලබා ගැනීම රෝගය තවත් උත්සන්න කිරීමට හේතු විය හැක.
මෙම රෝග තත්වයට නිවසේදී කළ හැකි සරල ප්‍රතිකාර කිහිපයක්ද ඇත. උදෑසන උණු වතුරට ලුණු ස්වල්පයක් දමා කකුල් දෙක සම්පූර්ණයෙන්ම ගිල්වා විනාඩි කිහිපයක් තබා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ. මෙය දිනපතා සතියක් පමණ කිරීමෙන් වේදනාව අඩු වීමට උපකාරී වේ. ඉන්පසු යටිපතුලේ වේදනාව ඇති ස්ථාන හොඳින් මසාජ් කළ යුතුය. එසේම බත්කේන්ද (calf muscles) ප්‍රදේශයට නාපිරිත්ත තෙල් හෝ මී තෙල් ආලේප කර උණු පොට්ටනියකින් තවමින් පසුව සම්බාහනය කිරීමද උපකාරී වේ. බලනහරය හා අවට ඉදිමීමක් පවතින්නේ නම් වාත විදුරංග සහ ශර්ෂ පාදී තෙල් ආලේප කර ඇට පොට්ටනියකින් තවන්නටද හැක. රාත්‍රී කාලයේ ලබුකාදී පත්තුව බැඳ උදෑසන ගලවා දැමීමද සම්ප්‍රදායික ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරයි.
ඊට අමතරව, දේහ බර අඩු කර ගැනීම සඳහා ස්වායු ව්‍යායාම සහ ආහාර පාලනය කිරීම වැදගත් වේ. යටිපතුලේ වක්‍රතාවය අඩුනම් එය සකස් කිරීමට medial arch support භාවිතා කළ හැක. දිගු කාලයක් සිටගෙන සිටින පුද්ගලයන් සඳහා පීඩනය අවශෝෂණය කිරීමට silicon heel pad භාවිතා කිරීමද උපකාරී වේ. මෙවැනි සරල උපදෙස් පිළිපදින්නේ නම් plantar fasciitis රෝගයේ වේදනාව පාලනය කරගෙන සුවපත් වීමට විශාල උපකාරයක් ලබාගත හැක.












